නවීන තාක්‍ෂණය මුසුවූ ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය හා අලෙවි පොළ

239

කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලැබූ ‘කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය’ මෙමස 03 වැනිදා සිට 06 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්තණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්විණි. මෙහිදී මෙරට ප‍්‍රමුඛතම කර්මාන්ත ක්ෂේත‍්‍ර 20ක් නියෝජනය කරමින්, ඉදිරිපෙළ කර්මාන්තකරුවන් ප‍්‍රදර්ශන කුටි 400ක් ඉදිරිපත් කර තිබිණි.

පෙබරවාරි 03 වැනිදා පැවැති සමාරම්භක උළෙලට සමගාමීව මෙරට වාහන නිෂ්පාදන සහ වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින දේශීය කර්මාන්තකරුවෝ මෙරටදී නිෂ්පාදනය කරන ලද සහ එකලස් කරන ලද තම වාහන, කොළඹ බෞද්ධාලෝක මාවත ඔස්සේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රය දක්වා පෙළපාලියක් මගින් පැමිණ ප‍්‍රදර්ශනය කිරීමද විශේෂත්වයක් විය. එසේම එදින කර්මාන්ත ක්ෂේත‍්‍රයේ රැකියා පිළිබඳ තොරතුරු ඇතුළත් ජංගම දුරකථන යෙදවුමක් (Job Portal Mobile Application) මෙම අවස්ථාවේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

පෙබරවාරි 03 වැනි දා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ප‍්‍රදර්ශනය විවෘත වීමෙන් පසු ඉතිරි සෑම දිනකමද සමාරම්භක උළෙලකින් අනතුරුව ප‍්‍රදර්ශනය මහජනයා සඳහා විවෘත විය. දෙවන, තෙවන හා සිව්වන දින සමාරම්භක උළෙලවලට ප‍්‍රධාන ආරාධිතයෝ ලෙස පිළිවෙළින් බතික්, අත්යන්ත‍්‍ර, දේශීය ඇඟලූම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, තේ අපනයන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරු සහභාගි වූහ.

ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයෙන් ඉදිරිපත් කළ නවීන තාක්ෂණය මුසු වූ කර්මාන්ත ක්ෂේත‍්‍ර පිළිබඳව නරඹන්නන්ගේ, විශේෂයෙන් තරුණ පිරිසේ අවධානය යොමුව තිබූ අතර පාසැල් සිසුන්ගේ සහභාගිත්වයද කැපී පෙනිණි. සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවන් නරඹන්නන්ට සිය නිෂ්පාදන මිලදී ගැනීමේදී අවස්ථාව ද ලබා දී තිබූ අතර එමගින් විශාල අලෙවිපොළක් ද ප‍්‍රදර්ශන භූමියේ නිර්මාණය වී තිබිණි. එසේම මෙහිදී ප‍්‍රදර්ශකයන්ට දෙස්, විදෙස් ආයෝජන අවස්ථාවන් සහ නව වෙළඳපළ අවකාශයන් පුළුල් ලෙස ලැබී ඇතැයි කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පවසයි.

කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනයෙන් රටට ලැබුණු ජයග‍්‍රහණයන් රැසක් ලැබී තිබණි. ඒවා නම්,

ප‍්‍රදර්ශනය කාලය තුළ සියලූ වෙළෙඳ කුටිවල සිදුවූ අලෙවි වටිනාකම රුපියල් 32,045,826ක්, ප‍්‍රදර්ශන කාලය තුළ ප‍්‍රදර්ශණ කුටි හිමියන් ලැබූ දේශීය ඇණවුම් ප‍්‍රමාණය 17708ක්, විදෙස් ඇණවුම් සම්බනධතා 133ක් ගොඩනගා ගැනීමට හැකිවීම, ප‍්‍රදර්ශනය නැරැඹීමට විසිදහසකට අධික ජනතාවක් සහභාගිවීම, මෙරට ප‍්‍රමුඛතම කර්මාන්ත ක්‍ෂේත‍්‍ර විස්සක් නියෝජනය කරමින් ඉදිරි පෙළ කර්මාන්තකරුවන් ඇතුළු සුළු හා මධ්‍ය හා විශාල පරිමාණ කර්මාන්තකරුවන්ගේ ප‍්‍රදර්ශන කුටි හාරසියයක් අතිසාර්ථකව ඉදිරිපත් කීමට හැකියාව ලැබීම, දුෂ්කරතා හා අභියෝග මැද කර්මාන්තකරුවා රට වෙනුවෙන් ඉටු කරනු ලබන මෙහෙවර පිළිබඳ මනා චිත‍්‍රයක් රට හමුවේ තැබීමට හැකිවීම සඳහන් කළ හැකිය.

නවීන තාක්‍ෂණය මුසුවූ ජාතික කර්මාන්ත ප‍්‍රදර්ශනය හා අලෙවි පොළ

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment