නාඩු – 220 යි, සම්බා – 230 යි කීරි සම්බා – 260 යි – සහල්වලට උපරිම මිලක්

411

නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කරමින්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

2022/05/02 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කළ අංක 2278/02 නියෝග අංක 82 යටතේ වූ ගැසට්පත්‍රයට අනුව උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට තවදුරටත් දිවයින පුරා වැටලීම් සිදුකරන බව එම අධිකාරිය පවසයි.

ඒ සම්බන්ධයෙන් වන නඩු පැවරීමකදී වරදකරුවන පුද්ගලයකුට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව පළමු වරද සම්බන්ධයෙන් තනි පුද්ගල ව්‍යාපාරයක් සඳහා රුපියල් ලක්‍ෂයේ සිට රුපියල් ලක්‍ෂ පහ දක්වා දඩ මුදලක් හෝ මාස 6 ක සිරදඬුවමක් හෝ ඉහත දඩ මුදල හා සිරදඬුවම යන දෙකම නියම කිරීමට අධිකරණයට හැකියාව ඇත.

එමෙන්ම පෞද්ගලික සමාගමකට අවම දඩය රුපියල් ලක්‍ෂ පහේ සිට උපරිමය රුපියල් මිලියන පහ දක්වා දඩ මුදලක් නියම කිරීමට අධිකරණයට හැකියාව ඇත.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

මගින් දිවයින පුරා සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වැටලීම් 12 ක් සිදුකර වෙළෙඳුන් 12 දෙනෙකු සිය භාරයට ගෙන තිබේ.

එම වැටලීම්වලින් දැනටමත් වැටලීම් 3 ක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු පැවරීම් සිදුකර ඇති අතර ඉන් නඩු 2 ක් සඳහා රුපියල් ලක්‍ෂය හා රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ දඩ මුදල් නියම කර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment