නව වසර සුබ වෙන්න ආශිර්වාදාත්මක දේව පූජාවක්

406

උදා වූ නව වසරේ ඔබගේ සිතුම් පැතුම් ඉටුකරගනිමින් සතුටින් සහනයෙන් ජීවත් වීමට දෙවියන්ගේ ආශිර්වාදය ළඟාකර ගත හැකි පූජාවක් වන මෙය ජනවාරි 01 දින ආරම්භ කර එතැන් පටන් මසකට එක් දිනක් හෝ සිදු කරන්නේ නම් එයින් ඔබට බොහෝ යහපත් ප්‍රතිඵල උදාකර ගැනීමට හැකිවනු ඇත.

පළමුව නිවසේ සියලු දෙනාම එක්ව නිවසේ බුදු කුටියේදී බුදුරජාණන් වහන්සේට මල්, පහන්, පැන්, සුවඳ දුම් හා උදෑසන නම් කිරි ආහාර ද සවස් කාලයේ නම් ගිලන්පස ද පූජා කර තිසරණ සහිත පංචශීලය සමාදන්ව, බුදුන්, දහම් සඟුන් වැඳ පූජා කළා වූ සියලු දේ අදාළ ගාථා කියමින් බුදුරජාණන් වහන්සේට පූජා කර පහත දැක්වෙන රත්නත්‍ර නමස්කාරය තුන්වරක් සමාදන්ව දේව පූජාව අරඹන්න.

සග්ගෙ කාමෙච ගිරි සිඛර තථෙ
චාන්තලික්ඛෙ විමානෙ
දීපේ රට්ඨෙච ගාමේ තරු වන ගහණෙ
ගෙහ චත්ථුමහී කෙත්හෙ
බුම්බා චායන්තු දේවා ජලතල විසමෙ
යක්ඛ ගන්ධ බහ නාගා
තිත්ඨංතං සන්ති ඛෙදං මුණිවර වචනං
සාධවො මෙ සනත්තු

දෙවියන් වෙනුවෙන් පූජා කරන්නා වූ සියලු දේ තැන්පත් කිරීමට ප්‍රමාණවත් ආසනයක් නිවසේ ඊසාන දිශාන බලා සකස්කර ගන්න. (සතියේ කිසිම දිනක ඊසාන දිසාවේ මරු නොසිටින බැවින් සියලු පුද පූජා කටයුතු සඳහා එම දිසාව ඉතා සුබය.) අනතුරුව දෙවියන් ප්‍රිය කරන්නා වූ ශාක පත්‍ර ඒ මත අතුරන්න. මෙහිදී ගණ දෙවියන් උදෙසා කෙසෙල් පත්‍ර ද සමන් දෙවියන් හා ඊශ්වර දෙවියන් උදෙසා බුලත් පත්‍ර ද සරස්වතී මෑණියන් උදෙසා බෝ පත්‍ර ද පත්නිනි කතරගම දෙවියන් උදෙසා අඹ පත්‍ර ද දැඩිමුණ්ඩ දෙවියන් හා ශ්‍රී ලක්‍ෂ්මී මෑණියන් උදෙසා බෙලි පත්‍ර ද විභීෂණ සූනියම් යන දෙවිවරුන් උදෙසා කොහොඹ පත්‍ර ද ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා මදුරුතලා පත්‍ර ද අතුරා ඒ මත ලද පස්මල් ඉසින්න.

අප විසින් දෙවියන් උදෙසා පූජා කරන මල්, පහන්, සුවඳ දුම් ආදී සියලු පූජාවන් අපගේ ලෞකික සැපත සඳහා නිරතුරුවම හේතුවන බැවින් එක් එක් දෙවියන් ප්‍රියකරන වර්ණයන්ගෙන් යුතු මල් පූජා කර තෙල් වර්ගවලින් පහන් දැල්වීම සිදු කළ යුතු අතර ඒ සඳහා විෂ්ණු දෙවියන්ට තැඹිලි තෙල් පහන් හා නිල් කටරොලු මල් ද කතරගම දෙවියන්ට අබ තෙල් පහන් හා සියලුම රතු මල් වර්ග ද සමන් දෙවියන්ට සඳුන් තෙල් පහන් හා සුදු හෝ කහ මල්ද පත්තිනි මෑණියන්ට පස්තෙල් පහන් හා කහපාට මල් ද විභීෂණ දෙවියන්ට අබතෙල් පහන් හා රතු හෝ නිල් මල් ද ඊශ්වර දෙවියන්ට කොහොඹ තෙල් පහන් හා සුදු මල් ද දැඩිමුණ්ඩ දෙවියන්ට අබ තෙල් පහන් හා විවිධ පාට මල් ද සූනියම් දෙවියන්ට පස් තෙල් පහන් හා සුදු මල් ද ගණ දෙවියන්ට තල තෙල් පහන් හා කහ පැහැති මල් ද ශ්‍රී ලක්‍ෂ්මී දෙවඟනට ගිතෙල් පහන් හා රෝස පැහැති මල් ද සරස්වතී මෑණියන්ට සඳුන් තෙල් පහන් හා සුදු කහ පැහැති මල් ද පූජා කරන්න.

සැවැන්දරා, දේවදාර, අගිල්, ගුගුල්, සුවඳ කොට්ටන්, එනසාල්, වසාවාසී, නෙළුම් රේණු, සුදු හඳුන් හල්දුම්මල සම සමව ගෙන හොඳින් වියළා කුඩු කර සාදාගත් සුවඳ ධූපයෙන් දෙවියන් පුදා මුං ඇට කිරි, හකුරු, කජු, වියළි මිදි, එනසාල්, කරඳමුංගු වැනි ද්‍රව්‍ය යොදා කැකුළු සහලින් පිසගත් කිරිබතක්ද කොත්තමල්ලි තැම්බු වතුර පෙරා සූකිරි දමා භෝජන හා පානක පූජාවක් ලෙස දෙවියන්ට පිළිගන්වා එක් එක් දෙවියන් වෙනුවෙන් දී ඇති ගාථා කියා දෙවියන් වන්දනා කරන්න.

විෂ්ණු දෙවියන්ට

වාසුදේවං පරං බ්‍රහ්මං
තෘණ මුර්ථිඃ පුරුෂඃ පරඃ
ස්ව්‍යකෂස්ත්‍ර ගුණේ ශාන්තඃ
ශ්‍රී විෂ්ණු නමෝ වරම්

කතරගම දෙවියන්ට

විමන නිජ පදාබ්දං
වෙද වේදාන්ත වෛද්‍යං
මම කුල ගුරු දේහං
වාද්‍ය ගාන ප්‍රමෝහම්
රමණ සුගුණ ජාං රට්භාගි නෙයා
කමල ජනිත පාදං කාර්තිකේයං ගජාමි

සමන් දෙවියන්ට

ශ්‍රී මුනිත්‍ර පාද පද්ම සංරක්‍ෂණ ධාරං
ශ්‍රී සමන්ත කූඨ වාස සාසනෝපකාරං
ශ්‍රී සමන්ත දේව රාජ ස්වර්ණ චාප හස්තං
ශ්‍රී විරාජ මාන පුෂ්ප ආසන ප්‍රවිෂ්ඨං

විභීෂණ දෙවියන්ට

ශ්වේත තුරඟ වාහන නිත්‍යං
දක්‍ෂිණා හස්තෙසි පත්‍රන සුතහඃ
රාවණ ලංකාධීශ්වර භාතඃ
පාද නමස්තු විභීෂණ නාමඃ

දැඩිමුණ්ඩ දෙවියන්ට

කල්හාර පුෂ්පේච දන්තා නඛාය
පද්මා මුඛා ගන්ධ ස්වර්ණ කාය
හෙමා ලතා ධාරණ හස්තකාය
බණ්ඩාර දේවේන්ද්‍ර නමෝ නමාය

ගණ දෙවියන්ට

ගණපති පරිවාරුම් චාරුකෙයුර හාරම්
ගිරිධර වරසාරම් යොගිනි චක්‍රවාරම්
භව භව පරිහාරම් දුක්ඛ දාරිද මුරම්
ගණපති මහිවන්දෙ චක්‍ර තුණ්ඩාව කාරම්

ශ්‍රී ලක්‍ෂ්මි දේවියට

පද්මාසන ස්ථිතෙ දේවි
පරබ්‍රහ්ම ස්වරූපිනී
පරමේෂ ජගන් මාතාර්
මහා ලක්‍ෂමී නමෝස්තුතේ

යන ගථා ස්තෝත්‍ර කියමින් දෙවියන් වන්දනාමානයට ලක්කර දෙවියන් ඉතා ප්‍රිය පිරිතක් වූ කරණීයමෙත්ත සූත්‍රය 21 වරක් කියා ආකාසට්ඨාච බුම්මට්ඨා යන ගාථාව පමණක් තුන්වරක් කියා දෙවියන්ට පිං අනුමෝදන් කර පවුලේ සියලු දෙනා වෙත පැමිණ ඇත්තාවූ සියලු ග්‍රහ අපල, රෝග පීඩා, සතුරු කරදර බාධා දුරු වී අධ්‍යාපනයේ රැකියා කටයුතුවල හා ව්‍යාපාරික ස්ථානවල දියුණුව ඇති වී විවාහ ප්‍රමාද වීම්, පවුලේ අසමගිකම් අඬදබර දුරු වී නඩුහබවලින් ජය අත් වී දියුණුව සශ්‍රීකත්වය සමග සියලු යහපත් බලාපොරොත්තු අභිමතාර්ථ සිතැඟි පරිදි ඉටුකර දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න. දෙවියන් පහදවා ගනිමින් පිං පෙත් අනුමෝදන් කරමින් දෙවියන් වෙත සමීපවන්නාට සැපවත් ලෞකික ජීවිතයක් ගත කිරීමට භාග්‍යය උදා වන්නේය.

නව වසර සුබ වෙන්න ආශිර්වාදාත්මක දේව පූජාවක්

ජ්‍යොතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment