නවසීලන්ත ප‍්‍රහාරය සිදුකළ ශ‍්‍රී ලාංකිකයා අයිඑස් අන්තවාදියෙක් – 2016 දී විශ්වවිද්‍යාලයේ උඩු මහලින් වැටී තුවාලත් ලබලා

233

නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේ සුපිරි වෙළෙඳසලකදී පුද්ගලයන් හයදෙනකු කපා කොටා බරපතළ තුවාල සිදුකළ අයි එස් අයි එස් මතධාරී ශ‍්‍රී ලාංකිකයා බම්බලපිටියේ ප‍්‍රධාන පාසලක අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා නවසීලන්තයට ගොස් සිටි මොහොමඞ් මොහොමඞ් සම්සුදීන් අදිල් නමැති 32 හැවිරිදි තරුණයකු බව හඳුනාගෙන ඇත.

නවසීලන්ත ප‍්‍රහාරය සිදුකළ ශ‍්‍රී ලාංකිකයා අයිඑස් අන්තවාදියෙක් - 2016 දී විශ්වවිද්‍යාලයේ උඩු මහලින් වැටී තුවාලත් ලබලා

මොහු කාත්තන්කුඩිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කොලොන්නාව දෙහිවල මොරටුව ප‍්‍රදේශවලද තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

සම්සුදීන්ගේ පියා විදුහල්පතිවරයකු වන අතර මොහු පාසල් අධ්‍යාපන කටයුතු නිමකර 2011 වර්ෂයේදී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා නවසීලන්තයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වී ඇත.

නවසීලන්ත ප‍්‍රහාරය සිදුකළ ශ‍්‍රී ලාංකිකයා අයිඑස් අන්තවාදියෙක් - 2016 දී විශ්වවිද්‍යාලයේ උඩු මහලින් වැටී තුවාලත් ලබලා


2016 වර්ෂයේදී සම්සුදීන් එම විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිල්ලක උඩුමහලින් ඇදවැටී බරපතළ තුවාල ලබා තිබිණි. ඒ අවස්ථාවේ සම්සුදීන්ට ඇප උපස්ථාන කර ඇත්තේ ඔහුගේ සමීපතමයකුව සිටි සිරියානු ජාතිකයකු විසින්ය.

සම්සුදීන්ට අයි එස් අයි එස් මතවාදියකු වීමට ඔහුගේ මනස වෙනස්කර ඇත්තේ මෙම සිරියානු ජාතිකයා විසින් බවට සැක පහළ කරයි.

2016 වර්ෂයේ සිට සම්සුදීන් සමාජ ජාලාවෙබ් අඩවි ඔස්සේ විවිධ අයි එස් මත පලකර තිබූ අතර වෙළෙඳසල්වලින් විශාල වශයෙන් පිහි මිලදීගෙන තිබිණි.

සම්සුදීන්ගේ හැසිරීමේ රටාව නිරීක්‍ෂණය කර ඇති නවසීලන්ත පොලිසිය සහ එරට බුද්ධි අංශ 2016 වර්ෂයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සම්සුදීන් නිදහස් කළ එරට පොලිසිය ඔහුගේ ගමන් බිමන් සහ හැසිරීම් රටාවන් නිරීක්‍ෂණයට වෙනම ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් පත් කර තිබිණි.

ඕක්ලන්ඞ් නගරයේ සුපිරි වෙළෙඳසලට යද්දී සම්සුදීන් පිටුපස ආරක්‍ෂක අංශ නිලධාරීන් පිරිසක්ද ගොස් සිටියහ.

එහිදී සම්සුදීන් සුපිරි වෙළෙඳසලෙන් පිහි දෙකක් මිලට ගෙන ඒවා යොදාගෙන එහි සිටි හය දෙනකු කපා කොටා බරපතළ තුවාල කර තිබේ.

ඒ අවස්ථාවේ වහාම කි‍්‍රයාත්මක වූ ආරක්‍ෂක නිලධාරීන් තත්පර 60 ක් ගතවීමටත් පෙර සම්සුදීන්ව වෙඩි තබා ඝාතනය කර ඇත.

සම්සුදීන්ගේ මව කලක් කොලොන්නාවේ නිවසක නතර වී සිට ඇති අතර මීට ටික කාලයකට පෙර ඇය එම නිවස කුලියට ලබාදී නැවත කාත්තන්කුඩියේ පදිංචියට ගොස් ඇත.

සම්සුදීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ ත‍්‍රස්ත විමර්ශන ඒකකය වෙනම පරීක්‍ෂණයක් පවත්වාගෙන යයි.

මේ අතර නවසීලන්තයේ ඕක්ලන්ඞ් නගරයේ අයි එස් මතධාරී ශ‍්‍රී ලාංකිකයකු එල්ල කළ පිහිඇනුම් ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්ත මර්දන පනතක් ගෙනඑන බව එරට අග‍්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් මහත්මිය ප‍්‍රකාශ කළාය.

මෙම පනත නැවත පාර්ලිමේන්තුව ආරම්භ වූ විගස ගෙන එන බවද එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර හැකි ඉක්මනින් සම්මත කර ගන්නා බවත් එය මේ මාසය අවසන්වීමට පෙර සිදුකරන බවද ඇය කීවාය.

පිහිඇනුම් සිදුකළ ශ‍්‍රී ලාංකිකයා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු නවසීලන්ත අගමැතිනිය ජාතිය අමතමින් මෙම පනත ගෙන එන බව ප‍්‍රකාශ කළාය.

හේමන්ත රන්දුණු හා චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment