නව ත්‍රස්ත විරෝධී පනත හරහා ජනපතිට රජෙකුටත් වඩා බලතල ලැබෙනවා

180

නව ත්‍රස්ත විරෝධී පනත හරහා ජනාධිපතිවරයා රාජාණ්ඩුවක රජෙකුටත් වඩා විශාල බලතල ලබා ගන්නා බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා (29 දා) ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය. එහිදී තවදුරටත් කරුණු පැහැදිලි කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

ආණ්ඩුව මෙම අවස්ථාවේ දී ඉතාමත් බරපතළ මර්දනකාරී පනත් දෙකක් ගෙන ඒමට සුදානම් වෙනවා. එයින් එක් පනතක් තමයි ත්‍රස්ත විරෝධි පනත. එම පනත හරහා ජනාධිපතිවරයා බලය පවරා ගන්නවා සංවිධාන තහනම් කිරීමට සහ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීමට. මෙම පනත හරහා නඩු නොදමා වසරක කාලයක් අත්අඩංගුවේ තබා ගැනීමට, නිවාස අඩස්සියේ තබා ගැනීමට පුලුවන්කම ලැබෙනවා. ඒ වගේම මෙම පනත හරහා ජනාධිපතිවරයාට හිමි වෙනවා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග නිකුත් කිරීමේ බලයත්. ඒ වගේම සංවිධාන සහ මාධ්‍ය බියවැද්දීමටත් පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා සමාව ගැනීම සහ සමාජ සේවාවන් කිරීම සඳහා අවස්ථාව සලසා තිබෙනවා. ඊට අමතරව බියවැද්දීම සඳහා සමාව ගන්නවා නම් නඩු ඉවත්කර ගැනීම සඳහාත් වරදක් කළ බව පිළිගන්නවා නම් නඩු ඉවත් කර ගැනීමටත් ප්‍රතිපාදන සලසනවා. ඒ සියල්ල කරන්නේ නීතිය අනුව නොවෙයි. ඒවා කරන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව. ඒ අනුව පැහැදිලියි මෙම පනත හරහා ජනාධිපතිවරයාට රාජාණ්ඩුවක රජෙකුටත් වඩා බලය හිමිවන බව.

ඊට අමතරව තවත් පනතක් ගෙන එනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පාලනය කීරීමට පුලුවන් වන විධියට. ඒ සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පනත සංශෝධන කරනවා. ජනාධිපතිවරයා විසින් තමයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පත්කරන්නේ. එම පනත හරහා ආරක්ෂක ලේකම්වරයාගේ බලය නැතිවී එම බලය ජනාධිපතිවරයාට හිමිවෙනවා.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment