නාකොටික් සැකකරුවන් උසාවියට ඉදිරිපත් නොකිරීම නිදහසට කරුණු කියන්න…. බන්ධනාගාර අධිකාරීට නොතීසි

136

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් අධිකරණයට භෞතිකව හෝ ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ ඉදිරිපත් නොකිරීම හා ඔවුන් සම්බන්ධයෙන් වාර්තාවක් හෝ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ලබන 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා බන්ධනාගාර අධිකාරිවරයා වෙත නොතිසි යැවීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළේය.

බන්ධනාගාර අධිකාරිවරයාට අධිකරණය විසින් එම සැකකරුවන් තාවකාලිකව භාරදී ඇතත් ඔවුන් අධිකරණය භාරයේ සිටින පුද්ගලයන් බවත් එවැනි සැකකරුවන් සම්බන්ධයෙන් සිය අභිමතය පරිදි කටයුතු කිරීමේ බලය බන්ධනාගාර අධිකාරිවරයාට නොමැති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

එම ජාවාරම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් අතරින් 7 දෙනකු කොළඹ මහාධිකරණය විසින් ඇපමත මුදාහැර තිබිණි.

එලෙස ඇපමත මුදාහැර තිබූ සැකකරුවන් අතරින් තිදෙනෙක් පසුගිය (12 දා* අධිකරණය හමුවේ පෙනී සිටියහ. එම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන පල්ලේවත්ත ගමගේ චමින්ද දිල්රුක් හෙවත් පරවි සුදා නමැත්තා සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පියවර ගන්නා බවට උපදෙස් ලැබී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උ.පො.ප. එස්. රණසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් නඩුව ලබන 26 වැනිදා යළි කැඳවීමට දින නියම කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරයා ඇප ලබාදී ඇති සැකකරුවන් සම්බන්ධයෙන් නඩුව මාර්තු 15 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

නීතිඥ ප‍්‍රදීපා කළුආරච්චි මහත්මිය ඇතුළු නීතිඥවරු පිරිසක් සැකකාර පාර්ශ්වය නියෝජනය කළහ.

. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment