නාවක්කුලි විහාරයේ චෛත්‍යයේ කොත නිරාවරණය කරද්දී සෙල්වරාසලා විරෝධය පාති

434

යාපනය නාවක්කුලි ප්‍රදේශයේ සමිද්ධි සුමන විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උත්සවය ඉකුත් 18දා භික්ෂුන් වහන්සේ 128 නමකගේ වැඩම කිරීමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් සිදුරන ලදි.

එම උත්සවය පැවති අවස්ථාවේ නවක්කුලි සමිද්ධි සුමන විහාරස්ථානය ඉදිරිපිට තමිල් තේසීය මක්කල් මුන්නනි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු පිරිසක් විරෝධතාවක නිරත වූහ. ඒ තම නිජභූමිය තුළ බෞද්ධ සිද්ධස්ථාන ඉදිකිරීමට සහ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට විරෝධය දැක්වීම ප්‍රධාන කර ගත් ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමිනි. නාවක්කුලි ප්‍රදේශයේ වෙසෙන සිංහල ජනතාව ඉකුත් යුද සමයට පෙර සිට යාපනය ප්‍රදේශයේ ජීවත්වූවන් වන අතර තමන් යුද්ධය සහ ත්‍රස්තවාදී තර්ජන හමුවේ සිය ඉඩකඩම් හා දේපළ අතහැර පලා ගිය බව එම ජනතාව පවසති.

ඒ අනුව නාවක්කුලි ජනතාව පෙන්වා දෙන්නේ තමන් අවතැන්ව ගොස් යුද්ධය අවසන් වීමෙන් පසු නැවත සිය උපන් භූමියට පැමිණ විවිධ පාර්ශ්වයන්ගේ උපකාර මත මෙසේ සිය විහාරස්ථානයේ නව චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදි කරගත් බවයි.

පොලිසිය හා හමුදාව විසින් විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු කෙරිණි.

දිනසේන රතුගමගේ, මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment