නාකොලගනේ අක්කර 4500 ක් දේශපාලකයන්, ප්‍රභූන් සහ ව්‍යාපාරික පිරිසක් හිතූ හිතූ හැටියට බෙදාගෙන

335

ඉඩම් කොල්ලයට චීවරධාරීන් පිරිසකුත් හවුල් වෙලා

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ඉඩම් අක්කර 4500 කට ආසන්න ප්‍රමාණයක් විහාරයකට අයත් නින්දගම් ඉඩම් යැයි පවසා දේශපාලකයන්ට, ප්‍රභූ පිරිස්වලට හා ව්‍යාපාරිකයන්ට බෙදා දී ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.

පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන්නේ රජයේ නිලධාරීන් හා දේශපාලකයන් යොදාගෙන ව්‍යාජ සන්නස් පත්‍රයක් ලියාගෙන මෙසේ රජයේ ඉඩම් අවභාවිතයට ලක්කර ඇති බව තමන් මේ වන විට අනාවරණය කරගෙන ඇති බවයි.

මේ පිළිබඳව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස් හා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට ද පැමිණිලි කර ඇති නමුත් ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බැවින් මේ පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට කටයුතු කරන බව ද චාමිකර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ නාකොලගනේ ඉඩම් ජාවාරම මැයෙන් ඊයේ (10 දා) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ඉඩම් වනසා දැමීමේ ජාතික අපරාධය පිටුපස කුරුණෑගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන හිටපු කැබිනට් ඇමැතිවරු දෙදෙනෙකු ද සිටින බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

“මෙම ඉඩම් නින්දගමක් කීම තනිකරම මුසාවක්. ඇහැටුවැව හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය සම්බන්ධ කරගෙන තමයි මේ චීවරධාරීන් ව්‍යාජ සන්නස සකස් කර තියෙන්නේ. මේ ඉඩම් සම්පූර්ණයෙන් ම අයත් වන්නේ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා 1948 දී ඩී. එස්. සේනානායක මහතා ඇතිකළ මීඔය වාරි යෝජනා ක්‍රමයට. මේක චීවරධාරීන් විසින් සිදුකරන මහා ජාවාරමක්. මේ ඉඩම්වල කැලෑ එළිකිරීම මගින් අලි ඇතුන්ගේ වාසභූමි අහිමි වෙනවා යැයි ද කීවේය.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment