නව පෙළක් හදමින් යුද හමුදාව හැත්තෑ දෙකට සැරසෙයි

375

ස්වෙච්ඡා බළකාය විකුම්ට

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනදාටත් වඩා කාර්යක්ෂම වෙමින් සේම, කොවිඞ් වසංගතය සඳහා ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කරන යුද හමුදාව සිය 72 වෙනි සංවත්සරය මෙම මස දහවෙනිදා සැමරීමට සූදානම්වීම මේ දිනවල හමුදා කේෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛ කාර්යය වී තිබේ. ඉකුත් සඳුදා දින සන්ධ්‍යාවේ මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේදී ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප‍්‍රමුඛ යුද හමුදාවේ ප‍්‍රධාන නිලධාරීහු සියලූදෙනාම මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. යුද හමුදා ධජය පෙරටු කරගත් යුද හමුදාවේ සියලූ රෙජිමේන්තු ධජ, ශ‍්‍රී දළදා සමිඳුන්ගේ ආශිර්වාදය පිණිස තැන්පත් කරමින් මෙම පුණ්‍යකර්මය ඉටු විය. යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා, ආරක්ෂක සේනා ආඥාපති – මධ්‍යම මේජර් ජෙනරාල් විකුම් ලියනගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

  • සංවත්සරය මධ්‍යයේ ජාතික ආරක්ෂාව

කොවිඞ් වසංගතයේදී යුද හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව සිදු කළ කර්තව්‍යයන් හේතුවෙන් රට යළිත් වේගයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි අවස්ථාවක් නිර්මාණය වූ අතර, දැඩි සීමා සහිතව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස අවසන් තීන්දුව ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. සියලූ අංශ ලබාදුන් වාර්තා සහ නිරීක්ෂණ සලකා බැලූ ජනාධිපතිවරයා, ඇඳිරි නීතිය ඉවත් කිරීම සඳහා වන පූර්ව දැනුම් දීම සිදු කරන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත දැනුම් දෙනු ලැබුවේ ඇමරිකාවේ සිටය. වහාම ක‍්‍රියාත්මක වූ යුද හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගේ නියෝගය අග‍්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ප‍්‍රධාන රාජ්‍ය ප‍්‍රධානි වෙත දැනුම් දෙනු ලැබූවේය. රාජ්‍ය බුද්ධි අංශයේ සංවත්සරික සැමරුම පසුගිය බ‍්‍රහස්පතින්දාට යෙදී තිබුණි. ඒ නිමිත්තෙන් සර්ව රාත‍්‍රික පිරිත් දේශනයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ ධර්ම දේශනයකින් ආරම්භ වූ එම පිරිත් දේශනය සඳහා දායකත්වය සපයන ලද්දේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ප‍්‍රධාන බුද්ධි අංශ නිලධාරීන් සහ සෙසු නිලයන්ය. එම පිරිත අවස්ථාවේදී ජනාධිපතිවරයා ඇමරිකාවේ සිට, ජෙනරාල් සලේ අමතමින් රටේ ආරක්ෂාව පිළිබඳව විමසා සිටියේ, ඇමරිකානු වේලාවෙන් උදෑසන හයට පමණ ඔහු අවදි වී සිටි හෙයිනි.

ඇමරිකාවේ සිට වුවත් දිනපතාම ආරක්ෂක ප‍්‍රධානීන් සහසම්බන්ධ වෙමින් විශේෂයෙන්ම යුද හමුදාපතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානි මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සමග සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව පිළිබඳව සොයා බලමින් සිටියේය.

  • බෞද්ධ විහාර ප‍්‍රතිසංස්කරණයට යුද හමුදාවෙන්

යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 22, 23 හා 24 වන සේනාංක නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් චන්න වීරසූරියගේ සහ ඒ යටතේ ස්ථාපිත සේනාංකවල සේනාංකාධිපතිවරුන්ගේ උපදෙස් මත ත‍්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවල බෞද්ධ විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය සිදු කිරීම වැඩිමනත් ජනප‍්‍රිය නොවූ ශ‍්‍රී ලංකා යුද හමුදාව දියත් කළ මහ`ගු ශාසනික ව්‍යාපෘතියකි.

ඒ අනුව, 22 වන සේනාංකයේ භට පිරිස් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ පච්චනූර් ප‍්‍රදේශයේ පිහිටි කොට්ටියාරාම රජමහා විහාරය, ගෝමරන්කඩවල ප‍්‍රදේශයේ පිහිටි ලූගල රජමහා විහාරය හා ලංකාරාම රජමහා විහාරය, කුච්චිවේලි ප‍්‍රදේශයේ පිහිටි
සමුද්‍රගිරි පිච්චමලේ රජමහා විහාරය සහ තිරියාය ප‍්‍රදේශයේ පිහිටි ගිරිග`ඩුසෑය ආදී විහාරස්ථාන ප‍්‍රතිසංස්කරණය ද 23 වන සේනාංකයේ භට පිරිස් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ දිඹුලාගල ප‍්‍රදේශයේ පිහිටි කළුකැලේ ශ‍්‍රී සුගතාරාම විහාරස්ථානය, බකමූණ ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී ශෛලබිම්බාරාම විහාරස්ථානය, ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී අග‍්‍රබෝධි විහාරස්ථානය, සෝමාවතිය ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී ශාන්ති නිකේතනාරාමය, ගිරිතලේ පිහිටි ඌනගල වෙහෙර රජමහා විහාරස්ථානය, මයිලංකරච්චි ශ‍්‍රී මහින්ද්‍රාරාම විහාරස්ථානය සහ පුලතිස්සගම ශ‍්‍රී පැරකුම් මහා පිරිවෙන ප‍්‍රතිසංස්කරණය කළහ. 24 වන සේනාංකයේ භට පිරිස් අම්පාර දිස්ත‍්‍රික්කයේ අම්පාර අරංතලාව විහාරය, පොල්වත්ත ප‍්‍රදේශයේ පිහිටි ශ‍්‍රී ඕවගිරි රජමහා විහාරය, හිගුරණ ප‍්‍රදේශයේ පිහිටි උත්තර ජයමහ විහාරස්ථානය, අම්පාර ප‍්‍රදේශයේ ඓතිහාසික දීඝවාපී රජමහා විහාරස්ථානය, ලාහුගල ප‍්‍රදේශයේ පිහිටි කොටවෙහෙර දීගලක විහාරස්ථානය සහ ශ‍්‍රී විද්‍යානන්ද පිරිවෙන ප‍්‍රතිසංස්කරණය කර වූහ. මෙසේ වත්මන් සමයේදී ත‍්‍රිවිධ හමුදාව විසින් උතුරු සහ නැගෙනහිර ඇතුළු රට පුරාම ප‍්‍රදේශ ගණනාවක විහාරස්ථාන නවීකරණ වැඩපිළිවෙළක් දියත් කරමින් තිබේ.

  • ස්වෙච්ඡා බල සේනාව විකුම්ට
නව පෙළක් හදමින් යුද හමුදාව හැත්තෑ දෙකට සැරසෙයි

එළඹෙන සතිය වන විට ශ‍්‍රී ලංකා යුද හමුදාවේ වෙනස්කම් රාශියක් සිදුවනු ඇත. යුද හමුදාවේ තනතුරු ලබාදීමේදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ න්‍යාය වී ඇත්තේ දක්ෂතාවය සමග ජේ්‍යෂ්ඨත්වය ලෙසය. ඒ අනුව යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ සිය ධුරයෙන් විශ‍්‍රාම ලබනු ඇත. යුද හමුදාධුරාවලියේ සිව්වෙනි තනතුරෙන් නික්ම යන මේජර් ජෙනරාල් වඩුගේ, කොතලාවල විශ්වවිද්‍යාලයයේ සිව්වෙනි බඳවා ගැනීමට අයත් නිලධාරියෙකි. හම්බන්තොට තිස්සමහාරාම මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු, වසර තිස් පහකට අධික හමුදා ජිවිතයක් ගත කර විශ‍්‍රාම යෑමෙන් හිස් වන තනතුර සඳහා මධ්‍යම පළාත් ආඥාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්වීමට නියමිතය. ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරාල් ලියනගේ ගේ නික්ම යෑමෙන් හිස් වන මධ්‍යම පළාත් ආඥාපති තනතුර සඳහා මේජර් ජෙනරාල් සමන්ත සිල්වා පත්වීමට නියමිතය. හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගේ මස්සිනා හෙවත් බිරිඳගේ සහෝදරයා වන ජෙනරාල් සමන්ත ද සිල්වා, යුද හමුදාපතිවරයා විසින් මධ්‍යම පළාත් ආඥාපති තනතුර වැනි වැදගත් ස්ථානයක් ලබාදීමෙන් පෙන්නුම් කරන්නේ යුද හමුදාපතිවරයාගේ පසු පස නොබලා ඉදිරියට යෑමේ ක‍්‍රියාවලියය. මහේෂ් සේනානායක යුද හමුදාපති ලෙස කටයුතු කරන ලද සමයේ වත්මන් යුද හමුදාපතිවරයා වෙත නොයෙක් අකටයුතුකම් සිදු කරමින්, ඔහුගේ හමුදා දිවිය නිමා කරන තරමට විවිධ බාධක එල්ල කරන ලද්දේ මුත්, මහේෂ් සේනානායකගේ මස්සිනා වෙත ඒ පිළිබඳව කිසිදු ඉ`ගියක් පවා නොදෙමින්, තනතුරු ලබාදීමේ, යුද හමුදාපතිවරයාගේ ගුණාංගයන් අගය කළ යුතුය.

ස්වෙච්ඡා බල සේනාධිපති මේජර් ජෙනරාල් සේන වඩුගේ ඊට අමතරව ගැමුණු හේවා බළකායේ අධිපතිධුරය ද උසුලා තිබේ. මේජර් ජෙනරාල් වඩුගේ විශ‍්‍රාම ගැනීම නිසා හිස් වන ගැමුණු හේවා බළකායේ අධිපතිධුරය සඳහා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා පත් කර තිබේ. මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා දරණ ලද යුද හමුදා කාන්තා බළකායේ අධිපතිධුරය සඳහා මේජර් ජෙනරාල් චම්පික රණසිංහ පත්කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගත්තේය.

මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත ගමගේ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප‍්‍රධානි ධුරයේ සිට උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස පත් කරන ලද අතර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා කාලතුවක්කු රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් අජිත් දිසානායක පත් කිරීමට යුද හමුදාපතිවරයා පියවර ගෙන තිබුණි.

  • චම්පික ඉදිරියට

සිංහ රෙජිමේන්තුව නියෝජනය කරන වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර මේ සතියේදී විශ‍්‍රාම ගැනීමට නියමිතය. එම තනතුර සඳහා ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන මේජර් ජෙනරාල් චම්පික රණසිංහ පත් කිරීමට යුද හමුදාපතිවරයා ක‍්‍රියා කරන ලද්දේ, මානුෂිය මෙහෙයුමේදී ඔහු විසින් සිදු කරන ලද දායකත්වය ද සලකාය. විශේෂයෙන්ම නැගෙනහිර පළාත මුදාගැනීමේ සටනේදී චම්පික රණසිංහ දක්වන ලද දායකත්වය යුද හමුදාපතිවරයා පුද්ගලිකවම දැන සිටියේය.

ඉදිරියේදී මේජර් ජෙනරාල් ධුරයට පත්වීමට නියමිත බි‍්‍රගේඩියර් රෝහිත අලූවිහාරේ වෙත ද මෙවර නව තනතුරක් යුද හමුදාපතිවරයා විසින් පිරිනමා තිබේ. යුද හමුදාපතිවරයා ද කලක් අධිපතිකම දරන ලද 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති ලෙස බි‍්‍රගේඩියර් අලූවිහාරේ පත් කර තිබුණි. අවසන් සටන නන්දිකඩාල් කලපුවේ සිදුවන විට බර අවි ප‍්‍රහාර නවතා කඩොලාන කැලය තුළට 19 වෙනිදා පාන්දර පිවිසෙන ලද්දේ, මේජර් රෝහිත අලූවිහාරේ ප‍්‍රමුඛ හතරවන විජයබාහු රෙජිමේන්තුවට අයත් භට පිරිසකි. ප‍්‍රභාකරන් ඇතුළු පිරිස සමග ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු එල්ටීටීඊ නායකයා මරා දැමීම සඳහා ඒ මොහොතේ නායකත්වය දෙන ලද බි‍්‍රගේඩියර් රෝහිත අලූවිහාරේ වෙත නව තනතුරක් හිමි කර දෙමින් ද මේජර් ජෙනරාල් චම්පික රණසිංහ වැනි සටන් බිමේ සේවය කළ පිරිස් වෙත නව වගකීම් පවරා දෙමින් ද ශක්තිමත් යටි පෙළක් යුද හමුදාව වෙත යුද හමුදාපතිවරයා විසින් බිහි කරමින් තිබේ.

  • හතරවන බලඝනය සැමරේ

එල්ටීටීඊ ත‍්‍රස්තවාදය විනාශ කිරීමෙහිලා සුවිශාල දායකත්වයක් දක්වන ලද ශ‍්‍රී ලංකා නාවික හමුදා හතරවන වේග ප‍්‍රහාරක බලඝනය සැමරීම මේ සතියේදී සිදුවිය. එල්ටීටීඊයේ මුහුදු ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් අභිබවමින් උතුරු සහ නැගෙනහිර මුහුදු සංචරණ කටයුතු අඛණ්ඩව පවත්වාගැනීම සඳහා හතරවන වේග ප‍්‍රහාරක බලඝනය පරිවර්තනය කිරීමට, එහි පුහුණු නිලධාරී ලෙස වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සක‍්‍රීයව දායක විය. 2006 වර්ෂයේ පෙබරවාරි 01 වන දින සිට 2007 වර්ෂයේ ජූලි මස 22වන දින දක්වා එම බලඝනයේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කරමින් සතුරු ප‍්‍රහාරක බලය විනාශ කිරීම සඳහා හතරවන වේග ප‍්‍රහාරක බලඝනය වෙත නායකත්වය ලබා දෙන ලද්දේ වත්මන් නාවික හමුදාපතිවරයාය.

එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ගේ මුහුදු ප‍්‍රහාරක බලය මැඩපැවැත්වීම සඳහා සිදුකළ ක‍්‍රියාන්විතයන්හීදී මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ හතරවන වේග ප‍්‍රහාරක බලඝනයේ වීරෝධාර රණවිරුවන් 259 දෙනෙකු අනුස්මරණය කිරීම කර, ඔවුන්ගේ නම් ඇතුළත් රණවිරු ස්මාරකයක් ත‍්‍රිකුණාමලය, නාවික තටාකාංගණයේ හතරවන වේග ප‍්‍රහාරක බලඝන මූලස්ථානයේ ඉදි කර, නිරාවරණය කිරීම මේ සතියේ සිදුවිය.

පසුගිය බ‍්‍රහස්පතින්දා දින නාවික හමුදාපතිවරයා විසින් විවෘත කළේය. එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, නාවික දියත් විධානයේ ධජ නිලධාරි රියර් අද්මිරාල් සජිත් ගමගේ, හතරවන වේග ප‍්‍රහාරක බලඝනයේ අණදෙන නිලධාරී කපිතාන් රාජප‍්‍රිය සේරසිංහ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment