නව සන්ධානයේ 2 වැනි රැලිය 29 දා වැල්ලවායේදී

1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශ්වය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැලි මාලාවේ දෙවන ජන රැලිය මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී මේ මස 29 දා පස්වරු 2.00ට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන මෙම ජන රැලිය පවත්වනු ලැබේ.

වැල්ලවාය ජන රැලිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කරනු ලබයි.

නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරුන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව දැවැන්ත සන්ධානයක් ගොඩනැඟීමට නව සන්ධානය ප්‍රමුඛ අනෙකුත් පාර්ශ්වයන් කටයුතු කරමින් සිටියි. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසක් නව සන්ධානය වටා ඒකරාශි වීමට සූදානමින් සිටින බව නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

මෙම රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, පියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහාය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment