නාමල් රට යනවානම් උසාවියෙන් අවසර ගන්නවා

394

ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විදේශ ගතවීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බැවින් රුපියල් මිලියන 30ක් අයුතු ලෙස ඉපැයීමට අදාළ නඩුව කෙටි දිනයකින් කැඳවීමට දින නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා ඊයේ (05දා) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

රුපියල් මිලියන 30ක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

එම නඩුවේ පළමුවන විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (05දා) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ රැුස්වීමකට සහභාගි වන නිසා ඔවුහු අධිකරණය හමුවට නොපැමිණෙන බවද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

සිය සේවාදායකයා විදේශ ගතවීමේ සැලසුමක් නොමැති බවත් යම් හෙයකින් එවැනි අවශ්‍යතාවක් ඇති වුවහොත් අධිකරණය දැනුවත් කර ඒ සඳහා අවසර ලබාගැනීමට පියවර ගන්නා බවත් පවසමින් ජනාධිපති නීතීඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට නියම කළේය. නමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේදී ඔහුට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදුකළ ගනුදෙනුවකදී එලෙස අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගත්තේ යැයි චෝදනා නගා එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment