නාගානන්ද නීතිඥකමින් දොට්ට – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

395

නම අඬගැහුවත් නාගානන්ද නොඑයි
අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්ගේ ගෞරවයට හානි කරලා

අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරුවරුන්ගේ ගෞරවයට හානිවන ආකාරයෙන් ප්‍රකාශ සිදුකිරීම හා නීතිඥ වෘත්තියට අවමානයක් සහ අගෞරවයක් වන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනාවලට වරදකරු කරනු ලැබූ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට ජීවිත කාලයටම නීතිඥවරයකු ලෙස කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඊයේ (29දා) තීන්දුවක් නිකුත් කළහ.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම තීන්දුව නිකුත් කළහ.

වගඋත්තරකාර නීතිඥවරයාගේ අහිතකර ක්‍රියාකලාපය නිසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙරද වසර තුනක කාලයකට ඔහුගේ නීතිඥභාවය අහෝසි කර තිබිණි. යහපත් කල්ක්‍රියාවෙන් හැසිරෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය තරයේ අවවාද කොට තිබියදීත් එකී තහනම් කාලය අවසන් වීමෙන් පසුවද වගඋත්තරකාර නීතිඥවරයා හැසිරී ඇත්තේ අධිකරණයට අපහාස වන ආකාරයෙන් වන බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා එම තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන්නේය. තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර විනිසුරු මඬුල්ලේ නියෝගය පරිදි ශබ්ද නගා දෙවරක්ම අධිකරණ ලඝු ලේඛිකාව විසින් වගඋත්තරකාර නීතිඥවරයාගේ නම අඬගැසූ නමුත් ඔහු විනිසුරු මඬුල්ල ඉදිරිපිටට නොපැමිණියේය. ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා වගඋත්තරකාර නීතිඥවරයාගේ ක්‍රියාකලාපය අධිකරණයේ ස්වාධීනත්වයට හා ගෞරවයට බලවත් හානියක් සිදුකර ඇති බැවින් එවැනි තීරණයක් ගැනීමට තම අධිකරණයට සිදුවන්නේ යැයි පෙන්වා දුන්නේය.

වගඋත්තරකාර නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයා වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් විනිසුරුවරුන් තමන් ඉදිරිපත් කරනු ලබන නඩු කටයුතු විභාග කිරීම සඳහා නම් නොකරන ලෙසටත් එකී විනිසුරුවරුන් සම්බන්ධයෙන් තමාගේ කිසිම විශ්වාසයක් නොමැති බවටත් සඳහන් කර තිබිණි. එකී දිවුරුම් ප්‍රකාශය පදනම් කරගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කොට තිබිණි. ඒ සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ද පැවැත් වූ අතර වගඋත්තරකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා එම විභාගයට මුහුණ දී තිබිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සහබන්දු මහතාත්, වගඋත්තරකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාත් පෙනී සිටියහ. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හසිනි ඕපාත මහත්මිය සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිව් ගුණසේකර මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment