නව ජනපති රනිල් දිවුරුම් දෙයි

135

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අට වැනි විධායක ජනපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ සුබ මොහොතින් දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඉතා චාම් සහ එහෙත් ගාම්භීර ලෙස පැවැත්වූ කෙටි උත්සවයකදී දිව්රුම් දුන් ජනාධිපතිවරයා මෙරට අර්බුදකාරී ආර්ථික ගැටලු රැසක් මධ්‍යයේ පත්වූ ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වනු ඇත.

ජනාධිපති ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට රනිල් වික්‍රමසිංහ මහතා එම මහත්මිය සමග පාර්ලිමේන්තුවට ඊයේ (21) පෙරවරු 9.50 වන විට පැමිණියේ ය.

හමුදා උත්තමාචාර සහිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඔහු ඉතා සාදරයෙන් පිළිගනු ලැබීය. අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙහි දිව්රුම් දීමේ ස්ථානය වෙත ගිය ඔහු පෙරවරු 10.05ට යෙදුණු සුබ මොහොතින් ධුරයෙහි දිව්රුම් දුන්නේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව පැවැති ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ රහස් ඡන්දයෙන් විශිෂ්ට ජයග්‍රහණය ලබා හෙතෙම අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත් වීමට සුදුසුකම් ලැබීය.

ජනාධිපතිවරයාගේ මෙම දිව්රුම් දීමේ අවස්ථාවට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් මෙන්ම චමල් රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, විජයදාස රාජපක්ෂ, රවුෆ් හකීම්, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, නිමල් ලන්සා, රමේෂ් පතිරණ, ලොහාන් රත්වත්තේ, ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, ඒ.එල්.එම්. අතාවුල්ලා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගී වී සිටියහ.

නව ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජුනි මස පාර්ලිමේන්තුවට තේරී පත් විය.

අනතුරුව රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එම රජයේ අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment