නළුවෝ 26 කට බස් එකේ මැජික් පෙන්වන ස්ටෙෆාන්ගේ කතාන්දරේ…

146

මම බාහිර කථිකාචාර්යවරයෙක්

අනුරාධපුරේ යන බස් එකකට නැඟපු මැජික් ශිල්පියෙක් නළුවෝ 26 දෙනකුට මැජික් පෙන්වනවා. ඇත්තටම මේ මැජික් ශිල්පියාගේ වැඩ ඔයාලගේ ගමේ” නගරයේ තිබෙන සිනමාහල්වලට ගොඩවූ විට දැකගන්න පුළුවන් වෙනවා. හෝ ගානා පොකුණ ඔබ වෙත තිළිණ කළ මහාචාර්ය ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ දෙවැනි අධ්‍යක්‍ෂණය වගේම දීපා එදිරිසිංහගේ නිෂ්පාදන ආගමනයෙන් තිරයට එන “වෙඩි නොවදින ළමයි” හි මැජික් ශිල්පියාගේ කතාන්දරය තමයි මෙතැනින් පස්සේ කියැවෙන්නේ.

“ඇත්තටම මාව මේ දවස්වල දැකගන්න ලැබෙන්නේ මැජික්කාරයා සහ ජාතික පක්‍ෂියා සමගයි. මගේ නම ස්ටෙෆාන් තිරිමාන්න.

2002 වර්ෂයේ ඉඳල මේ වෙනකම් මගේ ප්‍රධාන ක්‍ෂේත්‍රය වේදිකාව. උසස් පෙළින් පස්සෙ මේ වෙනකම් මම කරපු වේදිකා නාට්‍යවලින් ලැබුණු විවිධ අත්දැකීම් අනුව තමයි මැජික් ශිල්පියාව මුණගැසෙන්නේ.

ඇත්තටම මට ළමා නාට්‍ය, යොවුන් නාට්‍ය, දිගු නාට්‍ය, සංස්කෘත නාට්‍ය, කායික රංගය මූලික කරගත් නාට්‍ය වැනි විවිධ ශානරයන්වල නාට්‍යවල රංගන ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්‍ෂවරයෙක් විදිහටත් වැඩ කරන්න හම්බවෙලා තිබෙනවා. ඒ හින්දම විවිධ ශානරවල ඉන්න අධ්‍යක්‍ෂවරු සමගත් මට වැඩ කරන්න හම්බවෙලා තිබෙනවා. ඒක තමයි මට නළුවෙක් විදිහට ස්ථානගත වෙන්න වැදගත් වුණේ. මට ඇත්තටම වේදිකාවේ අවුරුදු විස්සක විතර අත්දැකීම් තිබෙනවා.

මීට පෙර මම එක ටෙලිනාට්‍යයක වැඩකරලා තිබෙනවා. එතැනින් පස්සෙ මම ටෙලිනාට්‍ය කියන මාතෘකාව පස්සේ හඹාගෙන යන්නේ නැහැ. ඒක මගේ ප්‍රධාන ධාරාව වෙන්නේ නැහැ.

මම මුලින්ම සිනමාවට සම්බන්ධ වෙන්නේ මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් චිත්‍රපටයේ බොහොම පුංචි ජවනිකාවක් සඳහා. ඊට පස්සෙ අවධානයකට ලක්වෙන චරිතයකින් සිනමාවට පිවිසෙන්නේ ‘වෙඩි නොවදින ළමයි’ චිත්‍රපටයේ මැජික් ශිල්පියාගේ චරිතයෙන්.

අධ්‍යක්‍ෂවරයා වන ඉන්දික ෆර්ඩිනැන්ඩු මගේ විශ්වවිද්‍යාලයේ එක අතකින් ආචාර්යවරයෙක්. නමුත් ඔහු ඊට පෙර ඉඳලම මාව අධ්‍යක්‍ෂණය කියන කාර්යයත් එක්ක මුහු කරගන්නවා. ඔහු මට මුලින්ම මුණගැහෙන්නේ 2008 වසරේ වේදිකාගත වුණ ‘සබන් පෙණ’ කියන කෙටි නාට්‍යය හරහායි. ඒකට මට හොඳම සහාය නළුවාට හිමි සම්මානය පවා හිමිවෙනවා. ඊට පස්සෙ ඔහුගේ ‘ක්ලම්බු කලම්බු. ටෙලි නාට්‍යයට 2010 වසරේදී සම්බන්ධ වෙනවා.

නළුවෝ 26 කට බස් එකේ මැජික් පෙන්වන ස්ටෙෆාන්ගේ කතාන්දරේ…

මට මේ චිත්‍රපටයට ආරාධනාව ලැබෙනකොට මම වෘත්තියෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙක්. මම ඒ වෙනකොට පාසල් දෙකක උගන්වලා තිබෙනවා. නමුත් මට මේ ආරාධනාව ලැබෙනකොට මම තීරණය කළා මම කැමැති දේ කරන්න ඕනෑ කියලා. ඇත්තටම මම සිනමාවේ රැඳුණු චරිතයක් නෙමෙයි. හරියට බැලුවොත් මේක මගේ පළමුවැනි චිත්‍රපටය.

වේදිකා නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඇක්ටර් කෙනෙක් විදිහට මම තෝරාබේරාගෙන තමයි වැඩ කරන්නේ. හැබැයි බෙදීමක් නෑ. 2002 වසරේ රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ බන්දුල සරත් මඩුතන්ත්‍රි කියන නාට්‍ය අධ්‍යක්‍ෂවරයා යටතේ තමයි මුලින්ම රංගකලාවට අවතීර්ණ වෙන්නේ. එතැනදී 2002 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ කුසලතා සහතිකයක් හිමිවෙනවා රංගනය වෙනුවෙන්. ඊට පස්සෙ 2005” 2010 මේ ආදී වශයෙන් ළමා නාට්‍යයන් සඳහාත් 2008 වසරේ මුලින්ම යොවුන් නාට්‍ය උළෙලේදීත් 2015” 2018 දී සංගීත නිර්මාණය වෙනුවෙනුත් සම්මානයට පාත්‍රවෙලා තියෙනවා. මම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදිහටත් නළුවෙක් විදිහටත් ප්‍රධාන වශයෙන් වැඩ කරනකොට අවුරුදු විස්සක් සෑහෙන කට්ටක් කාලා තියෙනවා.

මගේ ගම සීදුව. පාසල් ගියේ රද්දොළුගම ශ්‍රී පඤ්ඤාර්ථ විද්‍යාලයට සහ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට. මගේ මිත්‍රයො දෙන්නෙක් ඉන්නවා එහෙ. ඔවුන් සමඟ මම නිතර කොළඹ එනවා නාට්‍ය බලන්න. කවදාහරි දවසක නාට්‍යයක් කරමු කියන තැන ඉන්නවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට 2008 වසරේ පළමු නාට්‍යය මුදාහරිනවා. මේ විෂයය ගැන ඉගෙනගන්න තිබෙන දැඩි වුවමනාව හින්දාමයි අපිව එතැනට ගේන්නේ. ඒ වුවමනාව විසින්ම කට්ට කියන එක ඩිලීට් කරල දාලා තියෙන්නේ. ආර්ථික අතින් කිසිම විදිහකින් ස්වරයි වෙන්න පුළුවන් කලාවක් නෙමෙයි වේදිකා නාට්‍ය කියන්නේ. මා තෝරාගත්තු ශානරය වේදිකාවේදී හරිම අමාරුයි” ඒක වෘත්තියක් විදිහට කරන්න.

මම” වෘත්තිය සහ නළුකම පටලවා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මම කැමැතිම දේ” මම කැමැති විදිහට කරන්නවා. 2013 වසරේ කැම්පස් එකෙන් අයින් වුණාට පස්සෙ 2015 වසර වෙනකම් බලපිටිය රේවත මහා විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව පිළිබඳ ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඊට පස්සෙ 2015 සිට 2018 වසර දක්වා කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ එම විෂයයේම ගුරුවරයෙක් විදිහට වැඩ කරනවා. ඔය අතරේ තමයි මට වෙඩි නොවදින ළමයි චිත්‍රපටයට ආරාධනා ලැබෙන්නේ. මම දැනටත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ වගේම මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ බියගම තාක්‍ෂණ විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩකරනවා.

වෙඩි නොවදින ළමයි චිත්‍රපටයෙන් පසුව මම උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයාගේ ‘තංගමලේ ඩයරි. චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මම රඟපාල තියෙන ප්‍රමාණය සම්බන්ධයෙන් ගොඩ වැඩිකරගන්න වුවමනාවක් නෑ. මට අවශ්‍ය වෙන්නේ මාව ගොඩනැඟෙන” මාව ඊළඟ තැනකට අරගෙන යන නළුවෙක් වෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්න. ටෙලි නාට්‍යවලටත් මට ආරාධනා ලැබෙනවා. මම හිතන්නේ” මම ඒවා ගොඩක් තෝරාබේරාගන්න උත්සාහ කරනවා. වෙන මොකටවත් ලොකුකමටවත් නෙමෙයි” මම නළුවෙක් විදිහට මගේ ගමනට අවශ්‍ය සහ මම සතුටු දේවල් තමයි පුළුවන් තරම් කරන්නේ. මම ඒක වෘත්තියක් විදිහට පටලවා ගන්නේ නැහැ. වෘත්තියක් වුණොත් මුදල් වෙනුවෙන් මට ඒ සියල්ලම කරන්න වෙනවා.

නළුවෝ 26 කට බස් එකේ මැජික් පෙන්වන ස්ටෙෆාන්ගේ කතාන්දරේ…

වෙඩි නොවදින ළමයි චිත්‍රපටයේ මට තිබෙනවා පොඩි චැලෙන්ජින් දේවල් ටිකක්. මම හරි චැලෙන්ජින්වලට කැමැතියි. මැජික් ශිල්පියෙක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක්ම තමයි. එයාව නිරූපණය කරද්දී සාමාන්‍ය මනුස්සයකුගේ නිරූපණයෙන් විතරක් ගෙනැල්ල වැඩක් නෑ. පිටපත අනුව මෙයා හරිම අමුතු විදිහට සම්බන්ධ වෙන කෙනෙක්. අධ්‍යක්‍ෂවරයා කිව්වේ වේදිකාවේ භාවිතාව ඔයා බය නැතිව මෙතැනට ගෙනඑන්න කියලා. මැජික්කාරයා අතේ තියෙනවා කුකුළෙක්. මමත් රඟපාන ගමන් ඔහුත් රඟපානවා. මම ඔහුටත් හඬකවනවා වගේම මටත් හඬකවනවා. එතකොට මම මා විදිහටත් මගේ අතේ ඉන්න මම හසුරුවන මගේ ජාතික පක්‍ෂියා වෙනත් චරිතයක් විදිහටත් හඬකවනවා.

ඒ කියන්නේ එක්කෙනෙක් චරිත දෙකක් කරනවා. ඒ චරිත දෙක ස්වභාවික චරිතවලින් පොඩ්ඩක් ඈතට තියෙන්නේ. නමුත් මේ මැජික් ශිල්පියා ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක්. ඔහු කරන මැජික් අනුව කොතැනද ප්ලේස් වෙන්නේ කියලා සමහර වෙලාවට හිතන්න වෙනවා. අනුරපුරයට යන ගමන සහ චිත්‍රපටයේ කතාව වෙනස් කරන්න මේ චරිතය හේතුවක් වෙනවා. ඒ නිසා මේ චරිතය අයින් කරලා අපිට චිත්‍රපටය බලන්න බෑ. මැජික් ශිල්පියා සහ කුකුළා ප්‍රේක්‍ෂකයාට අලුත් අද්දැකීමක් ලබාදෙනවා. එවැනි චරිතයකට මට ආරාධනා කිරීම ගැන ඉන්දික ෆර්ඩිනැන්ඩු මහත්මයාට මම ස්තූතිවන්ත වෙනවා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment