සැලසුම් කර තිබුණේ මාව මරන්නයි!

202

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

පිස්තෝලයක් මගේ පැත්තට හරවා විජේවීරට, විජය කුමාරතුංගට වුණ දේ මතකද කියා ඇහුවා
නාන්න දුන්නේ කොමඩ් එකේ බිඩේ ෂවර්එක: කෑවේ බිමදාපු යකඩ තහඩුවක
වෙරළබඩ නේවාසිකාගාරයට ගෙනගොස් රෙදිවලින් ඔතලා කළුවර කාමරවලට දැම්මා….
නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනට ගෙනිහින්

සර් අදාළ තැනට ඇවිත් ඉන්නේ මොකද කරන්නේ කියා ඇහුවා….
අපිව හොර රහසෙන් ගෙනයද්දී පොලිසියේ විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා….

සැලසුම් කරලා තිබුණේ මාව මෙහෙම නිදහස් කරන්න නොවෙයි. හැකිනම් ඝාතනය කරන්නයි. මර්දනය ඉදිරියේ ජනතාව හිස නමන්නේ නැතිව අඛණ්ඩව හිඳීම හමුවේ ඔවුන්ට අපිව නිදහස් කරන්න සිද්ධ වුණා…’ යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඊයේ (2 වැනිදා) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

පෙබරවාරි 4 වැනිදා විරෝධතාවක් ප්‍රකාශයට පත්කර ඇති බවත්, සියලුමදෙනා 4 වැනිදා කොළඹට පැමිණෙන ලෙසත් කොළඹට ඒමට නොහැකි අය තම ප්‍රදේශයේ ළඟම හන්දියට කළු කොඩියක් රැගෙන පැමිණ විරෝධය පළ කරන ලෙසත් වසන්ත මුදලිගේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙහිදී තවදුරටත් කතා කළ වසන්ත මුදලිගේ මෙසේද කියා සිටියේය.

මාව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයෙන්. වරෙන්තුවකට කියලා මාව අත්අඩංගුවට අරගෙන මාව අරගෙන යනවා පෑලියගොඩ පොලිසියට. කිසිම පැහැදිලි කිරීමක් නැතුව පොලිසිය ඇතුළේ හංගලා වගේ තියලා පහුවදා කව්රුත් අවදි වෙන්න කලින් සිවිල්පිට වාහනයක දාගෙන රෙද්දකින් ඔතලා අරන් යනවා එඬේරමුල්ල පොලිසියට. එඬේරමුල්ල පොලිසියට යනකොට එඬේරමුල්ල පොලිසියේ හිටපු සියලු සැකකරුවෝ අයින් කරලා අපිව විතරක් ගේන නිසා අමුතු විදියකට අරන් යනවා. එඬේරමුල්ල පොලිසියට අරන් ගිහින් එහිදී පිස්තෝලයක් මගේ පැත්තට හරවලා විජේවීරට වුණු දේ උඹට මතකද, විජය කුමාරතුංගට වුණු දේ උඹට මතකද? ඒ නිසා උඹටත් ඒ ටිකමයි අපිට කරන්න ඕනකම තියෙන්නේ. හැබැයි මේ තත්ත්වය තුළ උඹව ඝාතනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන් කියලා. එහි නිලධාරියෙක් කිව්වා. එහෙම කියලා ඉවරවෙලා මරනවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කළා. උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව ප්‍රශ්න කිරීම් කරන්නේ නැතුව කොහොමවත් අදාළ නැති පොලිසියක් ඇතුළේ තියාගත්තා. එතනින් එහාට අපිව වාහනවල දාගෙන කව්රුත් දන්නේ නැති විදියට වෙරළබඩ පොලිසිය පැත්තේ තියෙන නේවාසිකාගාරයට අරගෙන ගිහිල්ලා පොලිස් නේවාසිකාගාරයේ බිම්මහලේ තියෙන කළුවර කාමරවලට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැතුව රෙදිවලින් ඔතලා අපිව පැය ගාණක් තියනවා. අපි මේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණාවේදී ජනතාව මේ දේවල් දැනගන්න ඕන නිසයි.

සැලසුම් කර තිබුණේ මාව මරන්නයි!

දවස් ගානක් මෙහෙම තර්ජනය කරලා තර්ජනය කරලා මොකද කරන්නේ. අපිට නීතිඥවරයෙක් හම්බවෙන්න බැරි විදියට, සිවිල් සංවිධාන නියෝජිතයෙක් හම්බවෙන්න බැරි විදියට, මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙක් හම්බවෙන්න බැරි විදියට ඒ අය අපිව බලන්න එනකොට අපිව කොහේ හරි අරන් යනවා.

අපිව තව දවසක් වාහනයක දාගෙන නවගමුවේ දේවාලය පහළ ගඟ අයිනේ පාළු පැත්තකට අරන් යනවා. ඒ ආපු නිලධාරියෙක් කෝල් එකක් අරගෙන කාටද කියනවා සර්… අපි අදාළ තැනට ඇවිත් ඉන්නේ මොකද කරන්න ඕනෙ කියලා.

ඒ වෙලාවේ නවගමුව දේවාලයේ ආරක්ෂාවට හිටිය පොලිස් නිලධාරියෙක් එනවා. අන්න අරූ එනවා කියලා ඒ නිලධාරියා තව නිලධාරියකුට කිව්වා. ඔහුව නවත්වන්න කියලත් කිව්වා.

මධුෂ්ව ඝාතනය කළ හැටිත් කිව්වා. ඒ වෙලාවේ මේ අය මාව ඝාතනය කරන්නයි සැලසුම් කළේ.

මාව අරගෙන ගියේ විමර්ශන ස්ථානවලටද? මේවට නිශ්චිත උත්තරයක් පොලිසිය දෙන්න ඕනේ. මේක පොලිසිය සැලසුම් සහගතව කරපු දෙයක්.

ඊට පස්සේ අපිව ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන්නා.

හොර රහසේ අපිව අරන් යද්දී පොලිසියේ ඉන්න විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම නිදහස් වුණේ.

හැබැයි තාම මර්දනය නතර කරලා නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්. නිදහස් කළා කියලා අපේ අරගලය ඉවර නැහැ. අරගලය අඛණ්ඩව යනවා. ඔවුන් ත්‍රස්තවාදය වපුරලා අපිට ලේබල් ගහනවා.

ආණ්ඩු කොහොම පත් වුණත් අපේ ප්‍රශ්නය එහෙමමයි. එහෙම නැහැයි කියනවානම් ආපහු හැරිලා බලන්න.

අපිට කරපු පීඩාවට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනවා.

අඩි හතරයි හතේ යකඩ කූඩුවක අපිව දාලා තිබුණේ. අඳුරුම අඳුරුයි, කිසිම එලියක් එන්නේ නැහැ. නාන්න දුන්නේ කොමඩ් එකේ බිඩේ ෂවර් එකෙන්. කෑම කෑවේ බිම දාපු යකඩ තහඩුවක දාගෙන. අපිව අසනීප කරන්නමයි එහෙම කළේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සිරිමන්ත රත්නසේකර, ඡායාරූප – සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment