නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනාට එරෙහි පාස්කු නඩුවට විශේෂ ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්

221

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මුස්ලිම් මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව පවරනු ලබන නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර ඇත.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත් කරන ලද එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කටයුතු කරන අතර අමල් රණරාජා හා නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරු, සෙසු සාමාජිකයෝ වෙති.

2019 අපේ‍්‍රල් 19 වැනිදා කොච්චිකඬේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප‍්‍රමුඛ කතෝලික දේවස්ථාන හා සුප‍්‍රකට සංචාරක හෝටල් ඇතුළු ස්ථාන අටකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන වාර්තා අධ්‍යයනය කළ නීතිපතිවරයා එකී විත්තිකරුවන් 25 දෙනාට එරෙහිව අධිචෝදනා 23,270ක් යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බව අගවිනිසුරුවරයාට දන්වා තිබිණි.

පුද්ගලයින් 269 දෙනකු මරණයට පත් කරමින් තවත් 300කට ආසන්න පිරිසකට බරපතළ තුවාල සිදු කළ එකී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවට සෘජුව හෝ වක‍්‍රව ආධාර අනුබල දීම, දායකත්වය දැක්වීම ඇතුළු අධිචෝදනා යටතේ නවුෆර් මවුලවි, සජිත් මවුලවි, මොහොමඞ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ හෙවත් ජවුෆර් ඩාමා ඇතුළු 25 දෙනකුට එලෙස නඩු පැවරීමට නියමිතය.

ඒ. ජේ. ඒ. අබේනායක
 

advertistmentadvertistment
advertistmentadvertistment