නව ඡන්ද ක‍්‍රමයකට එජාපය යෝජනා දෙයි

193

කොට්ඨාස ක‍්‍රමය යටතේ සියයට 65ක් සහ සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ සියයට 25 ක් වශයෙන් මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනෙන මැතිවරණ ක‍්‍රමයක් සකස්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂය, මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප‍්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඊයේ (07) සාක්ෂි දෙමින් කියා සිටී.

කොට්ඨාස සංඛ්‍යාව අඩුකිරීම මඟින් පළාත් පාලන ආයතන වලට තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රිවරුන් සංඛ්‍යාව අඩුකළ යුතු බවද ඔවුහු යෝජනා කළහ.

පළාත් පාලන ආයතනවලට තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රීවරු සංඛ්‍යාවෙන් සියයට 25 ක් කාන්තාවන් විය යුතු බවද, එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී කීවේය. සුළු ජාතින්ගේ නියෝජනය සහතික කිරීමේ අවශ්‍යතාවද ඔවුහු පෙන්වා දුන්හ.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් කාරක සභාව රැුස් වූ අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සාක්ෂි දුන් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව ශ‍්‍රී ලංකාවේ නොයෙකුත් මැතිවරණ කොට්ඨාසයන්හි සැබෑ නියෝජනයකින් යුතු ආයතනයක් විය යුතු බවයි.

මහ මැතිවරණයේදී පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා අරමුදල් ලැබෙන ප‍්‍රභවයන් අනාවරණය කළ යුතු බවද එක්සත් ජාතික පක්ෂයේ මතය විය. මැතිවරණයකදී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන්ට වැය කළ හැකි වියදම් සීමා කළ යුතු බවද ඔවුහු කාරක සභාවේදී පෙන්වා දුන්හ.

ද්විත්ව පුරවැසියන් හෝ වෙනත් රාජ්‍යයක දිවුරුම් දුන්, සබඳතා ඇති තැනැත්තන් ශ‍්‍රී ලංකාවේ, මහ මැතිවරණයට ඉදිරිපත් වීම සීමා කිරීම හෝ වැළැක්වීම කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය කාරක සභාවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සං‍යුතිය හැකිතරම් ප‍්‍රායෝගික අන්දමින් මැතිවරණයේදී ජන්දය දීම සඳහා සුදුසුකම් ලත් ජන්ද දායකයන්ගේ ජන විකාශය පිළිබිඹු කළ යුතු අතර, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ජන්දදායකයන් මඟින් සහ ජාතික ලැයිස්තුවෙන් තෝරා ගත යුතු බව එම පක්ෂය පෙන්වා දුන්නේය.

පක්ෂ මාරු කිරීම සඳහා ඉඩ නොඳිය යුතු අතර, යම් මන්ත‍්‍රීවරයෙකු එසේ පක්ෂය මාරු කළහොත්, ඔහු හෝ ඇය පක්ෂ ලැයිස්තුවෙන් ඉබේම ඉවත් ව යා යුතු බවද ඔවුහු සඳහන් කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment