නාමල්ට කි‍්‍රකට් ගොඩදාන්න වුවමනාවක් නෑ…. නාමලුත් ෆේල්

685

කි‍්‍රකට් ඒජන්තයෝ තමයි නියම පිළිකාව

උපදේශකයන්ගෙන් කි‍්‍රකට්වලට වුණ දෙයක් නැහැ

පරිපාලනය වෙනස් නොකර කී‍්‍රඩකයන්ට බැනලා වැඩක් නැහැ

රටේ බොහෝ පිරිසක් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අදහන්නේ තවත් ආගමක් ලෙසයි. නමුත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තිබෙන්නේ පේ‍්‍රක්‍ෂකයන්ට සතුටු විය හැකි තැනක නොවෙන බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. වැලනොකැඩි අත්විඳීමට සිදුව ඇති පරාජයන් හමුවේ ක‍්‍රීඩකයෝ් සහ පේ‍්‍රක්‍ෂකයෝ ද හෙම්බත්ව සිටිති. මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව වර්තමානයේ ඇද වැටී ඇති තත්ත්වය පිළිබඳ විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ 1996 එක් දින ක‍්‍රිකට් ලෝක කුසලානය මවුබිමට දිනා දුන් නායකයා වන මෙරට ක‍්‍රිකට් වංශ කථාවේ සිය නාමය රන් අකුරින් සනිටුවහන් කර ඇති ටෙස්ට් හා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා මුණ ගැසුනේය. පහත පළ වන්නේ දිවයින ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – අප රට ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව පසුගිය පෙබරවාරි මස 17 වැනිදාට වසර 40ක් සපිරුණා. එය දිගු ඉතිහාසයක්. ඇත්තට ම ඒ දිගු ඉතිහාසය තුළ ගමන් කර ඇති මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩාව අද තිබෙන තත්ත්වය පිළිබඳව ඔබගේ අදහස් කෙසේද?

පිළිතුර – ඇත්තට ම ටෙස්ට් වරම් හිමිව වසර හතළිහක් සපිරුණත් ඊට පෙර ක‍්‍රීඩා කළ අපේ ක‍්‍රිඩකයන් තමයි අපට ඒ සඳහා පන්නරය ලබා දුන්නේ. ඒ ගැන සිහිපත් කළ යුතුමයි. ඒ කාලේ අපට රුපියල් දෙසීය පනහක දීමනාවක් ලැබුණේ. එකත් ලොකු ගාණක්. හැබැයි මං කිව්ව පැරැණි ක‍්‍රීඩකයෝ අතේ් මුදල් වියදම් කර ක‍්‍රිකට් ගැහුවේ. එතැනින් අපට ලැබුණු බැටන් එක, එක දිගට බොහෝ ලස්සනට ගලාගෙන ආවා. හැබැයි එය 2015 න් පස්සේ කැඩුණා. අපට තවම නැඟිට ගන්න බැරිවෙලා තිබෙන්නේ ඒ කඩාවැටීම තමයි. අපට දක්‍ෂ ක‍්‍රීඩකයෝ ඉන්නවා. නමුත් අපේ පරිපාලනය දුර්වලයි. ඔවුන් ඇවිත් ඉන්නේ මුදල් හම්බකර විනෝද වෙන්න මිස ක‍්‍රිකට් හදන්න නොවෙයි. මම මේක 2001 සිට කියනවා.

ප‍්‍රශ්නය – ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් රටට අත්කරදුන් දෑ ඉමහත්. ඔබගේ අදහස් ලබා නොගන්නේ කවුද? කොතැනද වරද?

පිළිතුර – මාව ක‍්‍රිකට්වලට සම්බන්ධ කරගන්න කවුරුත් කැමැති නැහැ.

ප‍්‍රශ්නය – මොකක්ද හේතුව?

පිළිතුර – මම ඇවිත් ක‍්‍රිකට්වලට දෙයක් කරාවි කියලා කට්ටියට බයක් තියෙනවානේ. සමහරු කුහකයි. ක‍්‍රීඩා ඇමැතිවරු කුහකයි. ඒ අය දාන්නේ ඒ අයට වාසි සහගත අය මිසක් ක‍්‍රිකට්වලට වැඩක් කරන අය නෙමෙයි. රටක් ෆේල් වෙනකොට ක‍්‍රීඩා ඇමැති ෆේල් වෙන එක අලූත් දෙයක් නොවෙයි. හොරු අල්ලනවා කියා ක‍්‍රීඩා ඇමැතිවරු එනවා. අන්තිමට හොරු ටික ක‍්‍රීඩා ඇමැතිව අල්ලනව.

ප‍්‍රශ්නය – ඇත්තට ම අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව මේ වනවිට පල්ලම් බැසගෙන යන එක හැම අතින්ම පෙනෙන්න තිබෙන කාරණයක්. මේ තත්ත්වය ගැන ඔබ ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා සමග කථා කළේ නැද්ද? එතුමාව මුණගැසුනේ නැද්ද?

පිළිතුර – මට කථා කර උදව් කරන්න කියලා කියලා තිබෙනවා. එච්චර තමයි. මට එක එක්නෙකා පස්සේ ගිහින් උදව් කරන්න ඕන නැහැ. ඇත්තට ම මේ තනතුරුවලට යන්න ඕන පරිණත පුද්ගලයන්. නාමල් ඇමැතිවරයාට එහෙම පරිණතකමක් නැහැ. ක‍්‍රිකට් පරිපාලනය කරන්නේ දූෂිතම කණ්ඩායමක්. ඒ පිරිස නාමල් ඇමැතිවරයාව අල්ලලා තිබෙනවා. එතැනින් ම පේනවා වෙන්නේ මොකක්ද කියලා.

ප‍්‍රශ්නය – නාමල් ඇමැතිතුමා මේ තනතුරුට තරුණ වැඩිද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. ක‍්‍රීඩා ඇමැතිකම අමාරු නැහැ. ක‍්‍රිකට් ඇමැතිකම තමයි අමාරු. ක‍්‍රිකට් ඇමැතිකම අනුව තමයි ක‍්‍රීඩා ඇමැති හැදෙනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ.

ප‍්‍රශ්නය – ඔබගේ නායකත්වය යටතේ කණ්ඩායමේ අනෙක් සෙසු ක‍්‍රීඩකයන් ගොනුව කටයුතු කළා. මේ වනවිට කණ්ඩායමේ නායකත්වයට සෙසු ක‍්‍රීඩකයන් හසුරුවන්න පුළුවන් වෙලා තිබෙනවාද?

පිළිතුර – මෙහෙම දෙයක් තිබෙනවා. නායකත්වය ලබා දුන්නට ඒ සඳහා අවස්ථාව සකසා දෙන්නේ නැහැනේ. පසුගිය කාලයේ නායකයෝ කී දෙනෙක් මාරු කළා ද එහෙම වුණහම මොකක්ද කළ යුත්තේ කියලා නායකයෝ දන්නේ නැහැ. මේවා ගැන තේරුම් ගන්න ක‍්‍රීඩා ඇමැතිවරයෙක් සහ ක‍්‍රීඩා පරිපාලනයක් නැති කොට අන්තිමට බැනුම් අහන්නේ ක‍්‍රීඩකයන් සහ පුහුණුකරුවන්. ඕනම දේකට සැලසුමක් තියෙන්න ඕනෑ. 1996 එක්දින ලෝක ශූරතාව අප දින්නේ නිකම් නෙමෙයිනේ. අපට හොඳ වසර ගණනාවක සැලසුමක් තිබුණා. ජ්‍යෙෂ්ඨ ක‍්‍රිඩකයන්ගේ තේරීම් කමිටුවේ දායකත්වය කොතරම් වැදගත් ද? දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රංජන් මඩුගල්ල, සිදත් වෙත්තමුනි වගේ හොඳම අය එදා තේරීම් කමිටුවේ හිටියේ. ඒ නිසා මට හරි ලේසි වුණා. ඔවුන් මට කන් දුන්නා.

ප‍්‍රශ්නය – දැන් මේ වනවිට අදහස් දෙපසට හුවමාරු නොවන බවක් පේනවා නේද?

පිළිතුර – ඔව්… මට එහෙම හිතෙනවා. පිටරටින් ටොම් මුඩි ගෙනැවිත් දවස් සීයක් වැඩ කරන්න කියලා ඩොලර් ලක්‍ෂයක් ගෙවනවා. ඔහු වැඩ කරනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔහුගේ ලොකුම අවශ්‍යතාව වෙන එකක්. ඔහු ඔස්ටේ‍්‍රලියාවේ බිග් බැෂ් එකේ ඉන්නවා. ඉන්දියාවේ අයි. පී. එල් ඉන්නවා. ඔහු හැම තැනම ඉන්නවා. ඔහුට ලංකාවේ ක‍්‍රිකට් ගැන ලොකු වුවමනාවක් නැහැ.

ප‍්‍රශ්නය – අප රටේ සම්පත් තිබියදී පාලක මණ්ඩලය ඒ ගැන නොසලකා හරින්නේ ඇයි?

පිළිතුර – අපේ දක්‍ෂයන්ගෙන් වැඩක් ගන්නේ නැහැ. මම වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ දේ කියන්න ඕනෑ. අපි යටත් විජිතයක්ව තිබුණනේ. ඒ නිසා සමහරුන්ගේ ලේවල එම යටත් විජිත මානසිකත්වය තිබෙනවා. සුද්දාට ඔළුව නමාගෙන ඉන්න ගොඩක් අය කැමැතියි. ඇත්තට ම අපේ ක‍්‍රිකට් පරිපාලනයේ ඉන්න අයට ක‍්‍රිකට් හදන්න වුවමනාවක් නැහැ. බලන්න විධායක කමිටුවේ කී දෙනෙක් තරග බලන්න යනවාද.? ගොඩක් අයට ඡන්දය දෙනවට අල්ලස් දෙන්නේ එහෙමයි. මම දන්න මහත්තයෙක් ඔස්ටේ‍්‍රලිවාවේ ඉන්නේ. ඔහු විධායක කමිටුවේ ප‍්‍රධාන තනතුරක් දරන්නෙක්. ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සමග සාකච්ඡා කරන්න තමයි පත්වීම ලබා දී තිබෙන්නේ. මොන බොරුවක්ද මේ.

තව දෙයක් තමයි උපදේශක තනතුරට වගකීමක් නැහැනේ. පුහුණුකරුවන්ට වගකීමක් තිබෙනවා. මහේල ලෝකෙ ඉන්න හොඳම පුහුණුකරුවෙක්. මම හිටියනම් බෙල්ලෙන් ඇදගෙන හරි ඇවිත් කියනවා මහේල මේක කරන්න කියලා. ඔහු ඒ හොඳ තැනට ගියේ ලංකාවේ ක‍්‍රිකට් නිසා. මහේල, සංගා කෝචින් කරනවා. ඇයි ඒ අයට ඇවිත් වගකීමක් ගෙන දෙයක් කරන්න බැරි. මහේල හොඳ ක‍්‍රිකට් මොළයක්. මම ඔහුව එස්. එස්. සී නායකත්වයට පොඩි කාලේම නම් කළා. අපි හැදුවේ එස්. එස්. සී නායකයෙක් නෙමෙයි. ජාත්‍යන්තර නායකයෙක්.

ප‍්‍රශ්නය – අප රටේ පාසල් ක‍්‍රිකට් තිබෙන්නේ හොඳ නැතනකද?

පිළිතුර – අන්තිම නරක තැනක පරිපාලනය සහ ඡන්ද ක‍්‍රමය නිසා පාසල් ක‍්‍රිකට් නැත්තටම නැති කර තිබෙනවා. ඉස්සර ජාතික කණ්ඩායමට පුහුණු සංචිතවලට පාසල්වලින් ක‍්‍රීඩකයන් රැසක් එනවා. 1982 දී අපි පළමු ටෙස්ට් තරගයට යනවිට පාසල් ක‍්‍රීඩකයන් හතක් හටියා. අද එක්නෙකෙන්වත් නැහැ. මේ ප‍්‍රශ්නයට හේතු හොයන්න ඕනෑ. ඡන්ද ගන්න ක‍්‍රීඩා සමාජවලට වියදම් කරනවා. හැබැයි පාසල් ක‍්‍රිකට් එකේ ඡන්ද නැති නිසා එයට වියදම් කරන්නේ නැහැ.

නාමල්ට කි‍්‍රකට් ගොඩදාන්න වුවමනාවක් නෑ…. නාමලුත් ෆේල්

ප‍්‍රශ්නය – කි‍්‍රකට් ක‍්‍රිඩාව තුළ ඇතිවී තිබෙන මාෆියාව කඩන්න බැරිද?

පිළිතුර – උසාවි තීන්දුවකින් හැර එය කරන්න බැහැ. මොකද ඡන්ද තියෙන මිනිසුන්ව එක පාර්ශ්වයක් අල්ලලා ඉවරයි. ඒ ඡන්ද ගන්නේ පගාවෙන්. ඡන්ද 140ක් ගන්නේ කොහොම ද මමත් ඡන්දය ඉල්ලලා තිබෙනවා. මට ඡන්ද හතක් ආවා. මට උප සභාපති කෙනෙක් වෙන්න ඡන්දය දෙන්නේ නැහැ. මොකද මම පගාව, හොර ටුවර් දෙන්නේ නැති නිසා. ක‍්‍රිකට් හදන්න අපිට ඉඩ දෙන්න නැහැ. මේවා වෙනස් කරන්න කොන්ද කෙලින් තියෙන ක‍්‍රීඩා ඇමැතිවරයෙක් ඕනෑ.

ප‍්‍රශ්නය – නාමල් රාජපක්‍ෂ ක‍්‍රීඩා ඇමැතිවරයාට එය කරන්න නොහැකි ද?

පිළිතුර – බැහැ… අපෝ බැහැ. ඔහුත් අහුවෙලා ඉන්නේ. ක‍්‍රීඩා ඇමැතිතුමාගේ පවුලේ සමහර අය ක‍්‍රිකට් ආයතනවල ඉන්නවා. ඒ වගේම ක‍්‍රිකට් ආයතන සමග ව්‍යාපාර කරන අය ඉන්නවා. ඒවා කළත් කමක් නැහැ. හරි දේ කරනවා නම්. නාමල්ට ක‍්‍රිකට්
ගොඩගන්න වුවමනාවක් නැහැ.නාමලුත් ෆේල්.

ප‍්‍රශ්නය – හොඳයි. ඇතැම් වෛද්‍ය පරීක්‍ෂණ හේතුවෙන් ඇතැම් ක‍්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමට එක්වීමට නොහැකිවීම ගැන ලොකු කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ කාලයේ ඔයවගේ පරීක්‍ෂණ තිබුණා නම් ඔබට කණ්ඩායමට ඇතුළත් වෙන්න බැරිවෙන්න තිබුණා.

පිළිතුර – අපෙත් අන්තිම කාලේ එය බැලූවා. මට දවසක් බැට් කරන්න පුළුවන්. අද අපේ පිතිකරුවන්ට දවසක් බැට් කරන්න පුළුවන්ද යන්න ප‍්‍රශ්නයක්. එදා චමින්ද වාස්, රවීන්‍ද්‍ර, ප්‍රමෝද්‍ය එක දිගට පැය එකහමාරක් බෝල් කරනවා. අද අපේ පන්දු යවන්නන්ට එහෙම පුළුවන්ද? අපේ ඇතැම් පන්දු යවන්නන්ට බෝලින් ෆිට්නස් නැහැ. පිතිකරුවන්ට බැටින් ෆිට්නස් නැහැ. හැබැයි ඇඟ ලස්සනයි. ෆිට්නස් ලෙවල් තිබිලා බැට් කරන්න බැරිනම් ඇති වැඬේ මොකක්ද? එහෙමනම් බැට් එකක් දීලා මොඩල්ස්ලා ටිකක් ටීම් එකට දාන්න ඕනා.

ප‍්‍රශ්නය – භානුක රාජපක්‍ෂ ජාතික කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩකයෙක් ද?

පිළිතුර – මම ඔහුගේ ඇතුළ තත්ත්වය ගැන දන්නේ නැහැ. හැබැයි ඔහු දක්‍ෂ ක‍්‍රීඩකයෙක්. භානුකට තිබෙන ප‍්‍රශ්නය හඳුනාගන්න ඕනෑ. භානුකගේ අඩුපාඩුවක් තිබේ නම් ඔහුට තේරුම් කර දෙන්න පරිපාලනය දැනගන්න ඕනෑ. භානුකත් අපේ පුතාගේ වයසේ දරුවෙක්. කතා කරලා හදාගන්න පුළුවන් අය ඉන්නවා. බැරි අය ඉන්නවා. ඒ නිසා හරි දේ බලලා කරන්න ඕනෑ.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් කණ්ඩායමේ විනය ගැන ඔබගේ අදහස කෙසේද?

පිළිතුර – රටේ විනය පිරිහිලා තිබියදී එතැනත් ඉතින් විනය පිරිහෙන එක අහන්නත් දෙයක් ද? මිලියන විසිදෙකක ජනතාවක් නියෝජනය කරන බව ක‍්‍රීඩකයන් සිහියේ තබාගත යුතුයි.

ප‍්‍රශ්නය – අද පරාජයට පත්වීම ක‍්‍රීඩකයන්ට ප‍්‍රශ්නයක් නැති පාටයි. පරාජය ලැජ්ජාවක් නෙමෙයි. ඒ නිසා පරාජය වීම ප‍්‍රශ්නයක් වෙලා නැහැ.

පිළිතුර – අද ටීම් එකත් සමග යන කළමනාකරුවන් බලන්න. ඡන්දය දෙන කෙනෙක් තමයි කළමනාකරු වෙන්නේ. ඔවුන්ගේ දක්‍ෂකම් බලන්නේ නැහැ. හැම තැනම ප‍්‍රශ්න. අපේ රටේ සංස්කෘතිය එදා ක‍්‍රිකට් තුළ තිබුණා. අද කැමැති සුද්දා කළ දේ යළි කරන්න. අපි මේවා කියනකොට ඕල්ඞ් ෆැෂන් කියනවා. ඔව් ඕල්ඞ් ෆැෂන් වෙන්න පුළුවන්. හැබැයි අපි මේ පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. අපිටත් පුළුවන් ක‍්‍රිකට් විකුණලා සල්ලි හම්බ කරන්න. නමුත් අපි මේ රටට ආදරය කරන මිනිස්සු.

ප‍්‍රශ්නය – නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් යන ක‍්‍රීඩකයන්ගේ විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් ඔවුන්ට ක‍්‍රිකට් තහනමක් පනවා තිබුණා. නමුත් යම් කාලයක් ඇවෑමෙන් ඔවුන් නැවතත් ජාතික කණ්ඩාමට එක්වෙලා. ඔවුන්ගේ පැමිණීමත් සමග ජාතික කණ්ඩායමේ ජයග‍්‍රාහී ලීලාව ආපස්සට ගොස් ඇතැයි ඇතැමෙක් සඳහන් කරන කාරණයක්. ඒ ගැන ඔබගේ අදහස කෙසේද?

පිළිතුර – එය මට හරියට ම කියන්න බැහැ. හැබැයි ඒ ළමයි පළමුවරට නෙමෙයි ඔය වරදවල්වලට ලක් වුණේ. මුල් වතාවේදීම හරි අවවාද හෝ දඬුවම් දුන්නා නම් මේවා වෙන්නේ නැහැ. කවුරුත් දන්නේ නැති වුණාට මගේ කාලයේ මං ක‍්‍රීඩකයන් දෙදෙනෙක්ව ගෙදර යවලා තිබෙනවා. ඇත්තට ම කළමානාකරුවන් මොනවද කරන්නේ. ඔවුන් ටුවර් යන්නේ ලැබෙන ගාණ අරගෙන, කාල බීලා විනෝදවෙලා එන්න. මේ ළමයි එතැනට යොමු කළේ කවුද?

ප‍්‍රශ්නය – ඔවුන් වෙත දුන් දඬුවම ප‍්‍රමාණවත් ද?

පිළිතුර – මම හිතනවා දඬුවම ඇති කියලා. දඬුවම අඩු කළ එක ගැනත් මට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් ඔවුන් නැවත පුනරුත්තාපනය වෙලා ද යන්න ප‍්‍රශ්නයක්. ඔය විනය ප‍්‍රශ්න තිබූ ක‍්‍රීඩකයන් හිටියේ ක‍්‍රිකට් පරිපාලනයේ සභාපතිවරයා, තැන්නම් ලේකම්වරයා හිටපු ක‍්‍රීඩා සමාජවල. ඒ නිසා ලොකු ප‍්‍රශ්න නැහැ. හැබැයි අනිත් අයට වුණොත් ලොකු ප‍්‍රශ්නයක්. එක නරක ළමයෙක් කණ්ඩායමට ආවොත් මුළු කණ්ඩායම නරක් වෙනවා.

ප‍්‍රශ්නය – අප රටේ වර්තමාන ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සුපිරි ක‍්‍රීඩකයන් බිහිවන්නේ නැති තරම්. ඒ කාලේ අති දක්‍ෂ ක‍්‍රීඩකයන් අපට හිටියා. දැන් එවැනි ක‍්‍රීඩකයන් හැදෙන්නේ නැත්තේ ඇයි?

පිළිතුර – එහෙම ක‍්‍රීඩකයන් හැදෙන්න එවැනි ක‍්‍රීඩකයන් හදන්නේ නැහැනේ. හැමෝම හදන්නේ තමන්ගේ ලකුණු ටික ගහගන්න. අද ක‍්‍රිකට් කියන්නේ මම විතරයි. අපේ කාලේ ක‍්‍රිකට් කියන්නේ අපි.

ප‍්‍රශ්නය – ඇතැම් ක‍්‍රීඩකයන් තම තමන්ගේ ආගම් අනුව පිටිය මැද යම් යම් ක‍්‍රියාකාරකම් හි නිරත වෙනවා. ඇතැම් ක‍්‍රීඩකයන් හතරේ පහරක් එල්ල කළත් යම් යම් ඇදහීම් නිරූපණය කරනවා. සාමාන්‍යයෙන් එවැන්නක් සිදුවන්නේ ලකුණු පනහක්, සියයක් දවාලීමක් වැනි සුවිශේෂී තත්ත්වයන් තුළ පමණයි. මෙවැනි තත්ත්වයන් හටගෙන තිබෙන්නේ ඇයි? එය ආත්ම ශක්තියක් නොමැති කමද?

පිළිතුර – ඔය සමහර ඇදහීම් මැදට ගිහින් කරන්න ඕන නැහැනේ. මම සිංහල බෞද්ධයෙක්. තරගයට පෙර අපි අපේ ආගම සිහිකරනවා. අපි පන්සල් යනවා. ඔය දේවල් පිටිය මැදට ඇවිත් අපි කරන්නේ නැහැ. ඔය දේවල් ප‍්‍රචාරක ක‍්‍රියාකාරකම්නේ. අපේ කාලේ ඔහොම දේවල් වුණේ නැහැ. බෝලෙන් බෝලෙට දෙයිහාමුදුරුවෝ කෙනෙක් ක‍්‍රිකට් ගස්සවන්නේ කියලා කවුරු හරි හිතනවා නම් එයා ක‍්‍රිකට් ගහන්න ඕන නැහැ. පන්සලකට පල්ලියකට ගිහින් බණක් භාවනාවක් ඇදහිල්ලක් කරන් ඉන්නවනේ. එහෙනම් සමහරු ප‍්‍රචාරණ කටයුතු සූක්‍ෂම ලෙස සිදුකරනවා. මම ක‍්‍රිකට් ගහන කාලයෙත් එහෙම බලපෑම් ආවා. නමුත් අපි ඒකට යට වුණේ නැහැ.

අද ක‍්‍රිකට් විනාශ කරන අනෙක් පිරිස තමයි ඒජන්තවරු. අද ඔවුන් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අල්ලගෙන ක‍්‍රීඩකයන් ප‍්‍රමෝට් කරනවා.

මම කි‍්‍රකට් පරිපාලනයේ හිටියා නම් කියන්නේ ෆේස් බුක් එකෙන් ක‍්‍රිකට් ගහන්න ඕන නම් ගෙදර ඉන්න කියලා.

ගහනව නම් හරියට ක‍්‍රිකට් ගහන්න ඕනෑ. මම පේ‍්‍රක්‍ෂකයන්ගෙනුත් ඉල්ලීමක් කරනවා ක‍්‍රීඩකයන්ට නිදහසේ ක‍්‍රිකට් ගහන්න ඉඩ දෙන්න කියලා. ලෝක කුසලාන දිනලා, තරගාවලි දිනලා, ඕන සමාජ මාධ්‍යයක් පරිහණය කළාට කමක් නැහැ. නමුත් මේ අය කරන්නේ සමාජ මාධ්‍ය යොදාගෙන ජනප‍්‍රිය වෙලා ක‍්‍රිකට් ගහන්න යන එකයි.

ප‍්‍රශ්නය – අප රටේ ක‍්‍රිකට් ‘බෝන් එගේන්’ යන ආගමික මතවාදයත් වසාගෙන තිබෙන බව සඳහන් වෙනවා. ඒ ගැන ඔබ දැනුවත් ද?

පිළිතුර – ඒ ගැන මගේ දැනුවත්භාවය අඩුයි. හැබැයි ඊට වඩා දෙයක් මම දන්නවා. අපේ කාලේ වාස්, මුරලි පවා පිරිත් නූල් ගැටගැහුවා. ඒ ඒ අයගේ ආගමික ඇදහිලිවලට කිසි ප‍්‍රශ්නයක් නැහැ. නමුත් අද බලයට එන අය ඒ තත්ත්වයන් වෙනස් කරනවා. ඔවුන් එක එක අය ලවා භාවිත කරවනවා. ඒක රටෙත් වුණා. ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙත් වුණා. අම්මා තාත්තා වැරදි නම් ළමයි හැදෙන්නේ නැහැනේ. අද ක‍්‍රිකට්වලට සිදුව තිබෙන්නේ එයයි.

ප‍්‍රශ්නය – ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළට දේශපාලනය රිංගලා.ආගමික කල්ලි කණ්ඩායම් රිංගලා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මේ කොහේද යන්නේ?

පිළිතුර – ඒක පටන් ගත්තේ ඒජන්තවරු. මැනේජස්ලා කියලා ආවේ ඔවුන්. මැනේජස්ලාගේ ක‍්‍රීඩකයෝ ඒ අය ප‍්‍රවර්ධනය කරනවා. ඊට පසු තේරීම් කමිටුවට, ක‍්‍රිකට් පරිපාලනයට බලපෑම් කරනවා. එතකොට අර ක‍්‍රීඩකයා දන්නවා මම හරියට ගැහුවේ නැතත් මට ටීම් එකට එන්න ලෙහෙසි බව. ක‍්‍රීඩකයෝ ‘කට්ට’ කන්නේ නැහැ. ඒජන්තවරු ‘ශෝට් කට්’ හැදුවා. ඒකේ විපාක තමයි අපි මේ අත්විඳින්නේ. අද දක්‍ෂ ක‍්‍රීඩකයෝ ජාතික කණ්ඩායම නියෝජනය කරනවා තමයි. ඒත් හොඳම කණ්ඩායම ගහනවද යන්න මට ප‍්‍රශ්නයක් තිබෙනවා.

ප‍්‍රශ්නය – අප ක‍්‍රිකට් පරිපාලනයට නිරන්තරයෙන් දෝෂාරෝපණය කරනවා. නමුත් වර්තමානයේ ක‍්‍රීඩාවේ ඇති අධිවේගී රටාවන් ක‍්‍රිකට් පරිහානියට හේතුවක් නොවේද? අයි. පී. එල්, බිග් බැෂ්, කැරිබියන් ප‍්‍රිමියර් ලීග්, එල්. පී. එල්. ආදී වශයෙන් විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලි බොහෝ රටවල ක‍්‍රියාත්මකයි. මේ පසු පස ක‍්‍රීඩකයන් දිවයෑම ගැටලූවක් නොවේද?

පිළිතුර – අයි.පී.එල්. පටන් ගත්ත මුල් කාලේ අපේ ක‍්‍රීඩකයන් කිහිපදෙනෙක් එංගලන්ත සංචාරය පසෙක දමා එහි ගියා. එදා තමයි මම ජීවිතයේ වඩාත්ම දුක්වූ දවස. අපේ ක‍්‍රිකට් යන විදිහ හොඳ නැති බව මම එදාම කිව්වා. ඉන්දියාව සූදානම් වෙන්නේ ඊළඟ ලෝක කුසලානයට. ඔවුන් හොඳටම හැදිලා. ඒ අයගේ පොඩි ක‍්‍රීඩකයන් පවා ක‍්‍රීඩා කරන්නේ ජාත්‍යන්තර ක‍්‍රීඩකයන් සමග. ඉන්දියාව සල්ලි වියදම් කරලා වැඬේ කරගන්නවා. අපි එල්.පී.එල් කියලා නැති හම්පඩ ක‍්‍රීඩකයෝ ටිකක් ගෙනැත් තරගාවලි පවත්වනවා. අරවින්දලා, සනත්ලා, වාස්ලා සතියක් ටේ‍්‍රනින් කළා නම් ඔයිට වඩා හොඳට ගහනවා. මේ ක‍්‍රිකට් විනාශ කරන්නේ පි‍්‍රිමියර් ලීග් තරගාවලි.

ප‍්‍රශ්නය – ඔබ මීට පෙර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවෝ ගැන කතා කළා. ඔවුන් ක‍්‍රීඩාව ව්‍යාපාරයක් කිරීම ද මේ කරන්නේ.

පිළිතුර – ඔව්. පැහැදිලිවම. ඔවුන් තනිකරම ව්‍යාපාරයක් කරන්නේ. බලන්න වනිඳු හසරංගට අයි.පී.එල් ක‍්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන 1.4ක් ලැබෙනවා. නිකන් හිටපු මැනේජර්ට සියයට දහයක් ලැබෙනවා. නිකමට හිතන්න ඔවුන් මේවා අතහැර යයි ද? පිළිකා හැදෙන දැන්වීම් වුණත් කමක් නෑ මැනේජර් කියනවා මගේ කෙනා දෙන්නම් කියලා. අර ළමයින්ට තේරුමක් නැහැ. ඒ අයත් පෙනී සිටියා. මේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ මැනේජර්ලා කියන්නේ පිළිකාවක්. අපේ භාෂාවෙන් කියනව නම් නිකන් ඉන්න ‘හාල් පාරුවෙක්’ අපේ දක්‍ෂ ක‍්‍රීඩකයන් විකුණා සල්ලි හොයනවා. මේ අය ගැන මම දිගට ම කිව්වා. නමුත් මුකුත් නැහැ. ඇමැතිට වඩා මැනේජස්ලා බලවත්. ඒ අය අතේ තමයි සල්ලි තිබෙන්නේ. ඒ අය තමයි ගේම් එක. ගහන්නේ.

ප‍්‍රශ්නය – අපේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ ඉදිරියට අරවින්ද, සනත්, මුරලි වැනි අය බිහිවේවිද?

පිළිතුර – දුර්වල පරිපාලනයක් තුළ එය සැක සහිතයි. ඇමැතිවරයාගේ දැක්මක් නැති ගමනක් තුළ බොහෝ දුරට අපි බිම ඇනගන්නවා. හරි පරිපාලනයක් නොමැතිව මුරලි, සනත්, අරවින්ද වැනි ක‍්‍රීඩකයන් ගොඩනැඟීම සිහිනයක්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment