නාරාහේන්පිට රෝහලක වැසිකිළි බෝම්බයට හිටපු කොටි ත‍්‍රස්තයකු අල්ලයි

273

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බයක් පුපුරුවා හැරීමට උත්සාහ කළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියකු කොළඹ අපරාධ කොට්ඨාසය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය මගින් ඊයේ (28 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

හතළිස් හැවිරිදි මෙම හිටපු එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියා ති‍්‍රකුණාමලය උප්පුවේලි ප‍්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙසේ අත්අඩංගුවට ගන්නා ලදී.

ලංකා රෝහලේ වැසිකිළියක බෝම්බය සැඟවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රධාන සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම හිටපු එල්. ටී. ටී. ඊ ත‍්‍රස්තවාදියා තමන් ති‍්‍රකුණාමලය උප්පුවේලි ප‍්‍රදේශයට කැඳවාගෙන ගොස් එහි කෝවිලක් පිටුපස කැලෑවකදී දින 6 ක් තිස්සේ තමන්ට බෝම්බ පිිපිරවීම සහ ආයුධ පරිහරණය පිළිබඳව පුහුණුවක් ලබාදුන් බවද මෙම සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම හිටපු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදියා කොටි සංවිධානයේ නායක ප‍්‍රභාකරන් විසින් මෙහෙයවූ විශේෂ බළකායක පුහුණුව ලබා සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයන් වෙනත් පාර්ශ්වයක් විසින් මෙහෙයවන්නට ඇති බවට පොලිසිය සැක පහල කරයි.

අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදියා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ගෙනැවිත් ඇති අතර ඔහුගෙන් මේ පිළිබඳව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යයි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment