නාගැනීම සහ අනාගැනීම

1081

මාධ්‍ය මගින් පෙන්වා දුන්නද තෙල් හිඟයක් නැතැයි බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට පවසා තිබිණි. ඇමැතිවරයා පවසන්නේ තෙල් තොග ඇතත් බෙදාහැරීමේ පමණක් ගැටලුවක් ඇති බවයි. ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කළ ද අද රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිග්ගැසෙන තෙල් පෝලිම්වල අඩුවක් නොමැත. ඇමැතිවරයා කොළඹ වටේ රවුමක් ගැසුවොත් මේ තෙල් පෝලිම් දැක ගත හැකි ය. ඒ නැතත් රූපවාහිනිය අසලට පැමිණ උදේ සවස ප‍්‍රවෘත්ති බැලුවත් ඇමැතිවරයාට ඉතා පහසුවෙන් මෙම තෙල් පෝලිම් දැකගත හැකි වනු ඇත. තෙල් හිඟයක් නැතැයි ඇමැතිවරයා ස්ථිර වශයෙන් පවසන්නේ නම් එවැනි අවස්ථාවක තෙල් පෝලිම් ඇතිවීම අරුම පුදුම තත්ත්වයකි. ඒ ගැන සොයා බැලීම ද ඊට සුදුසු පිළියමක් යෙදීම ද ඇමැතිවරයාගේ වගකීමක් බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ අතර තෙල් ප‍්‍රශ්නයක් මුල්කර ගනිමින් කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර වූ බහින්බස්වීම ගුටි කෙළියක් දක්වා දුරදිග ගිය කතාවක් වාර්තා වෙයි. සිද්ධියට සම්බන්ධ තිදෙනකු අත්අඩංගුවට ගත් බව ද කැස්බෑව පොලිසිය සඳහන් කරයි. තෙල් ගැටුමක් හැටන් ප‍්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ. ඉන්ධන පිරවුම්හලක සේවකයන් බූලිවලට ඩීසල් ලබා ගැනීමට පැමිණි පිරිසක් අතර මෙම ගැටුම ඇති වී තිබේ. මෙම සිද්ධියට අනුව හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේදී කැබ් රථයකින් පැමිණි අයෙකුට බැරල් පහකට ඉන්ධන ලීටර් 1200 ක් ලබාදීමෙන් අනතුරුව පෝලිමේ බූලි සහිතව සිටි අයට ඉන්ධන ලබාදීම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා මෙම ගැටුම ඇති වී තිබේ. අපි දන්නා ඉතිහාසයේ ඉන්ධන පිරවුම්හල් අසල මෙවැනි පෝලිම් දැක නැත. රටේ තෙල් හිඟයක් නැතිනම්, තෙල් පිරවුම්හල් අසල ජනතාව හා ඉන්ධන බෙදාහරින සේවකයන් අතර ගැටුම් ඇතිවේ නම් එය සොයා බැලිය යුතු තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ වෙතත් තෙල් හිඟය හේතුවෙන් පෝලිම්වල රැුඳී සිටින ජනතාව අතර ඇතිවන මෙම නොසන්සුන්තා සංසිඳවීමට යම් වැඩපිළිවෙළක් සැකසීම අදාළ බලධාරීන්ගේ වගකීමකි. ඉන්ධන පිරවුම්හල් අසල රැුඳී සිටින පිරිසකගෙන් බහුතරය මගී ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යන අය බවට සැකයක් නැත. මෙම පිරිසට කලට වේලාවට ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීමෙන් එදිනෙදා ඔවුන්ගේ ආර්ථිකය ද කඩාවැටෙන බව තොත්ත බබාලාට වුවද වැටහෙන කාරණයකි. එනිසා ඉන්ධන පිරවුම්හල්වලට ලැබෙන ඉන්ධන ප‍්‍රමාණය හෝ සාධාරණව බෙදාහැරීමට ක‍්‍රමවේදයක් සැකසීම කෙටිකාලීනව ගත හැකි හොඳම පියවර වේ. ඒ අතරේ දීර්ඝ කාලීනව ඉන්ධන අර්බුදය විසඳා ගත හැකි සැලසුම් සකස් කිරීමට පියවර ගැනීමට ද තවත් ප‍්‍රමාද නොවිය යුතුය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 16 දා ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේ අප රටේ ආනයන වියදමෙන් සියයට විස්සක් නැතහොත් පහෙන් එකක් වැය වනුයේ ඉන්ධන සඳහා වන බවයි. මෙම ඉන්ධනවලින් විදුලිය ජනනය කිරීම සඳහා ද විශාල ඉන්ධන ප‍්‍රමාණයක් වැයවන බව ද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය හමුවේ පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා දිගින් දිගටම සාකච්ඡා කළත් අදාළ ආයතන ඊට උනන්දු නොවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයාත් අපත්, රටේ සියලුම දෙනාත් දන්නා පරිදි අප රටේ කාලයක් තිස්සේ විදුලි මාෆියාවක් ක‍්‍රියාත්මක වේ. මේ පිටුපස සිටින්නේ පෞද්ගලික ඩීසල් විදුලි බලාගාරවලින් හදිසි මිලදී ගැනීම් සඳහා පොළඹවනු ක‍්‍රියාවලිය මෙහෙයවන පිරිසක් බව නොරහසකි. ඉදිරියේදී ජනාධිපතිවරයා දැඩි තීන්දු ගතයුත්තේ මොවුන් සම්බන්ධයෙනි. රටක බලශක්ති අර්බුදයක් ඇති කිරීම යනු ඒ රටේ ආර්ථිකය ද බිඳ වැට්ටවීමක් බව අප මොහොතකටවත් අමතක කළ යුතු නැත.

මේ වන විට ඩීසල්, පෙට‍්‍රල් පෝලිම්වලට අමතරව භූමිතෙල් පෝලිම් ද ඇති වී තිබේ. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ප‍්‍රමාණවත් තරම් ගෑස් වෙළෙඳපොළේ නොමැති වීමයි. මේ කොයි අතින් බැලුවද අද ජනතාව අන්ත අසරණ වී සිටිති. මේ කිසිදු ගැටලුවකට අප රටේ ජනතාව වගකිව යුතු නැත. වරද ඇත්තේ අදාළ බලධාරීන් කලට වේලාවට නිසි තීන්දු නොගැනීමයි. එම තත්ත්වය දැන්වත් වහා නිවැරදි කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment