නාඩි ජ්‍යෙතිෂයට අනුව නව වසර ඔබේ ලග්නයට කොහොමද?

3844

දිනය- රවි දින-අස්විද නැකත-පුර දසවක තිථිය-ශිව යෝගය තෛතිල කරණය ද නව වසර උදාවෙයි. එම උදාවීමත් සමගම ජනවාරි මස 17 වැනි දින ප්‍රබල ශනි මාරුව සිදුවීමට නියමිත අතර මෙම ශනි මකර රාශියේ සිට කුම්භ රාශියට පැමිණේ. අප්‍රේල් 22 ගුරු මේෂ රාශි ගත වෙයි. එමෙන්ම ඔක්තෝබර් 30 රාහු සහ කේතුගේ ද ග්‍රහ මාරුව සිදුවෙයි. මේ අතර සඳු, රවි, බුධ, සිකුරු, කුජ යන ග්‍රහයන් ද මාරු වන නමුත් ඉහත සඳහන් කළේ ප්‍රබල ග්‍රහ මාරුවීම් පමණයි. පහත සඳහන් සියලුම පලාපල සිදුවන්නේ නාඩි සිද්ධාන්ත පදනම් කරගෙන බව කිව යුතුයි. එම නිසා මොන තරම් අපල සහගත බවක් තිබුණත් එය එසේම නොවන්නටත් සමහර අවස්ථාවල දී එය එසේ වීමටත් පුළුවනි. මන්ද නාඩි සිද්ධාන්තවල දී ඔබේ කේන්දරය, වයස, මත සියල්ල සිදුවන නිසාවෙනි.

මේෂ-

ඔබේ කේන්දරයේ දැනට ශනි ග්‍රහයා 10 වන ස්ථානය වූ මකරයේ සිටින අතර ජනවාරි 17 වැනි දින මෙම ශනි කුම්භ රාශිගත වෙයි. එමෙන්ම ගුරු මේෂ රාශිගත වෙයි. මීට අමතරව රාහු, කේතුගේ ්ද ග්‍රහමාරුවක් සිදුවෙයි. මෙසේ උදාවන අවුරුද්ද ලග්නාධිපති වූ කුජ 2 වැන්නේ වක්‍රව සිටින අතර මෙය යම්කිසි පීඩාවකින්, කලකිරීමකින්, පසුතැවීමකින් සියල්ල විඳ දරාගෙන ඉදිරියට යන බවක් පෙන්වයි. මීට මූලික හේතුව වන්නේ ඔබ අන් අයව විශ්වාස කරන්නට ගොස් ඔබ ම අමාරුවේ වැටීම යි. මිල මුදල් අතින් ඔබට බොහෝ පාඩු සිදුවෙන්නට ඉඩ තිබේ. එය දරා ගැනීමට හැකි සිතක් ඔබට මේ වර්ෂයේ අවශ්‍යයි. අනුන්ගෙන් මොන චෝදනා ආවත් මූල්‍ය කටයුතුවලින් ඉදිරියට යෑමක් පෙන්වයි. රැකියාවෙන් හෝ වේවා විදේශ ගත වීමකින් හෝ ඔබට ඔබව ම ශක්තියක් කරගත හැකි කාලයක් බැවින් ශක්තකිමත් වන්න. අධ්‍යාපනය ලබන දරුවන,ි වැඩිපුර මුදල් සොයන්නටවත් මේ කාලයේ තම ජීවිතය විනාශ කර නොගැනීමටත් උත්සාහ ගන්න.

අධ්‍යාපන කටයුතුවල මොන බාධාව තිබුණත් එය මගහැර ඉදිරියට යන්න. මේ ඔබේ හොඳම කාලයයි. දරුවනි සිත එක්තැන් කර ගැනීමට නොහැකි වෙයි. එහෙත් වරදේ නොබැඳෙන්න. ආදර සම්බන්ධතාවලින් වළකින්න. විරහාව තම සිතට එන්නට ඉඩ නොතියන්න. දුර බැහැර ගමන් බිමන් යෙදේ. එය තම ජීවිතයට ආලෝකයක් මිස අඳුරක් කර නොගන්න. විදේශගත මගේ ආදරණීයනි, මිල මුදල් සම්බන්ධයෙන් රැවටීමකට ලක් වෙන්නට ඉඩ තිබේ. ඔබ වංචනිකයන්ට හසුවෙන්නට පුළුවනි. පරිස්සම් වන්න. රැකියාව ආරක්‍ෂා කර ගන්න. ස්ථාන මාරුවීම් පෙන්වයි. මෙය ලාංකිකයන්ට ද අදාළ යි. නමුත් උසස්වීම් ගැනීමේ දී ඒවා ලබාගැනීමේ දී අන් අයගේ මැදිහත්වීම්වලින් ප්‍රමාදයක් පෙන්වයි. දෙමාපියන්ට තරමක් දුක්මුසු කාලයකි. නුවණින් කටයුතු කරන්න. ලැබුවාවූ නව වසර ඔබට ජයම ජය වර්ෂයක් වේවා !!!

නාඩි ජ්‍යෙතිෂයට අනුව නව වසර ඔබේ ලග්නයට කොහොමද?

වෘෂභ-

ඔබේ කේන්දරයේ දැනට ශනි ග්‍රහයා පුන්‍යස්ථානය වූ 9 වැන්නේ සිටින අතර 2023 ජනවාරි 17 වැනි දින මෙම ශනි ඔබේ කේන්දරයේ 10 වන භාවයට පැමිණේ. මීට අමතරව ගුරු අප්‍රේල් 22 ද රාහු, කේතු ඔක්තෝබර් මස 29 වැනි දින ද මාරුවෙයි. මීට අමතරව වර්ෂය උදාවනවිට කුජ ග්‍රහයා ඔබේ ලග්නයේ ද කේතු 6 වැන්නේ ද රවි, බුධ අටවැන්නේ ද ශනි, සිකුරු 9වැන්නේ ද ගුරු අයස්ථානය වූ 11 වැන්නේ ද චන්ද්‍ර, රාහු 12 වැන්න වූ අයස්ථානයේ ද ගමන් කරයි. මේ වර්ෂයේ ඔබට ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් හෝ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් ද උදාවී නොමැත. නමුත් ජන්ම ඒරාෂ්ටකයක් ඇද්ද යන්න කේන්දරයෙන් බැලිය යුතුයි. මීට අමතරව මෙම වර්ෂය ජනවාරි සිට අප්‍රේල් ද අප්‍රේල් සිට ඔක්තෝබර් ද ඔක්තෝබර් සිට දෙසැම්බර් යන කාලවල දී විවිධ හැල හැප්පීම් මත ජීවිතය ගෙවන්නට පුළුවනි. ඇත්තෙන්ම විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මෙය විශේෂයෙන්ම රැකියාවන් සඳහා හෝ අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙන්නට සිටින අයට ශුභයි. නව රැකියා අවස්ථාවන් ද උදාවෙයි. අලුත් අලුත් බලාපොරොත්තු ඇතිවෙයි. විදේශගතව සිටින අයට මෙය ඉතාම ශුභදායකයි. ඔබේ පදිංචිය ස්ථිර වෙයි. රැකියා අවස්ථා තහහුරු වෙයි. මෙම කාලයේ හොඳින් මිල මුදල් ලබාගැනීමට අලුත් වාහන මිලදී ගැනීමට දේපළ තහවුරු කර ගැනීමට, ඉඩම්, නිවාස අලුතින් මිලදී ගැනීමට හොඳම කාලයයි. හැබැයි මේ මොන දේ කළත් ඉවසීම ප්‍රගුණ කළ යුතු කාලයකි. එමෙන්ම හදිසි අනතුරුවලින් පරිස්සම් විය යුතුයි. එසේම වර්ෂය මුල දී ඔබේ මවට තරමක් අගුණ බවක් පෙන්වයි. හදිසි අසනීපාදියෙන් පෙළෙන්නට පුළුවනි. ආගමික කටයුතුවල යෙදෙමින් මානසික සුවය අත්විඳින්නට පුළුවනි. වර්ෂය අවසානයේ කල්පනාකාරී වන්න. දරුවන් සිටින දෙමාපියනි, තරුණ දරුවන් ගැන කල්පනාවෙන් සිටින්න. ආදරය, ප්‍රේමය, සොයා යන කාලයකි. අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකි බැවින් ඔවුන්ට අවවාද දෙන්න. විවාහ වන්නට සිටින අය ගන්න තීන්දු තීරණ ඉක්මන් නොවී ගන්න. විවාහයට වර්ෂයේ මුල් මාස කීපය හොඳයි. ධන හානිවලට ඉඩ නොතියන්න. ඔබට ලැබුවා වූ නව වර්ෂය ශුභම ශුභ වර්යෂක් වේවා!

මිථුන-

ඔබේ කේන්දරයේ දැනට ශනි ග්‍රහයා 8 වැන්න වූ මකරයේ අෂ්ටම ඒරාෂ්ටක තත්ත්වයක් දෙමින් සිටින අතර 2023 ජනවාරි 17 වැනි දින එම ශනි කුම්භ රාශිය වූ පුන්‍යස්ථානයට පැමිණ ඔබව ඒරාෂ්ටක තත්ත්යෙන් මුදවයි. එමෙන්ම ගුරු මාරුවක් ද මෙම ලග්නයට සිදුවීමට නියමිතය. එනම් ගුරු මේෂ රාශියට අප්‍රේල් මස 22 මාරු වන අතර රාහු සහ කේතු ඔක්තෝබර් 29 වැනි දින මාරුවීමට නියමිතයි. මීට අමතරව නව වර්ෂය උදාවන මොහොතේ ඔබේ කේන්දරයේ පවතින ග්‍රහ තත්ත්වය මෙසේය. කේතු 5 වැන්න වූ තුලාවේ ද රවි, බුධ 7 වූ ධනුවේ ද ශනි හා සිකුරු 8 වැන්න වූ මකරයේ ද ගුරු 9 වැන්න වූ මීනයේ ද සඳු සහ රාහු මේෂයේ ද කුජ ග්‍රහයා 12 වැන්න වූ අයස්ථානයේ ද තැන්පත්ව වර්ෂය ආරම්භ වෙයි.

2023 ජනවාරි 17 න් පසුව ඔබට නව රැකියා මාර්ග මෙන්ම තිබෙන රැකියාවේ ඉදිරියට යෑමක් මෙතෙක් පසු බැස්ස සියලු දේ පසක තබා ඔබ ඉදිරියට ම යන කාලයක්. විදේශ ගතව සිටින අයගෙන් ද උදව් උපකාර ලැබේ. ණයෙන් නිදහස් වෙන්නට කරුණු කාරණා මෙන්ම ගැලවුම්කාරයන් මෙන් උදව්වට පිරිස් රැස වෙනවා. විශේෂයෙන් සිතට එකඟව සියලු කටයුතුවල යෙදෙන්න. පොළොවෙන් විශාල ලාභ ප්‍රයෝජන ලබාගත හැකි කාලයක් මෙය. පොළොව සම්බන්ධව රැකියාව කරන අයට ද ශුභදායක ආරංචියකි මෙය. අප්‍රේල් 22න් පසු ඔබට මීට වඩා ශුභදායක බවක් පෙන්වයි. නව ව්‍යාපාරවලට අත ගසන්න. ආදායම් මාර්ග සොය සොයා යන්න. විදේශ ගමන් බිමන් යෙදේ. රැකියාවෙන් උසස් වීමක් පෙන්වයි. එයට උනන්දුවෙන්න. අධ්‍යාපනය ලබන දරුවන්ට ද මෙය ඉතාම ශුභදායක වර්ෂයකි. ප්‍රේමය විවාහය ගැන හිතුවොත් මෙතෙක් කල්ගිය සියලුම දේ වෙනස්වී ජීවිතයට සතුට ගෙන එන කාලයක් කල් ගිය අතහැර ගිය අය නැවත පැමිණේ. ආදර බන්ධන ස්ථිර වෙයි. මොන දේ වුණත් එය එතරම් දුර නොයා සතුටින් ජීවිතය ගෙවන්නට උත්සාහයක් ගන්න. ඔක්තෝබර් 29 වැනිදායින් පසු නැවතත් ඔබේ ජීවිතයේ වෙනසක් සිදුවෙයි. මෙයත් ශුභයි. විදේශගතව ඉන්න දුවා දරුවන්ටත් ශුභයි. ඉතිං ලැබුවාවූ 2023 වර්ෂය ශුභම ශුභ වර්ෂයක් වේවා සිතුම් පැතුම් ඉටුවේවා!

කටක-

වර්ෂය උදාවන මොහොතේ ඔබේ කේන්දරයේ මේ ආකාරයට ග්‍රහයන් සිටියි. එනම් කේතු ග්‍රහයා 4 වැන්න තුලාවේ ද රවි සහ බුධ 6 වැන්න වූ ධනුවේ ද ශනි සහ ශුක්‍ර මකරයේ ද ගුරු 9 වැන්න වූ මකරයේ ද සඳු සහ රාහු මේෂයේ ද කුජ 11 වැන්න වූ වෘෂභයේ ද ගමන් කරමින් වර්ෂය ආරම්භ වෙයි. මීට අමතරව 2023 ජනවාරි 17 වැනි දින ශනි ඔබේ කේන්දරයේ 8 වැන්න වූ කුම්භ රාශි ගත වෙයි. මෙය 2023 දී ඔබට අෂ්ට ම ඒරාෂ්ටකයක් ආරම්භ වෙයි. මීට අමතරව ගුරු අප්‍රේල් 22 මාරුවෙයි. මෙය ගුරු මේෂ රාශියට යන අතර ඔක්තෝබර් මාසයේ 29 වැනි දින රාහු සහ කේතුගේ ද මාරුවීම සිදුවෙයි. මෙතැන දී මේෂයේ සහ තුලාවේ සිටි රාහු සහ කේතු, එනම් රාහු මීනයටත් කේතු කන්‍යාවටත් මාරුවෙයි. අපි බලමු ඔබේ ජීවිතය කෙසේද කියා.

ඇත්තෙන්ම ඔබේ මනස නිරවුල් කරගත යුතුම වර්ෂයකි. එනම් මොන අපලය ආවත් මනස නිරවුල් නම් කිසිම ඇද වැටීමක් සිදුනොවී ඉදිරියට යා හැක. පුළුවන්නම් ඔබ උත්සාහ ගන්න ඔබ මෙතෙක් මුදල් සොයන මාර්ගයට වඩා තවත් මාර්ගයකින් මුදල් සොයන්නට උත්සාහ ගන්න. තම අරමුණු කරා හඹා යන්න. එන්න එන්නම ඔබ ඉදිරියට යා යුතුයි. රැකියාව කරන හෝ ව්‍යාපාරවල ඇද වැටීමක් පෙන්වයි. නමුත් ජීවිතය අයාලේ යෑමට නොදී ඉදිරියට යන්න. අධ්‍යාපනය ලබන මගේ දරුවනි ඔබටත් මෙය මෙසේය. නමුත් අප්‍රේල් 22 න් පසුව තරමක් දුරට ඔබට සහනයක් ගෙන එන ග්‍රහ මාරුවක් සිදුවෙනවා. ඇත්තෙන්ම නාඩි සිද්ධාන්තවලට අනුව ඔබට අශුභ බවක් නොපෙන්වයි. විදේශගත හිත මිතුරනි ඔබට නාඩි සිද්ධාන්තවලට අනුව මිශ්‍ර ඵල ගෙනදෙන කාලයකි. ඔබේ ස්ථිර නොවූ බොහෝ දේ එනම් ආදරය විවාහය තව තවත් දුරට යා හැකි කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ට මේ වර්ෂ 2 1/2 ක පමණ කාලයක් යනතුරු ආදර සම්බන්ධතාවලට යොමු නොවන්නට වගබලා ගන්න. අධ්‍යාපනය මුල්තැන දුන්නොත් මෙය ඔබේ ජීවිත කාලයටම බලපාන නිසා ජයම ලබන්න. බාහිර දේ සඳහාද ඇපකැප වෙන්න. පොළොවෙන් හම්බ කරන අයට මොන බාධාව ආවත් ඉදිරියටම යන්න. හේතුව මානසික පීඩාවන් තමයි ඔබට ගෙන එන ප්‍රබලම අපලය. එමනිසා එයින් මිදෙන්න. 2023 වර්ෂය නාඩි සිද්ධාන්තවලට අනුව ශුභම ශුභ නව වසරක් වේවා!

සිංහ-

සිංහ ලග්න හිමියන්ගේ නව වර්ෂයේ ග්‍රහ තත්ත්වය සිංහ ලග්නාධිපති වූ රවි බුධ සමග සංයෝග වී 5 වැන්න වූ ධනු රාශියෙත් කේතු 3 වැන්න වූ තුලාවෙත් ශනි සහ සිකුරු 6 වැන්න වූ මකරයෙත් ගුරු මීනය වූ 8 වැන්නෙත් සඳු සහ රාහු 9 වැන්න වූ මේෂයෙත් කුජ 10 වැන්න වූ වෘෂභයේ වක්‍රවත් ගමන් කරයි. මීට අමතරව 2023 ජනවාරි 17 වැනි දින ශනි මකරයේ සිට කුම්භ රාශිය වූ 7 වැන්නට පැමිණේ. ගුරු ග්‍රහයා මීනයේ සිට මීනයට අප්‍රේල් 22 පැමිණේ. ඔක්තෝබර් 29 වැනි දින රාහු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කේතු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවට පැමිණේ. ඉතිං නාඩි සිද්ධාන්ත මුල්කර ගෙනයි මම මේ පලාපල කථනයේ යෙදෙන්නේ. මේ වර්ෂය තුළ ඔබට වාසනා ගුණයක් පවතිනවා. විශ්වයෙන් ඔබට ශුභදායක බවක් ගෙන දෙන කාලයකි. මෙය හොඳම කාලය යැයි සිතා ජීවිතය ගොඩනඟන්න. ආර්ථික පැත්තෙන් ඔබව ඔසවා තබන්නට නම් ඔබත් එයට රුකුලක් දැක්විය යුතු කාලයකි. උත්සාහයෙන් ප්‍රතිඵල ලබාගත හැක. ණය ගනුදෙනුවලින් නිදහස් වීමක් සිදුවෙයි. මෙය 2023 අප්‍රේල් මාසයෙන් පසුව ඔබට විදේශ ගත වීමක් පෙන්වයි. රැකියාවේ වෙනසක්ද සිදුවෙයි. මෙතෙක් පැවැති සියලුම බාධක බිඳගෙන යා හැකි වර්ෂයකි.

පවුල් ජීවිතය ගතහොත් ඔබ ආක්‍රමණශීලී ගතිය අඩුවී නිහඬව තනිව ඉන්නට උත්සාහ කරන කාලයකි. විවාහ ජීවිතය තුළ ගැටලු ඇති කර නොගන්න. සිංහ ලග්න හිමි දරුවනි ඔබට හැකි නම් මේ වර්ෂය නවීන තාක්‍ෂණයෙන් ඈත් වන්නට මෙන්න හොඳම අවස්ථාව. එසේ නොවුණොත් ඔබට දුක් විඳින්නට සිදුවෙයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ශුභයි. දඩබ්බර නොවන්න. ආදරය කරන අයට මංගල සීනු අප්‍රේල් 22 පසුව උදාවෙයි. විදේශ ගතව ඉන්න මගේ රසිකයිනි. ඇත්තෙන්ම ඔබට හැකි නම් ඔබේ ආකල්පවල වෙනසක් කරන්න. අන්න ඔබේ ජීවිතයේ හොඳම ආරම්භය. හිතුවක්කාරකම් අඩු කරගෙන ආඩම්බරකම් අඩුකරගෙන විදේශ ගමන් බිමන් අධ්‍යාපනයේ ලබන දරුවන්ට තිබේ. ජීවිතයට මුහුණ දෙන්න ඔබට ශුභ කාලයක් එන්නේ ඔබට හැකිනම් ඉඩමක් මිලදී ගන්න, නව නිවසක් ගොඩනඟන්න ගන්න. අනියම් සම්බන්ධතාවලට ඉඩනොදෙන්න මොකද ඔබ මුලාවෙයි. ඉතිං ලැබුවාවූ නව වර්ෂය ජය සතුට පිරි වර්ෂයක් වේවා!

කන්‍යා-

කන්‍යා ලග්න හිමියන්ගේ 2023 වර්ෂයේ ග්‍රහචාරය මෙසේය. එනම් 2 වැන්න වූ තුලාවේ කේතු ද 4 වැන්න වූ ධනුවේ රවි සහ බුධ ද 5 වැන්න වූ මකරයේ ශනි සහ සිකුරු ද 7 වැන්න වූ මීනයේ ගුරු ද 8 වැන්න වූ මේෂයේ සඳු සහ රාහු ද 9 වැන්න වූ වෘෂභයේ ගුජ ද තැන්පත්වී ඇත. මීට අමතරව මෙම වර්ෂයේ ජනවාරි 17 වැනි දින සෙනසුරු 5 වැන්න වූ මකරයෙන් 6 වැන්න වූ කුම්භ රාශියට පැමිණේ. අප්‍රේල් 22 වැනි දින ගුරු මේෂ රාශිගත වෙයි. ඔක්තෝබර් 29 වැනි දින රාහු වෘෂභයටත් කේතු කන්‍යාවටත් පැමිණේ. එසේ පටන් ගන්න වර්ෂයේ දී ඔබට පෙර පිං ඵල දෙන කාලයක් ලෙස දැක්විය හැක. ඉතිං මේ කාලයේ පොළොවෙන් ලාභ ලබන අයට මෙය විශේෂ අවස්ථාවක් ලෙස දැක්විය හැක. සිනාව නිතරම ඔබේ මුවේ පවතියි. ඔබට යම් යම් ද්‍රව්‍ය ලාභ ද ලැබෙන කාලයකි. නමුත මේ දේ ලැබුණත් ඔබේ රැකියාවේ යම් යම් වෙනස්කම් කීපයක් ද සිදුවෙයි. ව්‍යාපාරවල යෙදී සිටින අයටත් කියන්නේ ඔබේ ආර්ථිකය ස්ථාවර කරගත යුතු කාලයකි. මොනම අයුරින්වත් ව්‍යාපාරවලටත්

රැකියාවටත් හානියක් කර නොගෙන ඉදිරියට යන්න. හවුල් ව්‍යාපාරවල දී පරිස්සම් වන්න. පවුල් ජීවිතය ගැන බැලුවොත් ඔබේ පවුල වෙනුවෙන් වෙන්කරන්න තියෙන කාලය අඩුවී යයි. එමෙන්ම විවාහ ජීවිතය තුළ අඹු සැමි දෙදෙනාගේ ඈත්වීමක් පෙන්වයි. ආදර සම්බන්ධතාවලට යෙදී සිටින අයට ද මේ කාලයේ සිතන තරම් ඉක්මනින් විවාහය සිදුනොවුණත් අප්‍රේල්වලින් පසුව තිබුණ බාධක දුරුවෙලා විවාහයට දින වෙන්කර ගැනීමක් සිදුවෙයි. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවනි ආදර බන්ධනවල යෙදීමෙන් වළකින්න. ඔබේ අධ්‍යාපන කටයුතුවලට සුළු වශයෙන් බාධා ආවත් ඉදිරියටම යා හැකි බවක් පෙන්වයි. එමෙන්ම නරක ආශ්‍රයෙන් මිදෙන්න. නරක පුරුදුවලින් මිදෙන්න. එවිට ජීවිතය ජයගත හැකියි. ලද දෙයින් සතුටු විය යුතු වර්ෂයකි. අසනීප ගති මතුවෙයි. ඔබේ ස්නායුවල රෝග ඇතිවේ. වකුගඩුවල රෝග බඩේ රෝග ඇති විය හැක. විදේශගතව සිටින රසිකයිනි. ඇත්තෙන්ම ඔබට වාසනාවන්ත කාලයක් අප්‍රේල් 22 න් පසු. ඉතිං කරන කියන සෑම දෙයක්ම බාධක මැද හෝ ඔබට ඉටුකර ගැනීමට හැකියාව පවතියි. හැබැයි හොඳින් අවංකව සිටියොත් පමණයි. අන්සතු හදවත්වලට එබෙන්නට එපා. අන් අයගේ පවුල් ජීවිතවලට ඇතුළු වෙන්නට එපා. මන්ද ලංකාවේ සිටින අයට පීඩා ඇතිවිය හැකි කුඩා දරුවන්ට ශුභයි. අලුත් සාමාජිකයන් පවුලට එකතු වෙයි. ඔබ මොන තරම් කාර්ය බහුල වුණත් ඔබ ඔබ ගැන සිතන්න. අසනීපවලට නිසියාකාරයෙන් ප්‍රතිකර්ම කර ගන්න. 2023 වර්ෂය ඔබට ශුභම ශුභ වර්ෂයක් වේවා!

තුලා-

තුලා ලග්න හිමියන්ගේ ලග්නයේ කේතු ද 3 වැන්න වූ ධනු රාශියේ රවි සහ බුධ ද මකර රාශිය වූ 4 වැන්නේ ශනි සහ සිකුරු ද 6 වැන්න වූ මීනයේ ගුරු ද මේෂය වූ 7 වැන්නේ සඳු සහ රාහු ද 8 වැන්න වෘෂභයේ කුජ ද පිහිට ඇත. මීට අමතරව 2023 ජනවාරි 17 වැනි දින ඔබේ කේන්දරයේ ශනි මාරුවත් එනම් මකරයෙන් 5 වැන්න වූ කුම්භ රාශියටත් ගුරු අප්‍රේල් 22 මේෂයටත් රාහු මීනයටත් කේතු කන්‍යාවට ඔකතෝබර් 29 වැනි දින සිදුවෙයි. මෙම ග්‍රහ මාරුවීම් සමග ම ඔබේ ජීවිතයට ඉතාම පෙරළිකාර වර්ෂයකි. ආර්ථික අතින් ඔබට යම්කිසි නැඟිටීමක් පෙන්නුම් කරයි. ඔබේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට නම් කැපවීමෙන් තමාගේ අරමුණු කරා ගියහොත් ඉතාම ජයක් ලබාගත හැකි කාලයක් වනවාමයි. මානසික පීඩාවෙන් මිදෙන්නට අවස්ථාව උදාවෙයි. බුද්ධිය පාව්චිචි කරලා

ගොඩයන්න පුළුවන් කාලයකි. ඔබේ අරමුණු එකින් එක ඉටුකර ගන්න. මෙයින් මුල්ම දේ අධ්‍යාපනය ලබන දරුවනි. ඔබ විදේශගතවී අධ්‍යාපනය ලබන්නට සිතුවා නම් මෙන්න අවස්ථාව. මෙය රැකියාවන් සඳහා යන්න ඉන්න අයටත් මේ හොඳම අවස්ථාව. ඉතිං උත්සාහ ගන්න විදේශ ගමන් බිමන් පවතින නිසා. විදේශ ගත මගේ රසිකයිනි. ඔබට මේ අවස්ථා ලංකාවේ සිටින අයට මුදල් එවා ඉඩම් ගෙවල් මිලදී ගැනීමට හොඳම කාලයයි. යාන වාහන මිලදී ගැනීමට අවස්ථාව උදාවෙයි. අනික ඔබ ඔබට හිමි නැති කිසිවෙකුට ළං නොවන්න. අනිසි බැඳීම්වලින් මිදෙන්න. මේ කාලයේ ඔබේ පසුපස වාසනාව මෙන්ම දුක ද ගෙන එන කාලයකි. පවුල් ජීවිතයට ශුභයි. තමා කරන සියලු කටයුතු තම පවුලට ගෞරවයක් ගෙන දෙන අයුරින් සිදුකරන්න. ප්‍රේමය ආලය බිරිඳ සැමියට දෙන්න. ආදරය කරන දරුවනි ඔබට ප්‍රේමය පමණයි උරුම රාගය ලිංගික ජීවිත අත් විඳින්නට නොයන්න. විශේෂයෙන් ඔබ හිතන්න මේ ඔබේ නංගි මේ ඔබේ අයියා කියලා. මං මුලා නොවන්න. මුලා වීමෙන් වළකින්න. විවාහ වෙන්න සිටින අයට ශුභයි. විවාහ යෝජනා පැමිණේ. මෙතෙක් විවාහ නොවූ අයට මංගල යෝජනා උදාවෙයි. සෞඛ්‍ය ගැන කතා කළහොත් ඔබ ඔබ ගැන සිතන්න. ඔබේ ශරීරය ගැන සිතන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. 2023 වර්ෂය ශුභම ශුභ වර්ෂයක් වේවා!

වෘශ්චික-

වෘශ්චික ලග්න හිමියන්ගේ 2023 වර්ෂයේ පවතින ග්‍රහචාරය මෙසේය. එනම් 2 වැන්න වූ ධනු රාශියේ රවි, බුධ සංගෝයව ද මකර රාශිය වූ තුන්වැන්නේ ශනිගේ හා සිකුරුගේ සංයෝගය ද 5 වැන්න වූ මීනයේ ගුරු ද 6 වැන්න වූ මේෂයේ රාහු හා සඳු ද 7 වැන්න වූ වෘෂභයේ කුජ ද 12 වැන්න වූ තුලාවේ කේතු ද තැන්පත්ව වර්ෂය ආරම්භ වෙයි. එමෙන්ම 2023 ජනවාරි 17 වැනි දින ශනි මාරුවක් සිදුවන අතර ඔබේ කේන්දරයේ 4 වන රාශිය වන කුම්භ රාශියට ශනිගේ පැමිණීම සිදුවෙයි.

එමෙන්ම අප්‍රේල් මස 22 වැනි දින ගුරුගේ මාරුවක් සිදුවෙයි. ඔබේ කේන්දරයේ ගුරු 6 වැන්න වූ මේෂ රාශියටත් ඔක්තෝබර් 29 රාහු, කේතුගේ මාරුවත් සිදුවීමට නියමිතයි. මෙහිදී රාහු මීනයටත් කේතු කන්‍යාවට පැමිණේ. මෙසේ ආරම්භ වන නව වර්ෂ තුළ ඔබ ප්‍රගුණ කළ යුතු ප්‍රධානම දේ වන්නේ ඉවසීමයි. ඉවසීමෙන් ඔබ ඔබේ දක්‍ෂකම දියුණු කළ යුතුයි. ඇත්තෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට මුලින්ම කියන්නම්. මේ ඔබේ දක්‍ෂතාවය ඉදිරියට ගෙන යෑමට පුළුවන් වර්ෂයකි. දරුවනි ඔබ ඔබ කවුදැයි යන්න මුලින්ම හඳුනා ගන්න. ඒ අනුව කළ යුතු දේ නොකළ යුතු දේ තීරණය කරන්න. නිකරුණේ ඔබේ ජීවිතය විනාශ නොකර ජීවිතය ජය ගන්න. අනික විදේශ ගමන් බිමන් සඳහා උත්සාහ ගන්න. කිසිවෙක් දෝත පුරා ගෙනැවිත් නොදේ. උත්සාහය අවශ්‍යම මොහොතක් ඥානය මේ මොහොතේ හරි අපූරුවට ඇති නිසා ඉදිරියට යන්න.

පවුල් ජීවිත, ආදරය කරන අය වර්ෂ මුල් කාලයේ ඉවසීමෙන් කල් ගෙවිය යුතුයි.

නමුත් වර්ෂය මැද දී එය තරමක් දුරට කරදර නැතිවී යයි. මේ වර්ෂයේ මුල් කාලයේ හදිසි අනතුරු වගේ දේ ඇති වීමටත් තුවාල වීමටත් පුළුවනි. නිතරම ලෙඩ රෝග කුඩා දරුවන්ට ඇති වීමටත් පුළුවනි. මුත්‍රා මාර්ග වකුගඩු රෝග මෙන්ම දණහිස් අමාරු ඇති අය ද ප්‍රවේශම් වන්න. ව්‍යාපාරවල යෙදී සිටින අයට මිශ්‍ර ඵල ගෙනදෙන කාලයක් ඇතිවිය හැක.

විදේශගත මගේ රසිකයිනි. ඇත්තෙන්ම ඔබට අවශ්‍ය කරන සියලුම කටයුතු නිසියාකාරව කර ගැනීමට හැකි වුවත් ඔබ ඇත්තෙන්ම සමහර අවස්ථාවලදී නොසිතූ මාහොතවල්වලදී අසනීපාදී කරදරත්, හදිසි අනතුරුවලට ලක්වීමටත් ඇති ඉඩකඩ වැඩි නිසා පරිස්සම් වන්න. ඔබේ ලංකාවේ සිටින මවට, දරුවන්ගේ අසනීප අසන්නට ලැබේවී. එබැවින් ඒ ගැනත් හොඳින් සොයා බලන්න. විශේෂයෙන් දරුවන් ඉන්නා මවුවරුනි තම දරුවන් ගැන පෙරට වඩා හොඳින් සොයා බලන්නට උපදෙස් බලාගන්න අයට දෙන්න. ඉතිං ලැබුවා වූ නව වර්ෂය ශුභම ශුභ නව වසරක් වේවා!

ධනු-

ඔබේ කේන්දරයේ නව උදාවත් සමග ග්‍රහ තත්ත්වය මෙසේය. රවි, බුධ සංයෝගව ලග්න ගතව ද ශනි, ශුක්‍ර 2 වැන්නේ ද ගුරු ධනුවේ ද චන්ද්‍ර, රාහු 5 වැන්න මේෂයේ ද කුජ 6 වැන්න වූ වෘෂභයේ ද තැන්පත්ව ද කේතු 11 වැන්න වූ තුලාවේ ද තැන්පත්ව ඇත. මීට අමතරව ප්‍රබල ග්‍රහ මාරුවීම් මෙසේ සිදුවෙයි. එනම් 2023 ජනවාරි 17 වැනි දින ශනි කුම්භ රාශි ගතවෙයි. අප්‍රේල් 22 ගුරු මේෂ රාශීගත වෙයි. රාහු ඔක්තෝබර් 29 මීන රාශියටත් කේතු කන්‍යා රාශියටත් පැමිණේ. මේ වර්ෂය ඔබට කොහොමද කියා බලමු. ඔබේ මෙතෙක් තිබූ ලග්න ඒරාෂ්ටකය අවසන් වෙනවා. වර්ෂ 7 1/2 ක දීර්ඝ අපලය ජනවාරි 17 න් අවසන් වෙනවා. ඉතිං ඔබට ඔබේ නැතිවූ දේ, අතපසුවූ සියලු දේ නැවත ලබා ගත හැකි කාලයකි. අධ්‍යාපනය ලබන දරුවනි ඔබේ බාධාවන් අඩුවෙමින් ඉදිරියට යන නිසා පුළුවන් තරම් අතපසුවූ සියලුම දේ නැවත නැවත කර ජීවිතය ජයගන්න. විදේශ ගතවීමට මෙතෙක් බාධා තිබුණත් එය මග හැරී යයි. ව්‍යාපාරවල යෙදී සිටින අයටත් කියන්නේ මෙතෙක් ජීවිතේ බාධක පාඩුවීම් මැද ගමන් කළ ජීවිතය මෙතැනින් වෙනස් කරගෙන අලුත් ව්‍යාපාර මාර්ගවලින් ජීවිතය ජයගත හැකිවෙයි. නිසියාකාරව මුදල් සොයන්නේ නම් පමණයි ඔබට යහපතක් වන්නේ. මේ කාලයේ මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි කාරණයක් ඉටුවෙයි. ප්‍රේමයක්, ආදරයක්, විවාහයක්, දරුවෙක්, බලාපොරොත්තුවූ අයට ශුභයි.

හොඳ විවාහ යෝග මෙන්ම මෙතෙක් පැවැති බාධක දුරුවී යන නිසා කල්පනාවෙන් සහකරුවෙක් හෝ සහකාරියක් සොයා ගන්න. විදේශගත අයට ඔබට ද විවාහයට හොඳ කෙනෙක් ලැබේ. ඔබ අලුතින් නිවසක් ඉඩමක් නැතිනම් තැන්පත් ධනයක් හෝ අලුත්ම රැකියාවකට යෑමට උත්සාහයක් ගත්තා නම් මේ සියලු කාරණාවලදී ඔබට ජයක් ලබාගත හැකි බැවින් සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට උත්සාහයක යෙදෙන්න. මැයි මාසයෙන් පසු ඔබට මීට වඩා ජයක් ලබාගත හැක. අසනීපවලදී පාදයේ හෝ ස්නායු රෝග ආදිය ඇති වීමට පුළුවනි. ප්‍රවේශම් වන්න. නධන්ගත රෝගද ඉස්මතු වෙයි. 2023 වර්ෂය ඔබට ශුභම ශුභ වර්ෂයක් වේවා!

මකර-

ඔබේ කේන්දරයේ නව උදාවත් සමග ග්‍රහ තත්ත්වය මෙසේය. රවි, බුධ සංයෝගව 12 වැන්න වූ ධනුවේ ද ශනි සහ සිකුරු ලග්නයේද ගුරු 3 වැන්න වූ මීනයේද රාහු හා සඳු 4 වැන්න වූ මෙෂයේද කුජ 6 වැන්න වූ වෘෂභයේද කේතු 10 වැන්න වූ තුලාවේද තැන්පත්ව ඇත. මීට අමතරව 2023 ඇතිවන ප්‍රබල ග්‍රහ මාරුවීම් ඔබේ ලග්නයට මේ ආකාරයෙන් එනම් 2023 ජනවාරි 17 ශනි ඔබේ කේන්දරයේ 2 වැන්න වූ කුම්භ රාශියටත් අප්‍රේල් 22 ගුරු මේෂ රාශියටත්, ඔක්තෝබර් 29 රාහු මීනයටත් කේතු කන්‍යාවටත් පැමිණේ. මේ සමගම වර්ෂ 5 ක අපලකාලයක් ගෙවා තව වර්ෂ 2 1/2 ක අපල කාලයක් ඇතිව ඉදිරියට යන ඔබට මෙතෙක් පසුගිය කාලයට වඩා ශුභ බවක් පෙන්වයි. ඇත්තෙන්ම මිල මුදල් අතින් හොඳ කාලයක් වෙයි. මේ වර්ෂය ඔබ සැලසුම් සහගතව ඉදිරිය ගෙවන්න. හැබැයි හදිසි අනතුරුවලින් නම් පරිස්සම් වන්න ඕනේ. රැකියා කටයුතු මෙන්ම නව ව්‍යාපාරවලට ශුභ කාලයකි. හැබැයි නීතියේ පිහිටක් නැති නීතියට පටහැනි කිසිවක් නොකරන්න. ගොවිතැන් කරන අයටත් පෙරට වඩා ශුභ බවක් ගෙන දෙයි. අධ්‍යාපනය ලබන දරුවනි ඔබටත් මෙතෙක් පැවැති බාධක කරදර දුරුවෙන කාලයකි. තම අරමුණු කරා පමණක් යන්න.

විදේශ රටවල ඉන්න රසිකයිනි. ඔබටත් ඇත්තෙන්ම සතුටුදායක බවක් සතුටක් ගෙනදෙන කාලයකි. ඔබට ලංකාවට එන්න අවස්ථාව උදාවෙයි. අප්‍රේල්වලින් පසුව වඩාත් ශුභදායකයි. ඔබේ බිරිඳ හේ සැමියා දරුවන් දකින්නට අවස්ථාව උදාවෙයි. නව නිවාස කටයුතුවලට මෙන්ම අලුත් බඩු බාහිරාදිය ගැනීමටත් අවස්ථාව උදාවෙයි. ඔබට තවද ඔබේ දරුවන්, සැමියා ඔබ ළඟට ගන්නට උත්සාහයක් ගන්නේ නම් එයත් ඔබට කළ හැකි කාර්යයකි. විවාහ අපේක්‍ෂා කරන අයට විවාහය තහවුරු වෙයි. මංගල සීනු හඬවන කාලයකි. තනිකඩව ඉන්න අයට පසුගිය කාලයේ ඔබේ ප්‍රේමය කැඩී බිඳී ගියත් ඔබ සංකාවෙන් නම් එයින් මිදෙන්නට අවස්ථාව උදාවෙයි. නව සම්බන්ධතාවල යෙදේ. ඔබට 2023 වර්ෂය ජයෙන් ජයම වර්ෂයක් වේවා!

කුම්භ-

ඔබේ කේන්දරයේ නව උදාවත් සමග ග්‍රහ තත්ත්වය මෙසේය. ගුරු 2 වැන්න වූ මීනයෙත්, රාහු සහ සඳු 3 වැන්න වූ මේෂයේ කුජ 4 වැන්න වූ වෘෂභයෙත්, කේතු 9 වැන්න වූ තුලාවෙන් රවි සහ බුධ 11 වැන්න වූ ධනුවෙත් කෝටියක් දෝශ බංග කරමින් ද ශනි සහ සිකුරු 12 වැන්නෙ ලග්න ඒරාෂ්ටකය අතැතිව සිටිමින් වර්ෂය ආරම්භ වෙයි. නමුත් මෙම වර්ෂය තුළදී එනම් 2023 ජනවාරි 17 වැනි දිනට ශනි කුම්භ රාශි ගත වෙයි. ගුරු අප්‍රේල් 22 මේෂ රාශිගත වෙයි. රාහු ඔක්තෝබර් 29 වැනි දින මීන රාශියටත් කේතු කන්‍යා රාශියටත් පැමිණේ. ඇත්තෙන්ම ඔබට තවමත් ඒරාෂ්ටක තත්ත්වයක් පවතින බව කිව යුතුයි. ඔබ අන් අය ආශ්‍රය කිරීමේදී ප්‍රවේශම් වන්න. මන්ද ඔබට අහිමි වන දේ බොහෝය. නමුත් අහිමි වීම් මුළු ජීවිත කාලයටම නොවේ. මිල මුදල් පාඩු ඇති විය හැක. රැකියාවේදී ද ගැටලු ඇතිවිය හැක. එනේම විවාහ ජීවිතය ඉවසීමෙන් රැක ගන්න. කේන්ති යන ගතිය අඩුකර ගන්න. අධ්‍යාපනය කරන දරුවනි කිසිම විටෙක අධ්‍යාපන කටයුතු මඟ හරවා ගන්න එපා කල්දමන්න එපා. එදිනෙදා වැඩේ එදිනම කරන්න. එසේ වුවහොත් සියලුම දේ ජයගත හැක. මන්ද ඔබ ඉදිරියට යන්නේ අපල කාලයකුත් සමගයි. හදිසි අසනීප ලෙඩ රෝගවලින් වැඩිහිටියන් මෙන්ම දරුවන්ද ප්‍රවේශම් විය යුතුයි. තරමක් දුරට මේ කාලයේ ඉවසීම නැති කමත් ආශ්‍රය කරන අය සමග තරහා වීමත්, සියලු දේ අවුල් කරගන්න බවකුත් පෙනෙන නිසා ප්‍රවේශම් වන්න.

විදේශගත ශ්‍රී ලාංකිකයිනි ඔබ රැකගත යුත්තේ ඉවසීමයි. මොන දේ වුණත් රැකියාව ද ආරක්‍ෂා කර ගත යුතුයි. මිල මුදල් නිසියාකාරව පාලනය කළ යුතුයි. ඉඩම් මිලදී ගැනීමට නව නිවාස ගොඩනැඟීමට හොඳම කාලයයි. පුළුවන් තරම් ආගමික කටයුතුවල යෙදෙන්න. ඉඩම් නිවාස ඇති අය පුළුවන්තරම් ඉතිරි කර ගැනීමට උත්සාහ ගන්න. අත්පා නැති අයට දන් දෙන්න. ඔබේ මේ ලග්නයෙන් හෝ මකර, මීන කටක ලග්නවලින් ඉන්න අය විශේෂයෙන් මේ දරුවන් ගැන වැඩිහිටියන්ට බලා ගන්නට උපදෙස් දෙන්න. ඔබට ලබන්නා වූ නව වසර ශුභම ශුභ වර්ෂයක් වේවා සිතුම් පැතුම් ඉටුවේවා!

මීන-

ඔබේ කේන්දරයේ නව උදාවත් සමග පවතින තත්කාල කේන්දර සටහන මෙසේය. එනම් ගුරු ග්‍රහයා ලග්නයේ ද සඳු හා රාහු 2 වැන්න වූ මේෂයේද කුජ තුන්වැන්න වූ වෘෂභයේද කේතු 8 වැන්න වූ තුලාවේ ද රවි සහ බුධ 10 වැන්න වූ ධනුවේ ද ශනි සහ සිකුරු 11 වැන්න වූ මකරයේද තැන්පත්ව ඇත. එමෙන්ම 2023 වර්ෂයේ ශනි 17 වැනි දින කුම්භ රාශීගත වෙයි. මෙම රාශීගත වීමෙන් ඔබට ලග්න ඒරාෂ්ටකයක් ලබයි. එමෙන්ම අප්‍රේල් 22 ගුරු ග්‍රහයා මේෂ රාශි ගතවෙයි. ඔක්තෝබර් 29 වැනි දින රාහු මීන රාශියටත් කේතු කන්‍යා රාශියටත් පැමිණේ. මෙතෙක් වාසනාව ගෙන ආ ඔබට තවමත් ශුභ දේ දෙන ඔබට ජනවාරි 17 න් පසු ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් උදාවෙන බව කිව යුතුයි. එම නිසා කම්මැලි නොවී ඉලක්කයට වැඩකරන්නට උත්සාහ ගන්න. මේ වසර ඔබගේ වසර කියා සිතා ඔබ අපල අමතක කර ජය ගන්නට උත්සාහ ගන්න. හැබැයි මෙය අධ්‍යාපනය ලබන දරුවන්ට තමයි විශේෂයෙන්ම කියන්නේ. සියලු දේ අහිමි වුණා නැති වුණා කිය කියා නොසිට සියලු දේ ලබා ගැනීමට ජීවිතයට ළංකර ගැනීමට උත්සාහ ගන්න. විවාහ ජීවිතය මානසික පීඩා මත එපා වීමට පුළුවනි. මේ කාලයේ ආදර බැඳීම් ද එසේම නිසා ආදර ගනුදෙනුවලදී ප්‍රවේශම් වන්න. බැඳීම් ඔබට වේදනාවන් ගෙන දෙයි. ආදරය කරන්න සිටින මීන ලග්න දරුවනි ඇත්තෙන්ම මුළු ජීවිතයම කඩා බිඳ නොගෙන ඔබේ ජීවිත ආදර බැඳීම්වලින් වළකින්න. රැකියා කරන අයට විශේෂයෙන්ම කියන්නේ රැකියාව මොනම අයුරින් හෝ සාර්ථක කර ගන්න. මිල මුදල් වැඩිපුර නොලැබෙන්නට පුළුවනි. හැබැයි ණය වෙන්නට නම් උත්සාහ නොකරන්න.

විදේශගත අයට කියන්නේ ඔබ කිසිම දෙයක් ලොකුවට හිතන්නට උත්සාහ නොකරන්න. මන්ද එය එසේ නොවුණොත් ඔබ නොදැනීම අමාරුවේ වැටෙන්න පුළුවනි. හදිසි අනතුරුවලින් ලෙඩ රෝගවලින්, මිල මුදල්වලින්, මානසික සුවය නැති කමින් සේවය කරන ස්ථානයේ ප්‍රධානීන්ගේ ගැරවිලිවලින් ප්‍රවේම් වී තම රාජකාරිය පමණක් කරන්නට උත්සාහ ගන්න. හැම විට ම ඔබ සංසුන්ව ඔබ ගැන පමණක් සිතා ජීවත් වන්නට උත්සාහ ගන්න. අන් අයට මුදල් ණයට දීමටත් ගැනීමටත් නොයන්න. විෂ්ණු දෙවියන්ට භාරයක් වෙන්න. ලබන්නා වූ නව වසර වාසනාවන්ත වසරක් වේවා!

නාඩි ජ්‍යෙතිෂයට අනුව නව වසර ඔබේ ලග්නයට කොහොමද?

සම්මානලාභී මුළු දිවයිනටම සාම විනිසුරු, නාඩි ජ්‍යොතිෂවේදිනී, වාස්තු විද්‍යා, සෙත් කවි රචක
ඉවෝන් දිසානායක
0715 723 434- 0777 901702

advertistmentadvertistment
advertistmentadvertistment