නව සන්ධානය රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යනවා- නව සන්ධානයේ නිර්මාතෘ නිමල් ලාන්සා

644

71, 88, 89 විශ්ව විද්‍යාල වධකාගාර වෙලා තිබුණා – සුසිල් ප්‍රේමජයන්ත්
නව සන්ධානය රට ගොඩනැගීමේ වගකීම භාරගන්න සූදානම් – නලින් ප්‍රනාන්දු
අපි විසිරිලා ඉන්න පිරිසෙන් නව බලවේගයක් නිර්මාණය කරනවා – අනුර ප්‍රියදර්ශන යාපා

නව සන්ධානය රට ගොඩනැගීමට වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන බව නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

නව සන්ධානයේ කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවති දෙවන ජන රැළියට සහභාගී වෙමින් 24දා නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාන්සා මහතා මෙසේද පැවසීය.

නව සන්ධානය පොරොන්දු දෙන තැනක් නෙමේ. වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන ගමනක්. අවුරුදු 70 ක් මේ රට විනාශ වූණේ පොරොන්දු දීලා බලයට පත් වූ නිසයි. පොරොන්දු දීලා බලය ගත්තම පොරොන්දු ඉටු කරන්න සල්ලි ණයට ගන්න සිදුවුණා. නැතිනම් සල්ලි අච්චු ගහන්න සිද්ධ වුණා. පොරොන්දු ඉටු කරන්න සල්ලි නැහැ. ණය ගැනීම හා මුදල් අච්චු ගැසීම තුළ රට විනාශ වුණා. ඒනිසා මේ නව සන්ධානයේ ප්‍රධාන අරමුණ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන එක. සත්‍ය කතා කරන එක. ජනතාවට යථාර්ථය අවබෝධ කර දීමයි. එහෙම නැතිව බොරු කියන එක නෙමේ. වේදිකාවක් වේදිකාවක් ගානේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හොරු ඇල්ලු‍වම ආර්ථිකය නැගිටනවා කියලා. හොරු අල්ලන්න 2015 ත්‍ක්‍ෂෘ එක දාලා තිබුනා. අල්ලපු හොරෙක් නැහැ. නැවතත් ඒකමයි කියන්නේ. අනුර කුමාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නැහැ.

අනිත් පැත්තෙන් සජබ නායකතුමා පොරොන්දු දීගෙන දීගෙන යනවා. පොරොන්දු දෙන්න සල්ලි තියෙනවද? සල්ලි නැහැ. මේ රටේ ආර්ථිකය හදන්න ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා හැර වෙනත් ක්‍රමයකින් සල්ලි හොයන්න බැහැ. සල්ලි ගස්වලින් කඩන්නත් බැහැ. මැජික්වලින් හොයන්නත් බැහැ. ආර්ථික වැඩපිළිවෙළක් අනිවාර්යයෙන් හදන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණේ වේදිකාවල කලාකරුවෙක් ගෙනල්ලා සින්දුවක් කීවම, නිළියක් ගෙනල්ලා සාහිත්‍ය කතාවක් කීවම ලොකු වැඩක් කියලා හිතනවා. ළඟදී වේදිකාවේ කියනවා කාන්තාවෝ සීයයි. පියයුරු දෙසීයයි කියලා. මේ මොනවද කියන්නේ. කුණුහරුප කියන්නේ.

සජබ කට්ටිය මොනවද කියන්නේ අපි ආවම දෙනවලු‍. තියෙනව නම් අපිත් දෙනවනේ. දෙන්න ඕන අයට දෙන්න ඕනේ. නුසුදුසු අයට දීලා හරියන්නේ නැහැ. සුදුසු අයට දෙන්න ඕනේ. එහෙම වුනොත් රටේ ආර්ථිකය හදන්න පුලු‍වන්. වැටුණු වලට රට නැවත

ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. මිනිස්සුන්ට ඇත්ත කියලා, යථාර්ථය කියලා අපේ පැත්තට ජනතාව දිනාගන්න ඕනේ. එහෙම නැතිව රට ගොඩගන්න බැහැ. ඉස්සරහට රට ගෙනියන්නේ කොහොමද කියන එක තමා අපේ සන්ධානයේ ප්‍රධාන අභියෝගය. මාර්තු මාසයේදී මේ රටේ දැවැන්තම සන්ධානය ගොඩනැගෙනවා. වාමාංශික, ප්‍රගතිශීලී සියලු‍ම ජනතාව මේ සන්ධානය වටා ඒකරාශී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රීලනිප, පොදුජන පෙරමුණ හා සජබ පාක්ෂිකයින්ට කියනවා අපි වටා ඒකරාශී වෙන්න කියලා. බොරු දේශපාලන පොරොන්දු නෙමේ වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරනවා.

මිනිස්සු අන්දරේගේ කතා අහන්න ආසයි. අන්දරේ රජ කරන්න ගියේ නැහැ. අන්දරේ රජ කරන්නේ නැහැ. කයියනායකත් අන්දරේ වගේ තමයි. ඉන්දියාවට හිස නමා ආචාර කරන්න ඕනේ බුරන බල්ලෝ හීලෑ කරලා එව්වට. අවුරුදු 40 ක් දේශපාලන නායකයෝ හොඳ තීන්දු ගන්න ගියාම ඒ සියලු‍ දේවල් කඩාකප්පල් කළේ කවුද? ජනතා විමුක්ති පෙරමූණ. ඒ ජනතා විමුක්ති පෙරමුණ දැන් අවුරුදු 40 කට පස්සේ ඇවිල්ලා කියනවා ඉන්දියාව වෙනස් වෙලා තියනවලු‍ අපිත් වෙනස් වෙන්න ඕනේ කියලා. මේ අයට අවුරුදු 40- 50 ක් ගියා එදා නායකයෝ කියපු දේවල් පිළිගන්න. මේ අයට තව අවුරුදු 50 ක් යනවා දැන් අපේ නායකයෝ කියන දේ පිළිගන්න.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා

වෘත්තිකයින්, උගතුන්, බුද්ධිමතුන්, ගරුතර මහා සංඝරත්නය වගේ මහා පිරිසක් අපි සමග ඉන්නවා. මම 1991දී කෝට්ටෙ නගර සභාවෙන් දේශපාලනයට ආවේ. 2000 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. දේශපාලනයෙන් නිල නිවාසයක් අරගෙන නැහැ. අද මේ වේදිකාව තරුණ අදහස් වලට, ඔවුන්ගේ අදහස් කියන්න ඉඩ දීලා තියෙනවා. දේශපාලන බලවේග හදන්න අවුරුදු ගණන් ගත කරන්න ඕනෙ නැහැ.

අපිට ඉතිහාසය හොඳට මතකයි. 1971 තරුණ තරුණියෝ 12,000 ක් මැරුවා. කැළණිය, ජයවර්ධනපුර විශ්ව විද්‍යාල එදා වධකාගාර වෙලා තිබුණා. තවත් පැත්තකින් 88, 89 දී මහාධිකරණය තුම්මුල්ලට ගෙනාවා. එක තුණ්ඩු කෑල්ලෙන් රාජ්‍ය ආයතන වහල දැම්මා.

වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා

සමගි ජනබල වේගය වගේම ජනතා විමුක්ති පෙරමුණ වගකීම් භාරගත්තෙ නැහැ. නමුත් නව සන්ධානය රට ගොඩනැගීමේ වගකීම භාරගන්න සූදානම්. රටේ ආර්ථිකය හදන වැඩපිළිවෙළ අපේ නව සන්ධානය සතුව තිබෙනවා. විපක්ෂ නායකතුමාට මුකුත් කරන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණ සතුව කිසිම වැඩපිළිවෙළක් නැහැ.

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික වැඩපිළිවෙළ තමයි අනෙක් පක්ෂවල අය බලයට ආවම හිරේ දාන එක. ඉතුරු අයව ගහලා මරණ එක. දැක්මක් නැති ජනතා විමුක්ති පෙරමුණට රටක් හදන්න බැහැ.

නව සන්ධානයේ මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා

අපි අලු‍ත් සන්ධානයක් හදන කොට විපක්ෂයේ අය විතරක් නෙවෙයි අපේ අයත් හිනා වුණා. නමුත් රටේ කිසිඳු දේශපාලන පක්ෂයකට කළ නොහැකි දෙයක් අපි සිදු කළා. පක්ෂයක්, ලාංජනයක් නැති අපේ අලු‍ත් සන්ධානය රට හමුවේ තැබුවා. අපි දශක ගණනාවක් තිස්සේ වමේ දේශපාලන ධාරාව තුළ බොහෝ දේ කරපු අය. අපට පුලු‍වන් අපේ දේශපාලන ධාරව එකම තැනකට එකතු කරන්න. අපි කරන්නෙ විසිරිලා ඉන්න රටට ආදරය කරන දැක්මක් ඇති පිරිසක් එකම තැනකට එකතු කරන එක. ඒ

මගින් එක් අරමුණක් කරා යා හැකි නව බලවේගයක් නිර්මාණය කළ හැකියි. ජනතා විමුක්ති පෙරමුණ හිතාගෙන ඉන්නෙ ඒගොල්ලොන්ට විතරයි රැළි පවත්වන්න පුලු‍වන් කියලා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා

ලාංකීය දේශපාලනයේ තීරණාත්මක බලවේගය අපියි. හොරු නැති, තක්කඩි නැති තීරණාත්මක බලවේගය අපියි. එම නිසා අපි සමග අත්වැල් බැඳගන්නා ලෙස සියලු‍ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

සුගීෂ්වර බණ්ඩාර මහතා

ලෝක ඉතිහාසයේ බොහෝ රටවල් අර්බුදවලට මුහුණ දුන්නා. නමුත් අර්බුද තුළින් නැගී සිටින්නත් එම අයට පුලු‍වන් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රස්තවාදයක් මෑතකදී තිබුණා. අරගලකරුවන් පාර්ලිමේන්තුව වට කරලා ප්‍රහාර එල්ල කරන්න සූදානම් වුණා. කෙසේ හෝ එය මැඩ පැවැත්වූවා. රට ගැන අලු‍තින් හිතන දේශපාලන සංස්කෘතියක් අප නිර්මාණය කළ යුතුයි. කෑමොර දීලා සුරංගනා කථා කියල විවේචනය කරල රටක ප්‍රශ්න විසදන්න බෑ.

අද ජනතා විමුක්ති පෙරමුණ එක සග සමුළුවක් තියෙනවා. ඒ අයට සදාචාර අයිතියක් නෑ එහෙම කරන්න. හාමුදුරුවෝ 24 නමක් ඝාතනය කළා. තවම එක වචනයක් ඒ ගැන කතා කළේ නෑ. සමාව ගත්තෙ නෑ. අපි අනුර කුමාරගෙන් අහනවා රටට කියන්න ඒවා කළාද ? නැද්ද ? කියලා අපි හැමෝගෙම ජීවිත තුළ දුක්බර කතාවක් තියෙනවා. මගේ තාත්තා නීතිඥවරයෙක්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය කළා. ඔහු මහෙස්ත්‍රාත් වරයෙක්. මගේ තාත්තාව මැරුවා. මට වයස අවුරුදු 4 යි. අවුරුදු 42 දී මගේ අම්මා කනවැන්දුම් කළා. මම තාත්තාගෙ මිණිය එක්ක සෙල්ලම් කළා. අපේ වගේ දහස් ගාණක් ජීවිතවලට ඒ අය කරපු අපරාදෙ තමයි ඒ. අද ඒ අය කාන්තා විමුක්තිය ගැන කතා කරනවා. මහා සංඝයාට දැන් ප්‍රෝඩාවක් කරනවා. එය නැවැත්විය යුතුයි. අපි අද පක්ෂයක් නැති, පාටක් නැති සන්ධානයක් තුළින් රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනවා. ඉදිරියේදී රටේ අධ්‍යාපන, ධීවර, සංස්කෘතික ප්‍රතිසංස්කරණ හැදෙන්නෙ මේ සන්ධානය තුළින්.

ඡායාරූප – නිෂාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment