නවසීලන්තය ත‍්‍රස්ත විරෝධී නීති රීති දැඩි කිරීමට යයි

259

ඉකුත් සිකුරාදා නවසීලන්ත සුපිරි වෙළෙඳසලක සිදු වූ පිහි ඇනුම් ප‍්‍රහාරයෙන් පසු රටේ දැනට පවතින ලිහිල් වූ ත‍්‍රස්ත විරෝධී නීති රීති දැඩි කරන බවට නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් විසින් ප‍්‍රතිඥා දී තිබේ. ‘‘මෙම අවස්ථාවේ අප විසින් ඉතිහාසය වෙනස් කළ නොහැකි වුවද අනාගතය වෙනස් කළ හැකි ආකාරයෙන් නීති රීති වෙනස් කිරීමට කටයුතු කළ යුතුයි’’ නවසීලන්ත අගමැතිනිය ප‍්‍රවෘත්ති සාකච්ජාවක් අමතමින් පවසා තිබේ.

නවසීලන්තයේ දැනට පවතින නීති යටතේ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කිරීම චෝදනාවක් ලැබිය හැකි වරදක් නොවීම නිසා මෙසේ එම නීති දැඩි කරන බව ඇය සඳහන් කර තිබේ.

නවසීලන්තය විසින් දැඩි කෙරෙන ත‍්‍රස්ත විරෝධී නීති රීති ක‍්‍රියාත්මක කිරීම සඳහා මෙම මස අවසානයේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත හැකි වනු ඇති බවට මෙහිදී අගමැතිනි ආර්ඩන් විශ්වාසය පළ කර තිබේ. ඉකුත් සිකුරාදා නවසීලන්තයේ සුපිරි වෙළෙඳසලක සිදු වූ පිහි ඇණුම් ප‍්‍රහාරයට සම්බන්ධ සම්සුදීන් නමැත්තාට එරෙහිව මෙයට පෙර තනිව පිහි ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවට නීතිවේදීන් විසින් චෝදනා කර උසාවියේ නඩුවක් ගොණු කර තිබූ අතර එම නඩු විභාගයේදී එම චෝදනාව නවසීලන්තයේ පවතින නීති රීති යටතේ චෝදනාවක් සේ නොසැලකෙන බවට උසාවි විනිසුරු විසින් තීන්දුව ලබා දී තිබිණි.

 සංස්කරණය ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment