ආණ්ඩුව ගෙදර යන තෙක් අරගලය අත්හරින්නේ නෑ – ගාලුමුවදොර විරෝධතාකරුවෝ කියති

418

ඇමැති මාරුවට එරෙහිව ඊයේ  ගාලුමුවදොර අරගල බිමේදී

අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් කිසිම ඵලක් නොවන බවත් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ වර්තමාන රජය  ගෙදර යන තුරුම සිය අරගලය අත්නොහරින බවත් දින 10 ක් තිස්සේ ගාලුමුවදොර අරගලයට එක්ව සිටින ජනතාව එක හඬින් කියා සිටිති.

රටේ සම්පත් සුරාකමින් අහිංසක ජනතාව අන්ත දිළින්දන් බවට පත් කළ වර්තමාන රජයේ දේශපාලනඥයන් සියලු දෙනා ගෙදර යන තුරු මෙම අරගලය නොනවත්වාම කරගෙන යන බව ගාලුමුවදොරට රැස්ව සිටින දහස් සංඛ්‍යාත ජනතාව පවසති.

ඊයේ දහවැනි දිනටත් පැවති ජන අරගලයට සහාය පළකිරීම සඳහා කලාකරුවන්, ක්‍රීඩකයන්, නීතීඥවරුන්, විවිධ වෘත්තිකයන් ඇතුළු දහස් ගණනක් ජනතාව ගාලුමුවදොර භූමියට පැමිණ සිටියහ.

මෙම ජන අරගලයට එක්ව සිටී ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය මාධ්‍ය හමුවේ කියාසිටියේ මේ ආණ්ඩුව ලැජ්ජා නැතිව කැබිනට් හදාගෙන තවදුරටත් රැඳී සිටීමට උත්සාහ නොකර ගෙදර යා යුතු බවයි. පාර්ලිමේන්තුවට ගෙන එන විශ්වාසභංග යෝජනාවට අත් උස්සා එය ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම විපක්‍ෂයේ සහ ස්වාධීනව සිටින දේශපාලනඥයන්ගේ වගකීම බව ද අබේරත්න මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම ජන අරගලයට එක්ව සිටි රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා මහත්මිය කියාසිටියේ පාර්ලිමෙන්තුවේ සිටින දේශපාලන ව්‍යාපාරිකයන් නිසා මෙම අරගලය විසඳීමට නොහැකිවී ඇති බවයි.

රටේ ජනතාව දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත්කර හැරියේ ඔවුන්ගේ යුතුකම ඉෂ්ට කිරීමට බව ද ඇය කියා සිටියාය.

වර්තමාන රජයට මෙන්ම රාජපක්‍ෂවරුන්ට රජයෙන් ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලුමුවදොර පිටියේදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 09 වැනිදා සිටය.

මෙම අරගලයට එක්වූ දහස් ගණන් ජනතාව ගාලුමුවදොර පිටියේ දිවා රෑ ගත කරමින් රජයට සහ මහින්ද රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන්ට ගෙදර යන ලෙස බලකරමින් විරෝධතාවේ නිරතව සිටිති.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment