නව වසර උදාවේ අනතුරුවලට ලක්වූ 209ක් ජාතික රෝහලේ

65

2023 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරුවලට ලක්වූවන් 209 දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛi රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ ට ඊයේ (01 වැනිදා) පැවැසීය. ඒ අතරින් 99 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද හෙතෙම කීය.

රෝහල් ගත කළ පිරිස අතර මහාමාර්ග අනතුරුවලට ලක්වූ 17 දෙනකුද, කලහකාරී සිද්ධීන් හේතුවෙන් තුවාල ලැබූ 30 දෙනකුද, වැටීම් හේතුවෙන් 10 දෙනකුද, රැකියාවේදී සිදුවූ අනතුරු හේතුවෙන් දෙදෙනකුද, ගිනිකෙළි අනතුරුවලින් 4 දෙනකුද, ක්‍රීඩා අනතුරුවලින් එක් අයකුද වන බව පැවසූ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වෙනත් වර්ෂවලට වඩා මෙවර නව වසර උදාවීමත් සමඟ සිදුවූ අනතුරුවල විශාල අඩුවක් දක්නට ඇතැයිද සඳහන් කළේය.

මේ අතර 2023 නව වසර උදාවීමත් සමඟ සිදුවූ හදිසි අනතුරුවලින් කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලට පැමිණ ඇත්තේ රෝගීන් 15 දෙනකු පමණක් බව එම රෝහල් අධ්‍යක්‍ෂිකා වෛi සාගරී කිරිවත්දෙණිය මහත්මිය ‘දිවයින’ ට පැවැසුවාය.

මාර්ග අනතුරු, වැටීම් හේතුවෙන් මෙම පිරිස රෝහල්ගතකර ඇතැයිද පසුගිය වසර වලට වඩා අනතුරුවල විශාල අඩුවීමක් දක්නට තිබෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment