නව ත්‍රස්ත පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන්න

122

අධිකරණ ඇමැති ආචාර්ය විජයදාසගෙන් අභියෝගයක්

නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්දනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාව එක්වෙමින් ඇමතිවරයා බව කියා සිටියේය

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

රට තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ මෙන්ම දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන දුෂණ වංචා වැළැක්වීම සඳහා දැනට පවතින අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාව විසින් කිසිදු සාධනීය පියවරක් ගෙන නැහැ. එම කොමිෂන් සභාවේ කටයුතු අසාර්ථක වීම හේතුවෙන් හා 2004 වසරේ දී ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්තියට අනුව යමින් නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කර තියෙනවා. එය සම්මත කිරීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා.

නව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් ලෙස විශ්‍රාම ගිය නිලධාරීන් පත් කිරීම සිදු නොකරන අතර, ඒ සඳහා දැනට රාජ්‍ය සේවයේ සිටින නිලධාරීන්ට හා සුදුසුකම් ඇති ස්වේච්ඡා සේවකයන්ට අවස්ථාව තියෙනවා.

වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ පමණින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමේ නිසි ක්‍රමවේදයක් නැහැ. නව දූෂණ විරෝධි පනත් කෙටුම්පත හඳුන්වාදීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසිවෙනවා. ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයන් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි.

ඇතැම් පිරිස් විසින් චෝදනා කරන පරිදි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි නව දූෂණ විරෝධි පනත ඉදිරිපත් කළේ නෑ. එම පනත මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අවශ්‍යතම කරුණක්. විනිදවිද භාවයෙන් යුතු අය වැය කාර්යාලයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ස්ථාපිත කිරීම ඇතුළු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික කරුණු කිහිපයක් නව දූෂණ විරෝධි පනතට ඇතුළත් කර තියෙනවා. ලබන මැයි මාසය තුළ එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

නව දූෂණ විරෝධි පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර, නව අල්ලස් කොමිෂමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතිනවා.

රට තුළ අල්ලස හා දූෂණය සම්බන්ධව දැනට පවතින තත්වය හේතුවෙන් ආයෝජකයන් ආයෝජනය කිරීමට බියක් දක්වනවා. සිංගප්පුරුව දියුණු රටක් බවට පත්වීමට ප්‍රධාන හේතුව වූයේ අල්ලස හා දූෂණය තුරන් කිරීමයි. ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යොමු වීම සම්බන්ධව කිසිදු වරදක් නෑ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න අර්ථ නිරූපණය කර තිබේ. එම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ තීන්දුවට සියල්ල යටත් වන අතර මෙම පනත සම්බන්ධව සෑහීමකට පත් නොවන පුද්ගලයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හැකියාව පවතින බවත්, අධිකරණ ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නව පනත යටතේ අත්අඩංගුවට පත් පුද්ගලයන් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේ කටයුත්ත අධිකරණයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවන බව ද මෙම පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන බවට සඳහන් කරන කිසිවෙක් නව පනත කියවා නැති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment