නාමල්ගේ නම විකුණා මුදල් ගරලා

463

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු ලෙස අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටිමින් මත්තලින් දකුණු කොරියාවට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු පිළිබදව පැමිණිළි 12ක් ලැබී ඇතැයි ලූණුගම්වෙහෙර පොලිසිය කියයි.
 
 මෙලෙස ලූණුගම්වෙහෙර පොලිසියට පැමිණිළි ඉදිරිපත් කර ඇත්තේ මාතලේ, ආණමඩුව, දොඩම්ගස්ලන්ද, කුරුණෑගල හා හීරියගොල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් 12 දෙනෙකි.
 
 සැකකරු අන්තර්ජාලය ඔස්සේ අදාළ පැමිණිලිකරුවන් සමග සම්බන්ධ වී ඇති අතර ඔහු හඳුන්වා දී ඇත්තේද කලක් කුවේට් රටේ සේවය කර දැනට කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක විසිනි. මෙම සැකකාර පුද්ගලයා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු බව පවසා කුරුණෑගල පදිංචි කාන්තාව හා එක්ව මෙම ජාවාරම සිදුකර තිබේ.
 
 සැකකරු එක් පුද්ගලයකුගෙන් රුපියල් 60,000 බැගින් රුපියල් 720,000ක මුදලක් මුලික අත්තිකාරම් ලෙස
 
 ගිණුමකට බැරකරවාගෙන ඇති අතර ඉතිරි මුදල ගුවන් තොටුපොලේදී ලබාදෙන ලෙස පැමිණිලිකරුවන්ට පවසා තිබේ. ඒ අනුව පැමිණිලිකරුවන් 12 දෙනා මීට දිනකිහිපයකට පෙර සැකකරුගේ ගිණුමට රුපියල් 60,000 බැගින් මුදල් බැර කර තිබේ. පසුව සැකකරු විසින් පැමිණිලි කරුවන් 12 දෙනාට දකුණු කොරියා යෑම සදහා 21 දින මත්තල ගුවන් තොටුපළට පැමිණෙන ලෙසත් තමන් තවත් කිහිප දෙනෙකු සමග මත්තල ගුවන් තොටුපළට පැමිණෙන බව අන්තර් ජාලය ඔස්සේ සම්බන්ධවී පවසා තිබේ.
 
 ඒ අනුව පැමිණිලිකරුවන් 12 දෙනා විදෙස්ගත වීම සඳහා 21 දින පෙරවරුවේ මත්තල ගුවන් තොටුපළට පැමිණි නමුත් අදාළ පුද්ගලයා ගුවන් තොටුපලට පැමිණ නැත. පසුව ඔහුගේ දුරකතනයට ඇමතුම් ගත්තත් එයද විසන්ධි කර තිබේ. පැයකට ආසන්න කාලයක් අදාළ සැකකාර පුද්ගලයා සම්බන්ධ කරගැනීමට නොහැවීම නිසා තමන් කිසියම් උගුලකට හසුව ඇති බව විදෙස් ගතවීමට පැමිණි අයට වැටහී තිබේ. ඒ අනුව විදෙස් ගතවීමට මත්තලට පැමිණි පුද්ගලයන් 12 දෙනා ලූණුගම්වෙහෙර පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ.
 
 සැකකාර පුද්ගලයා දැරණියගල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත් ඔහු පිළිබද වෙනත් විස්තරයක් නොදන්නා බවත් පැමිණිලි කරුවන් පොලිසියට දන්වා තිබේ. ඒ අනුව සිද්ධිය පිළිබදව තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය, සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ලූණුගම්වෙහෙර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක වික‍්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment