නායකත්ව පෞරුෂ්‍ය කියන්නේ බලය හෝ එකාධිකාරිත්වය නෙවෙයි

207

43 වැනි සේනාංකයේ නායකත්ව මණ්ඩල සභික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය

43 වන සේනාංකය ජනගත කරනු ලැබුවේ මීට වසරකට පෙර එනම් 2021 ජනවාරි 17 වැනිදා ය. විපක්ෂයේ දේශපාලන ධාරාව නියෝජනය කරන පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රමුඛ කණ්ඩායමක් එම සේනාංකයේ ආරම්භ කිරීම දේශපාලන ක්ෂේත‍්‍රයේ යම් කතාබහකට ලක් වූ සිදුවීමක් විය.

එම සේනාංකයට වසරක් සපිරෙන මොහොතේ එහි ක‍්‍රියාකාරීත්වය, ඉදිරි කටයුතු සහ තවත් තොරතුරු සාකච්ඡා කිරීම සඳහා එහි නායකත්ව මණ්ඩල සභික, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරුද්ධ ප‍්‍රදීප් කර්ණසූරිය මහතා මුණගැසුණෙමු.

ප‍්‍රශ්නය:- 43 වැනි සේනාංකය ගොඩනගා දැන් අවුරුද්දක් ගත වෙනවා. ඒ වෙනුවෙන් අද (23 වැනිදා) පැවැත්වෙන්නෙ වාර්ෂික සමුළුවද? එසේත් නොමැතිනම් සංවත්සර සැමරුමක්ද?

පිළිතුර:- 43 වැනි සේනාංකය හදල අවුරුද්දක් ගත්වෙද්දි සාමාන්‍යයෙන් කරන්න ඕන දේ තමයි පළමු සංවත්සරය පැවැත්වීම. ඒ නිසා අද පැවැත්වෙන රැස්වීම පළමු සංවත්සර රැස්වීම කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අපි මාස කීපයකට කලින් අපි හිටියෙත් මහ සමුළුවක් තියල සංවිධානයක් වශයෙන් වඩා ස්ථාපිතවීම වැදගත් කියන අදහසෙ. මේ මොහොතේ රට මුහුණ දෙන බරපතල ආර්ථික හා මූල්‍ය අර්බුදය මැද්දේ සංවත්සර සමුළුවක් තියන එක නෙමෙයිනේ සුදුසු. හෙට රට බංකොලොත් වෙයිද, ලබන සතියේ රට බංකොලොත් වෙයිද කියන තැනට ඇවිත් තියෙන්නෙ. ඒ නිසා අපේ ජාතික සමුළුවේ එක ප‍්‍රධාන තේමාවක් යොදාගන්නෙ මේ ක්ෂණික අර්බුදයෙන් ගොඩඒමට අපේ විසඳුම් ඉදිරිපත් කරන්න. ගොඩ එමු, ගොඩ නගමු කියන අපේ තේමාවේ ගොඩ එමු කියන කොටසින් කියන්නේ ඒක.

ප‍්‍රශ්නය:- අද ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවද?

පිළිතුර:- වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනව. ඒ කියන්නේ අපේ විග‍්‍රහය සහ යෝජනා අඩංගු පොතක් එළි දක්වනවා. හැබැයි ඒක ඉදිරිපත් කරන්නෙ අපි ගාව වැඩපිළිවෙළක් තියෙනව මෙන්න ඒක බාරගනිල්ලා කියන ප‍්‍රවේශයෙන් නම් නෙමෙයි. ඒ වෙනුවට අපි කරන්නේ වඩාත් පුළුල් හා විවෘත ඒ වගේම තාර්කික සංවාදයක් සඳහා අවශ්‍ය දල සැලැස්මක් ඉදිරිපත් කරන එක. ඒ කියන්නේ මේක සංවාදයක් සඳහා කෙටුම්පතක් නැතිනම් න්‍යාය පත‍්‍රයක්. ඒ නිසා තමයි අපි මේක ජාතික සංවාදයක් සඳහා වූ ප‍්‍රවේශයක් ලෙස නම් කරලා තියෙන්නේ.

ප‍්‍රශ්නය:- ඒ කියන්නෙ මේ සංවාදයට ජනතාවගෙ පැත්තෙන් එන යෝජනාවලටත් ඉඩක් තියෙනව කියන එකද?

පිළිතුර:- ඔව්… ජනතාවට විවෘතයි. අපි මේ සංවාදයේදි මගපෙන්වීමක් කරනව සමාජයේ තියෙන ඇතැම් මිථ්‍යා මත ගැන. ඒවා මතුකරල සාකච්ඡා කරල, ඒවායෙ වැරැදි පෙන්වාදීල, නිවැරැදි මත ඉස්මතු කරල සංවාදයට අවශ්‍ය කෙටුම්පතක් ඉදිරිපත් කරනවා කියන අර්ථයෙන් තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නෙ. ඒ කියන්නේ අපි විධිමත් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා. නමුත් අවශ්‍ය විවෘතභාවය සහිතව.

ප‍්‍රශ්නය:- ඔබ කිව්ව 43 කණ්ඩායමේ සමායෝජකයන් විදිහට තමයි වැඩ කරන්නෙ කියල. නමුත් එළියෙ ඉඳල බලද්දි පේන දෙයක් තමයි මේකෙ අරටුව පාඨලී චම්පික රණවක. ලංකාවෙ බිහිවෙන බොහෝ සංවිධාන යම් දේශපාලන නායකත්වයක් වටා තමයි කේන්ද්‍රගතවෙන්නෙ. 43 කණ්ඩායමේ එතකොට ඔය කියන ඔය සමායෝජක කතාව ඇත්තටම තියෙනවද?

පිළිතුර:- අපි කරුණු දෙකක් වැදගත්කොට සලකනව. එක පැත්තකින් රටකට නිශ්චිතව මග පෙන්විය හැකි නායකත්වයක් අවශ්‍යයි. සමහරු කණ්ඩායම් පෙන්වන්න හදනව ඔවුන් අභ්‍යන්තරයෙන් සමාන කණ්ඩායමක් විදිහට. නමුත් ඒවා ලෝක ඉතිහාසය තුළවත් ලංකා ඉතිහාසයෙවත් ඇත්ත නෙමෙයි. ඒවා බොහෝවිට මවාපෑම්. ඕනම රටක ගත්තොත් ඒ රටවල් සම්බන්ධයෙන් තීරණාත්මක මොහොතවල් පසුකරන්න නායකත්ව පෞරුෂයන් අවශ්‍ය උනා. ඒකෙන් කියැවෙන්නෙ නෑ එම නායකයාට ඒකාධිකාරී බලයක් හෝ අත්තනෝමතික බලයක් තියෙනව කියන එක. නමුත් අපි සංවිධානයක් විදිහට පිළිගන්නව නායකයො අවශ්‍යයි කියල. නිශ්චිත වැඩසටහනක් වෙනුවෙන් සමාජයක් මෙහෙයවන්න පුළුවන් නායකත්වයක් අවශ්‍යයි. පාඨලී චම්පික රණවක ගත්තොත් දේශපාලනයේ කොටස් දෙක තුළම ඒ කියන්නෙ සක‍්‍රීය දේශපාලන ක්ෂේත‍්‍රය තුළත් ඒ වගේම පරිපාලන වගකීම් දැරීමෙනුත් තමන්ට යම් දෙයක් කළ හැකි බව පෙන්වා දී තියෙනව. මේ වෙලාවේ අවශ්‍ය මාධ්‍යවලින් පුම්බන චරිත හෝ විවිධ රැලිවලින් පාවෙලා එන චරිත නෙමෙයි ප‍්‍රායෝගිකව දේශපාලන සහ පරිපාලන අත්දැකීම් තියෙන නායකයෙක්නේ. ඒ නිසා අපි පාඨලී අපේ ප‍්‍රධාන නායකයා විදිහට හඳුනාගන්නවා කියන එක සැඟවිය යුතු දෙයක් නෙමෙයි. ඔහුගේ චරිතය 43 කණ්ඩායම තුළ කේන්ද්‍රීය ස්වභාවයක් තියෙනව. ඒක ඇත්ත.

ප‍්‍රශ්නය:- 43 සේනාංකය පිහිටුවලා තියෙන්නේ මොකටද? මොකක්ද ඇත්තටම මේකේ අරමුණ?

පිළිතුර:- ලංකා ඉතිහාසයේ පසුගිය අවුරුදු හැට හැත්තෑව තුළ විශේෂ පෙරළියක් වෙලා තියෙනව. ඒක ආරම්භ වෙලා තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වාදීමත් එක්ක. පරම්පරා උරුමය වෙනුවට කුසලතාවය හා කැපවීම මත මිනිස්සු උඩට එන සමාජ ක‍්‍රමයක් ලංකාවෙ ගොඩනැගුණ. ඒක අපට ලැබිච්ච දායාදයක්. හැබැයි ඒකෙ යම් විකෘතියක් තියෙනව. අපේ අරමුණ තමයි අනෙක් ක්ෂේත‍්‍රවල වෙච්ච වෙනස දේශපාලනය තුළටත් ගෙන ඒම. කුසලාතාවයෙන් පිරිච්ච පිරිසක් දේශපාලනයට හඳුන්වාදෙන්න ඕන. ලංකාව වෙනස් කරන්න නම් දේශපාලනය සහ රාජ්‍ය බලයත් කුසලතාව සහිත නායකයන් පිරිසකගේ අතට යන්න ඕනේ. චම්පික රණවකව උනත් අපට පේන්නෙ එවැනි බලවේගයක එක්කෙනෙක් හැටියට. ඔහු සාමාන්‍ය පවුලකින් ඇවිල්ල වෘත්තීයභාවයෙන් හා දේශපාලන භාවිතාවෙන් ඉහළට ආපු චරිතයක්. එහෙම නායකත්ව ලක්ෂණ තියෙන කුසලතා තියෙන කණ්ඩායමක් අප හඳුනාගෙන තියෙනව. අපි ඒ කණ්ඩායම මත තමයි විශ්වාස කරන්නෙ. ගමේ දේශපාලනය රස්තියාදුකාරයන්ගෙන් ගලවාගෙන ගුරුවරු වැනි සමාජ නායකත්වයක් දැරිය හැකි කණ්ඩායමකට භාර දිය යුතුයි. ජාතික දේශපාලනයත් එහෙමයි.

ඒ වගේම ඒ සමගම ලංකාව සඳහා වූ අනාගත වැඩපිළිවෙළක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යයි කියන මතයෙ තමයි අපි ඉන්නෙ. මේ රටට කුසලතාව තියන නායකයෝ නෑ වගේම රට ඉදිරියට ගෙනියන වැඩසටහනකුත් නෑ.

ප‍්‍රශ්නය:- මේ කියන කාරණාවල අවසානය පාඨලී චම්පිකගෙ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක්ද?

පිළිතුර:- චම්පික රණවක මේ රටේ නායකත්වයට නුසුදුස්සෙක් නෙමෙයිනේ. ඔහු අවුරුදු දාහතරක් ඇමැති කෙනෙක් විදියට වැඩ කරලා කිසිම දූෂණ චෝදනාවකට ලක් වෙලා නෑ. වැදගත්ම දේ ඒකයි. ආණ්ඩු බලය දරලත් ඔහු දූෂිත නෑනේ. අනික චම්පිකට වැඩ කරන්න බෑ දක්ෂ නෑ කියලා කවුරුත් කියන්නේ නෑනේ. නමුත් එහෙම නෙමෙයි අපි මේ ප‍්‍රශ්නය දකින්නේ. මේ රටේ ඇත්ත අභියෝගය ආණ්ඩු බලය ගන්න එක නෙමෙයි. 2015 අවුරුද්දේ ආණ්ඩුව පෙරළලා බලය ගත්තේ. 2019 ත් ගත්තේ. නමුත් මොකද වුණේ. ආණ්ඩුව පිහිටුවන එක නෙමෙයි ආණ්ඩුව ගෙනියන එක නැතිනම් ඇත්තටම ආණ්ඩුකරණය තමයි අමාරු කියන එක ඔප්පු වුණා. ඒ වගේම ඔහේ ආණ්ඩුවක් අටවාගෙන යන එක නෙමෙයි වැඬේ හරි හමන් නායකත්වයක් දීලා මේ රට මේ අර්බුදයෙන් ගොඩ ගන්න එකයි.

ප‍්‍රශ්නය:- පාඨලී ප‍්‍රමුඛ 43 කණ්ඩායම වගේම ජවිපෙත් මේ දිනවල යම් පිබිදීමකින් ඉදිරියට එන බවක් පේනව. සජිත් ප‍්‍රමුඛ සජබත් එක පැත්තකින් ඉන්නව. මේ හැමෝම නියෝජනය කරන්නෙ විපක්ෂය. හැබැයි ඒ විපක්ෂය දේශපාලනික වශයෙන් බෙදුණු විපක්ෂයක්. ආණ්ඩුවෙ ජනප‍්‍රියතාව පහළ යමින් තිබුණන්, විපක්ෂයේ මේ බෙදීම අවසානයේදී වාසි සහගත වෙන්නෙ ආණ්ඩු පක්ෂය මෙහෙයවන බලවේගයටම නේද?

පිළිතුර:- මේ ආණ්ඩුවෙ එකම දේශපාලන උපාය මාර්ගය නැතිනම් පිළිසරණ තමයි බෙදුණු විපක්ෂය මගින් ආණ්ඩුවේ බලය රැකගැනීමට උත්සාහ කිරීම. එහෙම නැතිව ගත්තොත් ආණ්ඩුකරණය පිළිබඳ කාරණයේදි ආණ්ඩුව අසමත්. ඒක ආණ්ඩුවත් දන්නවා. හැබැයි පවතින ආණ්ඩුව අසමත් වීමේ කාරණය මත පමණක් බලය හුවමාරු වීම වැඩක් නෑ කියන එක මම කලින් කිව්වා වගේ ඔප්පු වෙලානේ තියෙන්නේ.

අපේ ස්ථාවරය නම් විපක්ෂයේ සියලූ බලවේග එක්විය යුතුයි. ඒක තමයි අපේ අපේක්ෂාව. එහෙම එක්සත්වීමකින් තොරව ආණ්ඩු පෙරළියක් කරන්න බෑ. නමුත් ඒ එක්සත් වීම 2015 දී කළා වගේ හුදෙක් පවතින ආණ්ඩුවේ වැරැදිවලට පමණක් සීමාකර ගැනීම අනතුරුදායකයි. අපි කියන්නෙ පවතින ආණ්ඩුව පරාජය කළ යුතුමයි. නමුත් අපි කරන්න ඕනේ ආණ්ඩුව පරාජය කරන එක පමණක් නෙමෙයි. පිහිටුවන ආණ්ඩුව කරන්නේ මොකක්ද කියන එකත් සාකච්ඡා කරලා එකඟ වෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. හොඳට බැලූවොත් පේනවා අද මතුවන සමහර විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ පවතින ප‍්‍රශ්නයට විසඳුම් නෑ කියන එක. අඩුම තරමින් පවතින අර්බුදය අවබෝධ කරගත්ත බවක් පේන්නෙත් නෑ.

ප‍්‍රශ්නය:- මේ විපක්ෂ බලවේග එකමිටකට එකතු කරන්න පුළුවන් වෙයිද?

පිළිතුර:- අපහසු දේවල් කරන එක තමයි දේශපාලනයෙ වැදගත්ම දේ. ඉතාම පහසුවෙන් එකතුවෙන කණ්ඩායම්වලින් සමාජයට යම් දෙයක් එකතු කරන්නෙ නෑ. ඒවා නිකන් රංචු ගැසීම් වගේ. ඒවායින් සමහර විට දේවල් විනාශ කරන්න පුළුවන් නමුත් යහපත් දේවල් ගොඩනගන්න බෑ. පහසුවෙන් එකතුවෙන වෙලාවල තමන්ගෙ නොගැලපීම නොසලකා තමයි එකතුවෙන්නෙ. 2015 දි වුණෙ ඒක. එතනදි තමන්ගෙ නොගැලීම් ගැන ගැඹුරු සංවාදයට ගියෙ නෑ. වැදගත් වෙන්නෙ අමාරු සන්ධානයන් ගොඩනැගීම. එතනදි වැදගත් දේ තමයි අපේ නොගැලපීම් ගැන ගැඹුරින් සලකා බැලීම. ඒ වගේම එකඟවෙන්න පුළුවන් තැන් ගැන අවධානය යොමුකිරීම. මගේ නම් විශ්වාසය නොගැළපීම් තියෙන තරමට විපක්ෂය ශක්තිමත් කරගන්න පුළුවන් කියන එක.

ප‍්‍රශ්නය:- පසුගිය අවුරුද්ද දිහා ආපසු හැරිල බැලීමේදී 43 සේනාංකය විදිහට සතුටුවෙන්න පුළුවන්ද?

පිළිතුර:- අපිට තවම අවුරුද්දයි. ඒ අවුරුද්දේ ලොක්ඩවුන් තුනක් තිබුණා. නමුත් අපි රට පුරාම අපේ ජාලය ගොඩනගා ගත්තා. හැමතැනම අපිට කවුරු හරි ක‍්‍රියාකාරිකයෙක් ඉන්නවා. අඩුම තරමින් රට පුරා එක රැයින් අපට පෝස්ටරයක් ගහන්න පුළුවන්. ඒ අනුව පළමුවසරේ අපේ ඉලක්කය අපි සපුරාගෙන තියෙන්නේ. ඒක විශාල ජයග‍්‍රහණයක්. ඒ වගේම තව දෙයක් අපි කළා. ඒ තමයි අපි වෙනස් දේශපාලන සංවිධානයක් විදියට මතවාදී විදියට ස්ථාපිත වෙන එක. අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට විවිධ දේශපාලන මත තිබුණා. එයාලා ආවේ විවිධ දේශපාලන සංවිධානවලින්. ප‍්‍රධාන කණ්ඩායමක් ජාතික හෙළ උරුමයෙන්. තවත් අය ලිබරල් සිවිල් සංවිධානවලින්. තවත් අය දෙමළ සහ මුස්ලිම් සංවිධානවලින්. මේ සියලූ දෙනා එකම කණ්ඩායමක් විදියට මතවාදී සම්මුතියක් සහිතව ස්ථාපිත කරනවා කියන්නේ ඇත්තෙන්ම අභියෝගයක්. ප‍්‍රශ්නය:-

ප‍්‍රශ්නය:- එතකොට දැන් හෙළ උරුමය ඉවරද?

පිළිතුර:- අපිත් එක්ක 43 විදියට ඉන්නේ හෙළ උරුමයේ අය විතරක් නෙමෙයි. කොටින්ම අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්න අතිබහුතරය හෙළ උරුමයේ හිටපු නැති අය. ලංකාවෙ ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නය දැඩිව තියෙන සමයක තමයි අපි දේශපාලනය ආරම්භ කළේ. එදා අපි තමයි නිවැරැදිම හා තාර්කිකම තීන්දුවෙ හිටියෙ. ඒ යුද්ධය කළ යුතුයි කියන එකේ. අපේ මතය තමයි දිනුවෙ. පස්සේ ජනතා විමුක්ති පෙරමුණ අපේ මතයට ආවා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment