නළුවෝ හතක් හොඳම නළුවා කරපු හැනෝයි සිනමා උළෙල

527

පසුගිය 12 වෙනිදා වියට්නාමයේ හැනෝයි නගරයේදී නිමාව දුටු 06 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අංශයේ ‘හොඳම නළුවා’ට හිමි සම්මානයෙන් (A ward for The Best Leading Actor in Feature Length Films) පිදුම් ලැබීමට අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “මාරියා” (The Ocean Angel) චිත්‍රපටය සමත් විය. මෙහිදී එකී සම්මානය එම චිත්‍රපටයේ රංගනයේ යෙදුනු නළුවන් සත්දෙනා වෙතම පිරිනැමීමට උළෙලේ ජූරිය තීරණය කොට තිබීම කැපී පෙනුණි. ඒ අනුව හේමාල් රණසිංහ, දසුන් පතිරණ, මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, දර්ශන් ධර්මරාජ්, අශාන් ඩයස්, සුරන් දසනායක යන රංගන ශීල්පීන් එකී සම්මානයෙන් පිදුම් ලැබූහ.

නළුවෝ හතක් හොඳම නළුවා කරපු හැනෝයි සිනමා උළෙල

2010 වසරේ ආරම්භය සනිටුහන්ව ඇති හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ මීට පෙර ඔබ නැතුව ඔබ එක්ක (2014 දී), හෝ ගානා පොකුණ (2014 දී), ඇගේ ඇස අග (2016දී) සහ වෛෂ්ණාවී (2018 දී) යන චිත්‍රපට උළෙල නියෝජනයට සමත් විය. එහෙත් එකී සියලු චිත්‍රපට තරගයෙන් බැහැර වූ “ලෝක සිනමා අංශය” යටතේ උළෙල නියෝජනය කොට ඇත. ඒ අනුව හැනෝයි උළෙල ඉතිහාසයේ, උළෙලේ ප්‍රධාන තරගකාරී අංශය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය “මාරියා” වේ. මෙහිදී එකී පළමු ශ්‍රී ලාංකේය තරගකාරී නියෝජනයෙන්ම ශ්‍රී ලංකාව සම්මානයට පාත්‍රවීම විශේෂත්වයකි.

නළුවෝ හතක් හොඳම නළුවා කරපු හැනෝයි සිනමා උළෙල

“මාරියා” චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙලකදී සම්මානයට පාත්‍ර වූ දෙවෙනි අවස්ථාව මෙය වේ. මීට පෙර රුසියාවේ පැවැති පළමු යල්ටා අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දෝත දැරීමට “මාරියා” සමත් විය. ගැඹුරු මුහුදේ මසුන් මරණ ධීවරයන් සය දෙනෙකු, නීතී විරෝධීව ඔස්‌ට්‍රේලියාවට පැන යෑමට උත්සාහ කරන තරුණයෙක් සහ සාගරය මැදදී ධීවර පිරිසට හමුවන අද්භූත කාන්තා රුවක් වටා ගෙතී ඇති “මාරියා” ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.

අන්තර්ජාතික සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’, ‘හොඳම නිළිය’ හෝ ‘හොඳම රංගනය’ උදෙසා පිරිනමන තනි සම්මානයක්, සම සම්මානයක් ලෙසින් දෝත දැරීමට ශ්‍රී ලාංකීය රංගන ශිල්පීන් හෝ ශිල්පිනියන් දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් සමත්වූ 05 වෙනි අවස්ථාව, මාරියා හරහා හැනෝහිදී සටහන් විය. මීට පෙර එකී අවස්ථාව සරෝජා, හෝ ගානා පොකුණ, සය පෙති කුසුම, ද නිවුස් පේපර් යන චිත්‍රපටවල රඟපෑ නළු නිළියන්ට හිමිවිය.

සටහන – උදිත ලක්මාල් කහඳවආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment