නව හැවිරිදි පාසල් සිසුවිය අපයෝජනය කළ නරුමයාට වසර දොළහක සිරදඬුවම්… ඇයට ළමා කාලය අහිමි කිරීම බරපතළ අපරාධයක්!

322

බුදුන් වැඳීම සඳහා මල් කැඞීමට ගිය එවකට අවුරුදු 09 ක් වයසැති පාසල් සිසුවියකට රුපියල් 100 ක් බැගින් ලබා දී එම සිසුවිය අවස්ථා කීපයකදීම බරපතළ ලෙස අපයෝජනයට ලක් කිරීම සම්බන්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා තුනකට වරදකරු වූ විත්තිකරුට එක් චෝදනාවකට වසර 12 බැගින් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම් ගම්පහ අංක (1) මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 28 වෙනිදා නියම කළේය.

එලෙස නියම කරන ලද වසර 36ක් වූ බරපතළ වැඩ සහිත සිර දඬුවම මාස 12 කින් එකවර ගෙවී යන ලෙසට නියම විය.

එම සිර දඬුවමට අමතරව චෝදනා තුනෙන් එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000 ක දඩයක් ද එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 2 බැගින් චෝදනා තුනට රුපියල් ලක්ෂ 6ක මුදලක් වින්දිත දැරියට වන්දි වශයෙන් ගෙවන ලෙසට විත්තිකරුට නියම විය. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 18 ක සිර දඬුවමක් ද වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර තුනක සිර දඬුවමක් ද විත්තිකරුට නියම කෙරිණි.

2013 වර්ෂයේ ඔක්තෝබර් මස පළවෙනිදා සිට එම වර්ෂයේම ඔක්තෝම්බර් මස 24 වෙනිදා අතර කාලය තුළදී විත්තිකරුගේ ඉඩමට මල් කැඞීමට පැමිණි වින්දිත දැරියව රවටා නිවස තුළට කැඳවාගෙන අතවර කිරීම සම්බන්ධයෙන් 55 හැවිරිදි සෙල්ටන් විපුලසේන නැමැති විවාහකයකුට මෙසේ සිර දඬුවම් දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම විය.

ළමා නිවාසයක කල්ගත කරන වින්දිත දැරිය එකී ළමා නිවාසයේ පාලිකාව විසින් මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

විත්තිකරු විසින් 2013 වර්ෂයේදී වින්දිත දැරියට සිදුකළ අපරාධය හේතු කරගෙන ළමා වියේ පසුවූ එම දැරියට 2013 වර්ෂයේ සිට මේ දක්වා දෙමාපිය සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතීන් සහ අසල්වැසියන් සමග ගත කිරීමට තිබූ ළමා කාලය ළමා නිවාසයක ගත කිරීමට සිදුවීම ඉතා අවාසනාවන්ත සිද්ධියක් බව මහාධිකරණයේදී සඳහන් විය. වින්දිත දැරියගේ අසල්වැසියකු වූ විත්තිකරු දයාව, කරුණාව පවා දැරියව ආරක්ෂා කර ගත යුතුව තිබුණි. එහෙත් විත්තිකරු සිදුකර ඇත්තේ එම දැරියගේ සහ පවුලේ උදවියගේ අහිංසකත්වය උපයෝගී කරගනිමින් රුපියල් 100 ක් වැනි මුදලක් ලබා දී සමාජය ගැන හෝ ලිංගිකත්වය සම්බන්ධ කිසිදු දැනුමක් නැති දැරියකට බරපතළ අපරාධයක් සිදුකිරීමය. එය බරපතළ වරදක් බවට තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට පෙර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විවෘත අධිකරණය හමුවේ පැවසීය.

සියලූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුට ඉහත දඬුවම් නියම කළේය. කඩවත පොලිස් ස්ථානයේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් ජගත් (61881) මහතා පැමිණිල්ල මෙහෙය වීමට සහය දැක්විය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment