නාවික හමුදාවට අලුත් දෙවැනියෙක්… ශවේන්ද්‍ර නිකවැව… නව දෙවැනියා වයි.එන්.

582

යුද හමුදාවට නව මාණ්ඩලික ප‍්‍රධානියෙක් පත් වූයේ පසුගිය 17 වෙනිදාය, යුද හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 58 වන මාණ්ඩලික ප‍්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ප‍්‍රියන්ත පෙරේරා පත් කරන ලදී. ඒ හා සමානව මේ සතියේදී ශ‍්‍රී ලංකා නාවික හමුදාව ද නව මාණ්ඩලික ප‍්‍රධානියකු පත් වන තෙක් බලා සිටියි.


රුවන් පෙරේරා යයි

navy2

නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස සේවය කරන ලද රියර් අද්මිරාල් රුවන් පෙරේරා මේ සතියේ සිය තිස් පස් වසරක හමුදා සේවය නිමා කර විශ‍්‍රාම ලැබීය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන රියර් අද්මිරාල් පෙරේරා, 1986 වසරේ නාවික හමුදාවට එක්විය. කනිෂ්ඨ නිලධාරියෙක් ලෙස ඔහු නාවික හමුදාව තුළ නමක් දිනාගෙන සිටියේ, යාපනය කොටුව මුදා ගැනීමේ මෙහෙයුම සඳහා ලබාදුන් දායකත්වය හේතුවෙනි. 1990 අගෝස්තු මාසයේදී කොටි ත‍්‍රස්තවාදීහු යාපනය කොටුව වටකරගෙන උන්හ. කොටි ත‍්‍රස්තවාදීහු හාරසිය දෙනෙකු පමණ යාපනයේ කොටුව වට කරගෙන සිටියේ, ඒ අවට දූපත් ද අත්පත් කර ගනිමිනි. මණ්ඩතිව් සහ කයිට්ස් දූපත් ද යාපනයේ විදුලි සංදේශ මධ්‍යස්ථානය ද යාපනය කොටුව ඉදිරිපිට පිහිටා තිබූ අතහැර දමන ලද පොලිස් නිල නිවාස සංකීර්ණය ද කොටි අත්පත් කරගෙන සිටියහ. මේ නිසා යාපනයේ කොටුව තුළ සිටි, හය වෙනි සිංහ රෙජිමේන්තුවේ එක් නිලධාරියෙක් සහ සෙබළු පනස් එකක් ද උප පොලිස් අධිකාරිවරයෙකු යටතේ පොලිස් පරීක්ෂකවරු හය දෙනෙක් සහ කොස්තාපල්වරුන් එකසිය දොළොස් දෙනෙකුගේ ජීවිත ද ‘බඩගින්නේ මැරෙන’ තත්ත්වයට පත්ව තිබුණි. ගොඩබිමෙන් ආහාර සහ අවශ්‍ය ද්‍රවය ලබාදිය නොහැකි තත්ත්වය තුළ ගුවන් හමුදාවට අයත් චීනයේ නිෂ්පාදිත වයි – 12 වර්ගයේ ප‍්‍රවාහන ගුවන් යානයකින් කොටුව තුළට ආහාර ද්‍රව්‍ය හෙළනු ලැබුවත් කොටි අහසට වෙඩි තැබීමත් සමග එය ද අසාර්ථක ප‍්‍රයත්නයක් බවට පත්විය. මේ නිසා යාපනය කොටුව මුදාගැනීමේ මෙහෙයුම සංකීර්ණ තත්ත්වයක් ඇති කළේය.

 යාපනය කොටුව බේරාගැනීම පිළිබඳව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිටි මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මුලින්ම සාකච්ඡා කරන ලද්දේ මේජර් ගෝඨාභය රාජපක්ෂ සමගය. සිරවී සිටින පිරිස බේරා නොගතහොත්, මේ පරමාදර්ශය අනුව කොටි ත‍්‍රස්තයන් යම් කඳවුරක් වට කළ සැනින් හමුදාව සටන් කිරීම වෙනුවට පලා යෑම තෝරා ගන්නවා සේම, මෙම ආරංචිය ගම් ප‍්‍රදේශ කරා යෑම සමග හමුදාවට බැඳීම සම්බන්ධයෙන් තරුණ පිරිස ද අධෛර්යවත් වනු ඇති බව මේජර් ජෙනරාල්වරයාගේ මතය විය. සිරවී සිටින පිරිසට වඩා වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුමේදී මිය යන බව තමන් අපේක්ෂා කරන නමුදු, ඉහත කාරණා දෙක නිසා යාපනය කොටුව තුළ සිටින පිරිස අනිවාර්යෙන්ම මුදා ගත යුතු බව මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවගේ මතය විය.

යාපනය කොටුව  බේරා ගැනීමේ සටන

navy3

කොබ්බෑකඩුවගේ සැලසුම වූයේ, මුලින්ම කයිට්ස් දූපත අත්කරගෙන කොටුවට ආසන්නයේ පිහිටි මණ්ඩතිව් දූපත ඉන් පසුව අත්පත් කරගෙන, ඒ හරහා යාපනය කොටුවට ඇතුල්වීමය. මේ මෙහෙයුම නිල නාමය වූයේ ත‍්‍රිවිධ බලය යන්නය. යුද, ගුවන්, නාවික යන හමුදා ත‍්‍රිත්වයම එක සේ දායක කර ගැනීම මේජර් ජෙනරාල් කොබ්බෑකඩුවගේ අරමුණ විය. ඒ අනුව මණ්ඩතිව් දූපත අත්පත් කරගත් හමුදාවෝ, ඊළඟ සැලසුම සඳහා සැරසුනහ. මෙම මෙහෙයුම සඳහා නාවික විධානය භාරව සිටියේ කැප්ටන් ප‍්‍රසන්න රාජරත්නය. ඔහු සහ මේජර් ජෙනරාල් කොබ්බෑකඩුව සැලසුම් සකස් කර තිබුණේ, මණ්ඩතිව් දූපතේ සිට යාපනය කොටුවට ඇතුල්වීමටය. මෙය කාන්තාරයක ඇවිද යනවා වැනි විනිවිද පෙනෙන තත්ත්වයකි. කිසිදු මුවාවක් නොමැතිව, කොටි නෙත් අයා බලා සිටියදී යාපනය කොටුවට නාවික යාත‍්‍රාවෙන් යෑම සඳහා කිසිදු නාවික නිලධාරියෙක් කැමති නොවීය. මෙහෙයුම භයානක බව කොබ්බෑකඩුව සහ ප‍්‍රසන්න රාජරත්න ද දැන සිටියහ. මේ අභියෝගය සඳහා කැප්ටන් රාජරත්නගේ තේරීම වූයේ, රුවන් පෙරේරාය. සිය සගයන් අභියෝගය භාර ගැනීමට මැලිවූ මොහොතේ ඔහු සිය නිලධාරියා වෙතින් අභියෝගය භාරගෙන යාපනයේ කොටුවේ සිටින භටයන් වෙත ආහාර ද්‍රව්‍ය සහ කොටුව මුදාගැනීමේ මෙහෙයුම සඳහා හමුදා නිලධාරීහු සහ සෙබළු ද ප‍්‍රවාහනය කළහ. කොටි වෙඩි වරුසා මධ්‍යයේ කර්නල් ෆස්ලි ලෆීර් වැනි නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරමින් දහතුන් වතාවක් යාපනයේ කොටුව දෙසට සහ මණ්ඩතිව් දූපතට රුවන් පෙරේරා සිය යාත‍්‍රාව මෙහෙයවන විට, දහ තුන් වැනි ගමනේදී ඔහු කොටින්ගේ දැවැන්ත ප‍්‍රහාරයකට මුහුණ දෙනු ලැබීය. එදා සිය කොන්ද ප‍්‍රදේශය දරුණු ප‍්‍රහාරයකට ගොදුරු කර ගත් ඔහුගේ මෙහෙයුම පසුව යුද හමුදාව වෙත යාපනය කොටුව මුදාගැනීම සඳහා අනගි පිටිවහලක් විය. මේ මෙහෙයුමේ භයංකාරභාවය හේතුවෙන්, පසුව එය නම් වූයේ ‘සුවිසයිඞ් එක්ස්ප‍්‍රස්’ නාමයෙනි.

 ඇති වී තිබූ බරපතල තුවාල හේතුවෙන් නාවික හමුදාවෙන් ආබාධිත තත්ත්වය ප‍්‍රකාශ කර වැටුප සහ විශ‍්‍රාම වැටුප යන දෙකම ලැබිය හැකි මට්ටමක සිටිය ද රුවන් පෙරේරාගේ තේරීම වූයේ පෙරළා නාවික හමුදාවට යෑමය.

නව දෙවැනියා වයි.එන්.

 මානුෂීය මෙහෙයුමේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ විසින් රුවන් පෙරේරා වෙත පවරා තිබුණේ ආයුධ තෝරා ගැනීම සහ නාවික පරිශ‍්‍රයන්හි පහසුකම් නිරීක්ෂණය කිරීමය. එම ක‍්‍රියාන්විත දෙකම හොඳින් ඉටු කරන ලද ඔහු, නාවික හමුදාව සතු සියලූ අවි, උසස් මට්ටමින් ක‍්‍රියාත්මක කළ හැකි එකම නිලධාරියා ලෙස හැඳින්විය හැකිය.

 නාවික හමුදාව තුළ මුල් අකුරු ආශ‍්‍රයෙන් හඳුන්වනු ලබන ප‍්‍රසිද්ධ නිලධාරීන් කිහිප දෙනෙකු මෑත කාලයේ සිටියහ. රියර් අද්මිරාල් ඞී.කේ.පී. දසනායක හඳුන්වනු ලැබුවේ ඞී.කේ.පී. ලෙසය. එසේම රියර් අද්මිරාල් රුවන් පෙරේරා හදුන්වනු ලැබුයේ යූ.එස්.ආර්. ලෙසය. යූ.එස්.ආර්. විශ‍්‍රාම ලැබීමෙන් පුරප්පාඩු වූ නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා වයි.එන්. ලෙස නාවික හමුදාව තුළ ජනප‍්‍රිය රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රියර් අද්මිරාල් යූ.එස්.ආර්. පෙරේරා විශ‍්‍රාම යන විට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න සිටියේ රුසියාවේ නිල සංචාරයක් සඳහා සහභාගී වෙමිනි. නාවික හමුදාපතිවරයා පසුගියදා මෙරටට පැමිණිය ද තවමත් රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න අදාළ තනතුර සඳහා පත් කර තිබුණේ නැත. රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න දැන් දරමින් සිටින්නේ නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති හා නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි තනතුරය. ඔහුගේ නව පත්වීමෙන් හිස් වන නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා රියර් අද්මිරාල් සංජීව ඩයස් පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුද හමුදාවේ තුනක් විශ‍්‍රාම යයි

 යුද හමුදාවේ ද නිලධාරීහු ගණනාවක් මේ සතියේ සිය හමුදා ජිවිතයට විශ‍්‍රාම ලබා දෙමින් සිටිති. යුද්ධ හමුදා මුල්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ ජෙනරල් සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන කුමාර හඳුන්මුල්ල, ආඥාපති භට කාර්ය සම්පාදන අණසක මූලස්ථානය සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් රංජන් පේ‍්‍රමලාල්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ත‍්‍රිවිධ හමුදා මූලස්ථානය ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ මේජර් ජෙනරල් තිලක් වීරකෝන්, මෙසේ ඉදිරියේදී විශ‍්‍රාම ගැනීම සඳහා නියමිත නිලධාරීහු වෙති. මේ අනුව යුද හමුදා තනතුරු ධුරාවලිය මේ සතියේදී වෙනස්වීමකට භාජනය වීමට නියමිතව තිබේ.

ශවේන්ද්‍ර නිකවැව

 නිකවැව යුද හමුදා ගුවන් සංක‍්‍රමික පුහුණු පාසලේ විසිරයෑමේ පෙළපාලිය ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

 මෙම විසිරයෑමේ පෙළපාලියට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ගුවන් සංක‍්‍රමික බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුභාෂ් සංජීව සහ ගුවන් සංක‍්‍රමික පුහුණු පාසලේ සේනාවිධායක ලූතිනන් කර්නල් එම්.ඒ.ඞී.ආර්. මංගල විසින් පිළිගනු ලැබීය. 

advertistmentadvertistment
advertistmentadvertistment