නව කැබිනට් ඇමැතිවරුන් 10 ක් – අද හෝ අනිද්දා දිවුරුම් දෙති

309

නව කැබිනට් ඇමැතිවරුන් 10 දෙනකු ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ අද (23දා) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අද දිවුරුම් දීමක් සිදුනොවුණහොත් අනිද්දා (25දා) දිවුරුම්දීම සිදුවන බවද එම ආරංචි මාර්ග පැවැසීය.

නව ඇමැතිධුර 10 අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා අමාත්‍ය ධුර 05 ක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අමාත්‍යධුර 02 ක් සහ ඉතිරි අමාත්‍යධුර 03 වෙනත් පාර්ශ්වවලටද ලබාදීමට අදහස් කර ඇතැයි එම ආරංචි මාර්ග පැවැසීය. අමාත්‍ය මණ්ඩලය 23 කට සීමා කිරීමට අදහස් කරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍යධුර දිලුම් අමුණුගම, එස්. එම්. චන්ද්‍රසේන, ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක සහ සහ ෂෙහාන් සේමසිංහ මහත්වරුන්ටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් මහින්ද අමරවීර මහතාට සහ එම පක්‍ෂයේ තවත් අයකුටත් ඇමැතිධුර ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද එම ආරංචි මාර්ග පැවැසීය.

සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීමට අදහස් කර ඇතත් ඔහු එය ලබාගන්නවාද නැද්ද යන්න ඊයේ (22දා) සවස් වනතෙක් තහවුරු වී නැතැයිද එම ආරංචි මාර්ග කියා සිටී.

නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමෙන් පසු මේ වනවිට කැබිනට් ඇමැතිවරුන් 13 දෙනකු පත්කර ඇත. නියෝජ්‍ය ඇමැතිවරුන් පිරිසක්ද පත්කිරීමට නියමිත අතර එම පිරිස ඉදිරි දිනවලදී පත්කරනු ඇතැයි එම ආරංචි මාර්ග පැවැසීය.

ඇමැතිවරුන් පත්කළද අමාත්‍යාංශවල වැඩකටයුතු සිදුකරගෙන යෑමට ලේකම්වරුන්ද අවශ්‍ය නිසා අමාත්‍යවරුන් පත්කිරීමෙන් පසු අමාත්‍යාංශ ලේකම්වරුන් අද දිනයේම පත්කිරීමට අදහස් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

චමින්ද සිල්වා, අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment