නාඩගම් නටා තෙල් මිලේ ප‍්‍රශ්නය අවසන් කිරීමට ආණ්ඩුවට බැහැ

158

ජනතාවට බර පටවා තෙල් මිල ඉහළ දැමීමේ ප‍්‍රශ්නය උදය – සාගර නාඩගම නටා එතැනින් අවසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (15 වැනිදා* ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය.
 
 රටේ මතුවන සෑම ප‍්‍රශ්නයක් හමුවේදීම වත්මන් ආණ්ඩුව නාඩගමක් නටා එය ජනතාවගෙන් අමතක කරවීමට උත්සාහ කළ බව කී හෙතෙම මෙවරද ආණ්ඩුව යන්නේ එම අඩි පාරේම බව කීවේය.
 
 කොරෝනා වසංගතය, ආර්ථික ප‍්‍රශ්න ඇතුළු ප‍්‍රශ්න ගණනාවකින් රටේ ජනතාව පීඩා විඳිමින් සිටියදී නාඩගම් නටා තෙල් මිලේ ප‍්‍රශ්නය අවසන් කිරීමට වත්මන් රජයට කිසිසේත් නොහැකි බවත් එහෙයින් තෙල් මිල වහා අඩු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
 
 ආණ්ඩුවේ ප‍්‍රධානීන් ඇතුළු මැති ඇමැතිවරුන් තෙල් මිල වැඩිවීම සාධාරණීකරණය කරනවා විනා එය අඩුකිරීමට කතා නොකරන බවත් ප‍්‍රශ්නය අමතක කරවීමට උදය-සාගල නාඩගම කරළියට ගෙන ආ බවත් හෙතෙම කීවේය.
 
 ජනතාවට බර පටවන ආණ්ඩුව ඔවුන්ගේ සුඛ විහරණය කිසිවිටෙකත් පසෙකට දමා නැති බව පැවසූ සුනිල් හඳුන්නෙත්ති මහතා ඩොලර් මිලියන 18 ක් වැය කර සුඛෝපභෝගී රථ වාහන ගෙන්වන්නේ ඒ නිසා බවත්, ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාව දෙස බලාගෙන නොව ධන කුවේරයන් දෙස බලා බවත් පැවසීය.
 
 ආණ්ඩුව විසිවෙනි සංශෝධනය ගෙන එන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවයේ ප‍්‍රශ්නයක් පෙරට දමා අනුකම්පාව ලබා ගත් බවත්, එසේම පෝට්සිටි ප‍්‍රශ්නයේදී ඊට එරෙහි විරෝධතාවට ආණ්ඩුවම හවුල් වී එය සමනය කර ගත් බවත් සිහිපත් කළ හෙතෙම මෙම තෙල් මිල ප‍්‍රශ්නයේදී ආණ්ඩුවේ පාර්ශ්ව දෙකක් අතර ගැටුමක් නිර්මාණය කර එය ජනතාවගෙන් අමතක කරවීමට නාඩගමක් නටා ඇති බවත් කීවේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment