නාස්තිකාර වියදම් අඩු කළොත් උ.පෙළ විභාගය කාලයේ අඛණ්ඩව විදුලිය දිය හැකියි – ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති

96

අධික වියදම් සහිත ඩීසල් බලාගාර මගින් විදුලිය මිලදී ගැනීම් සහ බලශක්ති ඉල්ලුම නිසි පරිදි කළමනාකරණය කර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනවල අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගෙන යාහැකි බව ලංවිම තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. යූ. ජී නිශාන්ත මහතා පවසයි.

අඩු පිරිවැයකින් විදුලිය නිපදවා ගත හැකි කැලණිතිස්ස නැප්තා බලාගාරයට (මෙගාවොට් 165) අවශ්‍ය නැප්තා ලබා නොගෙන ඒ වෙනුවට අධික පිරිවැය සහිත ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවා ගැනීම අපරාධයක් යැයි ද ඒ මහතා පැවසීය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින කිහිපයේ විදුලිය නොකපා සිටීමෙන් ඊට රුපියල් කෝටි 40ක් (බිලියන 4ක්) පමණ වැයවන බවට ගණන් බලමින් දරුවන්ගේ තීරණාත්මක කඩඉම් විභාගයක් පවතින දිනවලත් විදුලිය කපා හැරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද නිශාන්ත මහතා කීය.

නැප්තා වැනි අඩු පිරිවැය සහිත බලාගාර කැඩෙන්නට ඉඩහැර අධික පිරිවැය සහිත ඩීසල් බලාගාර මගින් විදුලිය ජනනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 5000 (බිලියන 50කට) අමතර වැයවන බවද ඒ මහතා කීය.

කැලණිතිස්ස බලාගාරය නඩත්තු කිරීම සඳහා විශේෂඥ ඉංජිනේරු සහාය ලබාගැනීමට රුපියල් මිලියන 100කට අධික මුදලක් වැයකර ඇත. ඊට අමතරව නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් නඩත්තු කොන්ත්‍රාත් කාලයක් සඳහා චීන ඉංජිනේරුවන්ට බිලියන ගණන් මුදල් ගෙවීම් ඇතුළු නාස්තිකාර වියදම් කළමනාකරණය කළයුතු බවද, දැනටමත් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට සූදානම් කර තිබෙන සූර්ය පද්ධති ඇතුළු බලාගාර කඩිනමින් පද්ධතියට එක්කළ යුතු බවද ඒ මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය නිසිලෙස එම තීන්දු ගන්නේ නම් උසස් පෙළ විභාගය පැවැත්වෙන දින කිහිපයේදී වැයවන මුදල් පිළිබඳව ළතැවෙන්නට අවශ්‍ය නැතැයි ද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment