නව ජනපති පත්වීම ව්‍යවස්ථාවට අනුකූලද?

325

වර්ෂ 2022 මැයි මස 09 වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ජනතාවගේ විරෝධතාවය මත සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සියලුම අමාත්‍යධුර අවසන් විය.

 තත්ත්වය එසේ තිබියදී එවකටත් ජනතා විරෝධතාවයට ලක්වී සිටි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් එවකට වර්ෂ 2019 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ 3 වන ඡේදය අනුව සතියක් ඇතුළත නම් නොකරන ලද සහ පසුව නම්කරන ලද එකම පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් නම් කරන ලද එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කරන ලදී. එකී රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී පත්වීම ලබාගෙන ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වේ. එවැනි පුද්ගලයකුව පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනෙකුගේ විශ්වාසය දිනාගෙන ඇති මන්ත්‍රීවරයා ලෙස ජනතා අප්‍රසාදයට සහ විරෝධතාවයට ලක්ව සිටි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය උපකල්පනය සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බවය.

 තත්ත්වය මෙසේ තිබියදී වර්ෂ 2022 ජූලි මස 09 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතාවගේ විරෝධතාවය මත ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා එදින හෝ එදිනට ආසන්න දිනකදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙන් පළාගොස් ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වන ව්‍යවස්ථාව අනුව සහ එකී ව්‍යවස්ථාවේ 2 වන අනුව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා තමන්ගේ ධුරයේ වැඩබැලීමට පත්කිරීමෙන් තොරවය.

 මෙවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 2 ව්‍යවස්ථාව අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් විමසීමක් කර එකී විමසීම අනුව අග්‍ර විනිශ්චයකාර තුමාගෙන්ද විමසා ඒ අනුව කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පිළිගැනීම මත පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම පමණක් බවය. එමෙන්ම මෙවැනි වැඩබැලීමක් සිදුවිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 1 ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු අවස්ථාවකදී ජනාධිපති ධුරය හිස්වූ විට පමණක් බවය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා එකී වැඩබැලීම කරනු ලබන්නේ තමන් අග්‍රාමාත්‍යධුරයට පත්වන අවස්ථාවේදී දෙන ලද දිවුරුම හෝ ප්‍රතිඥාව මතය. ඒ අනුව විධායක ජනාධිපති රටින් බැහැරව සිටීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිධුරයට පත්වී තිබූ බවය.

 විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඒ අනුව වර්ෂ 2022 ජූලි මස 09 වන දින සිට තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 1 ආ ව්‍යවස්ථාව අනුව වර්ෂ 2022 ජූලි මස 14 වන දින හෝ එයට ආසන්න දිනයකදී සිදුවන අතර ඒ අනුව එකී දැනුම් දීම නිල වශයෙන් වර්ෂ 2022 ජූලි මස 15 වන දින කථානායක තුමා ප්‍රකාශකරන තෙක් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමා වූයේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාම වේ.

 මෙවැනි ඉල්ලා අස්වීමක් සිදුවූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 1 ආ අනුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් කරනු ලබන නියෝගය අනුව පාර්ලිමේන්තුවේ ලේකම්වරයා විසින් පවත්වනු ලබන අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තුව තුළ පවත්වනු ලබන ඡන්ද විමසීමේදී තමන් ඡන්ද අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් තීරණය කර තිබුණේ නම් ඔහු විසින් ගතයුතුව තිබූ පියවර වන්නේ 40 ඇ ව්‍යවස්ථාව අනුව තමන් සිය අග්‍රාමාත්‍යධුරයෙන් සහ වැඩබලන ජනාධිපතිධුරයෙන් ඉවත්වී එකී ධුරවල කටයුතු කථානායකවරයා වෙත පවරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වී ඒ අනුව එකී ඡන්ද විමසීමේදී ප්‍රථමයෙන් ඡන්ද දායකයෙකු බවට පත්වී ඒ අනුව එකී ඡන්දයේ අපේක්‍ෂකයකු ලෙස නාම යෝජනා ලබාදීම වේ.

 නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් කථානායකවරයා ප්‍රකාශයට පත්කිරීමට පෙර හෝ පසුව ගරු අග්‍රවිනිශ්චයකාර තුමා කොළඹ වාලුකාරාමයට කැඳවා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වන අනු ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාව අනුව ඡනාධිපතිධුරයේ දිවුරුම් දීම වේ.

 එවැනි දිවුරුම් දීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත පවත්වනු ලබන මහජන ඡන්ද විමසීමකදී තෝරාපත්කර ගන්නා හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 1 ආ අනුව පාර්ලිමේන්තුව විසින් තෝරාපත්කරගන්නා ලද ජනාධිපතිවරයකුට පමණක් බවය.

 ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් වර්ෂ 2022 ජූලි මස 14 හෝ 15 වන දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිත කර එය චේතනාන්විතව උල්ලංඝනය කරමින් බවය. එමෙන්ම තමන් දැරූ අග්‍රාමාත්‍ය ධුරයේ බලතල අයුතු ලෙස පාවිච්චි කරමින් බවය.

 ඒ අනුව ඔහුට ජනාධිපති ඡන්ද විමසීමකදී ඡන්ද දායකයකු ලෙස හෝ ඡන්ද අපේක්‍ෂකයකු ලෙස නාම යෝජනා භාරදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 2 1 සහ 4 අනුව නීතියට පටහැනි වී තිබූ බවය.

 මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුර අපේක්‍ෂකයකු ලෙස වර්ෂ 2022 ජූලි මස 19 වන දින නාමයෝජනා භාරදුන් අවස්ථාවේදී එයට විරෝධතා ඉදිරිපත් කිරීමට මේ අනුව අවකාශ තිබුණද එසේ නොවීම මත රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වී ඒ අනුව නැවත ප්‍රතිඥා දී වැඩ භාරගෙන ඇත.

 මෙම ව්‍යවස්ථාවිරෝධී පිළිවෙත ඔහු අනුගමනය කරනු ලැබුවේ මේ රටේ කිසිදු ජනමතයක් ඔහු ජනාධිපති ධුරයට පත්කිරීමට නොතිබුණ අවස්ථාවක වන අතර ඔහු එසේ කරනු ලැබ ඇත්තේ ඔහු ජනාධිපති ලෙස නීතියට පටහැනිව පත්වී ඇති බවට පසු අවස්ථාවකදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ ද නැත්නම් අනිසි බව තීරණය කළ ද නැත්නම් ජනාධිපති තෝරාගැනීම නිෂ්ප්‍රභා කරනු ලැබුවද ඔහුගේ බලතල නිර්බල නොවන නිසා බවය. එකී තත්ත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 39 අනුව නිශ්චිතවම තහවුරු කර ඇත.

 මේ අනුව කළහැකි වන්නේ ඡන්ද පෙත්සමක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඒ අනුව තීන්දුවක් ලබාගෙන ඔහුගේ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශයක් නිකුත්කරවා ගැනීමය.

 රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිතරම ප්‍රකාශ කර සිටින්නේ තමන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමේ දේවදූතයා ලෙස වුවද ඔහුගේ ක්‍රියාකලාපය නිශ්චිතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතාකිරීම මත විධායක බලය නිශ්චිතවම අවභාවිතා කිරීමය.

 මේ අනුව වර්තමාන ජන අරගලය විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස අරගල කිරීම සහ ජනාධිපතිවරණයක් පවත්වන ලෙස අරගල කිරීමය.

 එකී අරගලය පැහැදිළි ලෙසම ප්‍රජාතාන්ත්‍රික අරගලයක් වන බැවින් එවැනි අරගලයකට ජාත්‍යන්තර සහයද ලැබෙනු ඇත. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට සිදුවන බවය.

කන්දේබදුගේ රොබට් ඇන්ටනි පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment