නව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ 11 දා වැඩ භාර ගනිති

276

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් මෙම මස 11 වැනිදා සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම ධුරය සඳහා අටමස්ථාන කාරක සභාව විසින් අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පත් කිරීමට ගත් ඒකමතික තීරණයකට අනුව අටමස්ථානාධිපති ධුරය සඳහා උන්වහන්සේ පත්කර ඇත.

ඒ අනුව එකොළොස් වැනි අටමස්ථානාධිපති නාහිමියන් ලෙස උන්වහන්සේ එදින පෙරවරු 7.00 ට සිය ධුරයේ වැඩ භාර ගනිති.

ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අබියස දී උන්වහන්සේට අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මහතා විසින් මල්වට්ටියක් පූජා කර උන්වහන්සේ පිළිගැන්වීමෙන් පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියන් බෝසමිදුන් වන්දනා කර ආගමික වතාවත්හි නිරතව ආශිර්වාද ලබා ගැනීමට නියමිතව ඇත.

අනතුරුව අභිනව අටමස්ථානාධිපති නාහිමියන් සිය ධුරයට පත්වීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධියේ පහළ මළුවේ බෝ පැළයක් රෝපණය කිරීමට නියමිතය අතර ඉන්පසු උන්වහන්සේ බෝමළුව විහාරස්ථානයේදී සිය ධුරයේ වැඩ භාර ගැනීම සිදු කෙරේ.

එහිදී සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝසමිදුන්ගේ අංකූරයක් අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයකට ප්‍රදානය කිරීම සිදු කෙරෙනු ඇත.

ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් ඉතා චාම් ලෙස පැවැත්වෙන සිය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට දේශපාඥයින් හෝ වෙනත් ප්‍රභූවරුන් කිසිවෙකුටත් විශේෂ කර තමන් වහන්සේ ආරාධනා නොකරන බවත් එම අවස්ථාවට සහභාගී වන සියලු දෙනා අටමස්ථානයේ දායකයන් ලෙස පිළිගන්නා බවත් අභිනව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ පැවැසූහ.

1954 වර්ෂයේ ජුනි මස 15 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම ග්‍රාමයේ කිරිබංඩාර නිලමේතුමා සහ කරුණාවති කුමාරිහාමි මාතාවට දාව මෙලොව එළිය දුටු උන්වහන්සේ මා/ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, මා/ පැල්වෙහෙර විද්‍යාලය සහ අ/කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇත.

අනතුරුව 1968 මැයි මස 09 වැනිදා ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස දී පැවිදි දිවියට පත්ව ඇත.

1975 ජුනි මස 05 වැනිදා මහනුවර මල්වතු මහාවිහාරීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලබා ඇති අටමස්ථානාධිපති නාහිමියන් අනුරාධපුර මහා විහාර පිරිවෙන සහ කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා තිබේ.

කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇති උන්වහන්සේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු අනුරාධපුර බෝමළුව විහාරස්ථානයට වැඩම කළ උන්වහන්සේ 1977 සිට 1988 වර්ෂය දක්වා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ තේවා කටයුතු භාරව ක්‍රියාකොට ඇත.

එම කාලයේ දී අභිනව අටමස්ථානාධිපති නාහිමියන් අනුරාධපුර මහා විහාර පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත.

අනතුරුව 1988 වර්ෂයේ අනුරාධපුර ජේතවන විහාරස්ථානයේ විහාරාධිකාරින් වහන්සේ ලෙසත් 1997 වර්ෂයේ සිට ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී ධුරයට සහ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ධුරයට පත්ව ඇත.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment