නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීමක් – පුබුදු ජයගොඩ

151

ඉදිරිපත් කර ඇති නව මහ බැංකු පනත ජනතා පරමාධිපත්‍ය බලය උදුරා ගැනීමේ උත්සාහයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

බෙලිඅත්ත සමුපකාර ශාලාවේ 12 දා පැවැත්වුණු “ඡන්දෙ නෑලු – උන්ට බෑලු” නම් සම්මන්ත්‍රණයකදී ඔහු එසේ ප්‍රකාශ කළේය. ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් නොවූ, ජනතාවට වග නොකියන නිලධාරී තන්ත්‍රයකට ජනතාවගේ ආර්ථික ජීවිතය සම්බන්ධ තීරණ ගැනීමේ ඒකාධිකාර බලය පවරා දීම ජනතාවගේ අයිතීන් උදුරා ගැනීමක් යැයි ද හෙතෙම එහිදී පැවසීය.

එහිදී ඔහු මෙසේද කීවේය.

“අලුතින් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සම්මත වුවහොත් දැනට බලපවත්වන 1949 අංක 58 දරන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නීති පනත අහෝසි වෙනවා. වර්තමාන පනතට අනුව ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ හැසිරීම පිළිබඳ තීරණ ගන්නේ මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජනාධිපතිවරයා විසින් පත් කරන නියෝජිතයෙකු ආදීන්ගෙන් සමන්විත මූල්‍ය මණ්ඩලයකින්. අලුත් පනත මගින් මූල්‍ය මණ්ඩලය අහෝසි වෙලා පාලක මණ්ඩලය සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ලෙස මණ්ඩල දෙකක් ස්ථාපිත කෙරෙනවා. පාලක මණ්ඩලය සමන්විත වෙන්නේ මහ බැංකු අධිපතිවරයාගෙන් සහ පත් කරනු ලබන වෘත්තිකයන් 6 දෙනකුගෙන්. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට එම සත් දෙනාට අමතරව මූල්‍ය විශේෂඥයන් දෙදෙනෙක් සහ මිල ස්ථායිතාව- මූල්‍ය පද්ධති ස්ථායිතාව යන ක්ෂේත්‍ර දෙකේ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරුන් දෙදෙනා සහිත 11 දෙනකු පත් වෙනවා. රටේ ආර්ථිකය පිළිබඳවත් ජනතාවගේ ආර්ථික ජීවිතය සහ එහි අයිතීන් පිළිබඳවත් තීරණ ගැනීමේ ඒකාධිකාර බලය තිබෙන්නේ මේ නිලධාරීන් 11 දෙනාට. වත්මන් පනතේ මූල්‍ය මණ්ඩලයට මුදල් අමාත්‍යාංශ ලේකම් පත් කර තිබෙන්නේ විධායකය හරහා ෆිස්කල් ප්‍රතිපත්තිය සම්බන්ධ කරන්න. ඒ වගේම වත්මන් පනතේ මූල්‍ය මණ්ඩල සාමාජිකයන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කිරීමේ බලය සහ මූල්‍ය මණ්ඩල කටයුතු අධීක්ෂණය කිරීමේ බලය පාර්ලිමේන්තුවට ලබාදී තිබෙන්නේ රටේ ආර්ථික තීරණ ගැනීම සඳහා ජනතාවගේ ඡන්දයෙන් තේරීපත්වූ නියෝජිතයන්හට, ව්‍යවස්ථාදායකයට මැදිහත් විය හැකියි කියන මූලධර්මය යටතේ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment