නාගර්ජුන හිමි හා අයින්ස්ටයින්

917

මගේ ජීවිතයට සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලයේ සිට බලපෑ දෙදෙනකු හිටියා. ඒ ඇල්බට් අයින්ස්ටයින් හා කාල් මාක්ස්. දෙදෙනා ම විද්‍යාඥයන් ලෙස තමයි පෙනුනෙ. මට විද්‍යාඥයකු වීමට ඒ කාලෙ අදහසක් ඇති වුණෙ නම් අයින්ස්ටයින් නිසා. එහෙත් ඉන් අවුරුදු දහයකට විතර පස්සෙ මට තේරුණා විද්‍යාඥයකු වීමට බැරි බව. අවුරුදු විස්සකට විතර පස්සෙ තේරුණා මාක්ස් විද්‍යාඥයකු නොව සුරංගනා කතා කරුවකු පමණක් බව. මාක්ස් මගේ ජීවිතයෙන් ඈත් කෙරුවා. නාගර්ජුනපාදයන් මගේ ජීවිතයට බලපෑවා.

ඒත් ඒ සියල්ලන්ට ම වඩා වැදගත් බුදුදහම. අයින්ස්ටයින්ටත් අර්නස්ට් මක් (ජර්මන් නමක් උච්චාරණය හරි ද දන්නෙ නැහැ) මගින් බුදුදහම බලපෑවා. ඔහුගෙ සාධාරණ සාපේක්ෂතාවාදයට මුල් වුණෙ මක් නිවුටෝනිය අවස්ථිති සමුද්දේශ රාමු ප්‍රතික්ෂේප කිරීමක්. ඒ වියුක්ත සංකල්පය පිළිගත්තෙ නැහැ. ඒ වියුක්තය බුදුදහමත් සමග කොහොමටවත් ගැළපෙන්නෙ නැති නිසා. වමක් නැති නිසා වල්මත් වී ඇති ඇතැම් මහාචාර්ය වමාලා බුදුදහම වියුක්තය කියන්නෙ, වියුක්ත කියන්නෙ මොකක් ද කියලවත් දැනගෙන නොවෙයි. ඔවුන් හිතන්නෙ වියුක්තය කියන්නෙ වියෝ ගී වගේ දෙයක් කියල. වියුක්ත කතා ගොතන්නෙ වෙන් වෙලා නො වෙයි.

නාගර්ජුන හාමුදුරුවන්ටවත් අයින්ස්ටයින්ටවත් අලගු තියන්නවත් මට බැහැ. මා දන්නවා පඬි නැට්ටන්ට අලගු තියන්න කිසිවකුටවත් බැරි බව. මට අයින්ස්ටයින් ගැනත් නාගර්ජුන හාමුදුරුවන් ගැනත් ලියන්න හිතුනෙ ශුන්‍යතාව හා විශ්වවේදී නියතය නිසා. ශුන්‍යතාව වැරදි සංකල්පයක් බවයි මගේ නිගමනය. මා නාගර්ජුනපාදයන්ට උගන්වන්න යනවා නො වෙයි. ඒක පඬි නැට්ටන්ට භාර කරනවා.

බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටපු බමුණෙක් කිවුවලු ගෞතමගෙ නිවන ශුන්‍ය නම් තමාට ඒ නිවන එපා කියල. ශූන්‍ය කතාව නාම පදයක් හැටියට නොවෙයි යෙදිල තියෙන්නෙ. මට තේරෙන විධියට නාගර්ජුනපාදයන් කළේ ශුන්‍ය කියන එකෙන් ශුන්‍යතාව කියන නාම පදය සකස් කිරීම. එයට එකඟ වෙන්න බැහැ. එහෙත් ඒ නාමපදය නැත්නම් ශුන්‍යයට සංකේතයක් සකස් කරන්නත් බැහැ.

අතීතයෙ විවිධ සංස්කෘතීවල ඉලක්කම් තිබුණ. ඒ සංකේතවල 10, 20 ආදී සංඛ්‍යා නිරූපණය වුණෙ වෙන වෙන සංකේතවලින්. රෝම සංකේත බලන්න 10 සඳහා X ලියනවා. 50 L මගින් 100 C මගින් 1000 M මගින් නිරූපණය කරනවා. භාරතයෙ ආර්යභට්ටත් ඒ වධියෙ සංකේත සකස් කරන් තිබුණ. එහෙත් ශුන්‍යයට සංකේතයක් තිබුණෙ නැහැ. යක්ෂ සිංහලයන් කරල තියෙන්නෙ ශුන්‍යයට සංකේතයක් සකස් කිරීම.

ඒ සඳහා ශුන්‍යතාව කියන සංකල්පය ඉතා වැදගත් වුණා නිසැකයි. ඒ වගේම අගයක් ඇත්තේත් නැත නැත්තේත් නැත කියන චතුස්කෝටික න්‍යායත් ප්‍රයෝජනවත් වුණා. හල්අකුරක ශබ්දයක් ඇත්තේත් නැත නැත්තේත් නැත. මේ ගැන මා කලකට පෙර ලියා තියෙනවා.

අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්ෂතාවාදය විශ්වය සඳහා යෙදූ විට ලැබුණෙ ප්‍රසාරණය වන විශ්වයක්. ඒත් ඒ දිනවල දැන හිටියෙ විශ්වය ප්‍රසාරණය වෙන්නෙ නැහැ කියල. අයින්ස්ටයින් එවිට කෙළෙ අද විශ්වවේදී නියතය (cosmological constant) කියා හඳුන්වන නියතය සාක්කුවෙන් අරන් ක්‍ෂේත්‍ර සමීකරණවලට එකතු කරල ස්ථිතික විශ්වයක් ලබා ගත් එක. විද්‍යාත්මක ක්‍රමය කියන්නෙත් වැඩ කරන කතාවක් කියන එක.

ඒත් ඊට පස්සෙ එඩ්වින් හබල් නිරීක්ෂණය කළා විශ්වය ප්‍රසාරණය වෙනවා කියා. අයින්ස්ටයින් තමා ජීවිතයෙ කළ ලොකුම වරද බව කියමින් විශ්වවේදී නියතය අස්කර ගත්තා. ඒත් දැන් විශ්වවේදීන්ට ඔය අඳුරු ශක්තිය (dark energy) තේරුම් ගැනීමට අර විශ්වවේදී නියතය අවශ්‍ය වෙලා. දැන් ඒ නියතය නැවත යොදා ගන්නවා. ඒත් තවමත් පරස්පර තියෙනවා. මා කලිනුත් කියා ඇති විශ්වවේදයේ අර්බුදය ලංකාවේ අර්බුදයට වඩා දරුණුයි කියල.

බටහිරයන් කැමති නැහැ විශ්වවේදී නියතය විචල්‍යයක් ලෙස සලකා ඒ පරස්පර ටිකක් නැති කරල දාන්න. ඒ සමග දෝලන විශ්වයක් ගැන කතා කරන්න. සංකෝචනය වෙන ප්‍රසාරණය වෙන එහෙමත් නැත්තන් අග්ගඤ්ඤ සූත්‍රයෙ සඳහන් වෙන ඈරෙන වෑරෙන විශ්වයක් ගැන හිතන්න. එතකොට අර ආරම්භය නැති වෙනවා. චක්‍රයක් ඇති වෙනවා. අපට කොහොමත් බිංදුව. නාගර්ජුනපාදයන් වැඩ විසූ එක මොන තරම් දෙයක් ද?

මහාචාර්ය නලීන් ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment