නාස්තිය දූෂණය අවම කර රටට ආදර්ශයක් දුන් ජලසම්පාදන මණ්ඩලය ගැන මම ආඩම්බර වෙනවා

323

රාජ්‍ය ව්‍යවසායන් නාස්තිකාර යන මතය ජල සම්පාදන මණ්ඩලයෙන් වෙනස් කර ඇති බවත් නාස්තිය, දූෂණය අවම කර රටට ආදර්ශවත් ආයතනයක් බවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පත් කිරීමට හැකි වීම ආඩම්බරක් බවත් ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා ඊයේ 01 වැනිදා සඳහන් කළේය.

ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා එම අදහස් පළකලේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ තොග වර්ගීකරණය සහ ඒවා ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ වැඩසටහනක් බත්තරමුල්ල පැලවත්ත ජල සම්පාදන මණ්ඩල ගබඩා සංකීර්ණ භූමියේ දී පැවැති අවස්ථාවේදීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවසීය.

මේ රටේ පොදු මහ ජනතාවගේ තියෙන මතය තමයි රාජ්‍ය ව්‍යවසායන් නාස්තිකාරයි කියන එක. මෙන්න මේ ජනතාවගේ සිත් තුළ පැලපැදියම් වී ඇති මතය ආපසු හරවන්නට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හැකිවීම සහ ඒ තුළින් රටට විශාල ආදර්ශයක් ලබාදීම පිළිබඳ මම මහත් සේ ආඩම්බර වෙනවා. පාර්ලිමේන්තුවේ දී අපේ ජල සම්පාදන මණ්ඩලය, ප‍්‍රජා ජල දෙපාර්තමේන්තුව, ජල සම්පත් මණ්ඩලය සම්බන්ධයෙන් නැගී සිටින විට මට ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ නිවැරදි ඉලක්කයක් කරා අපි සියලූ දෙනාම ඒකරාශි වී එක අරමුණකින් ගමන්කොට 2025 සැමට ජලය ලබාදීම යථාර්ථයක් බවට පත්කිරීමට අනිවාර්යෙන්ම හැකි වේවි.

ජල සම්පාදන මණ්ඩලය සතු අපේ සියලූ භාණ්ඩ, ඉඩම්, වාහන, මේ තුන් ආකාරයේම වත්කම් පිළිබඳ හරි මිනුමක් හා දැනුමක් ලබාගැනීම අද අප සිදුකරනවා. මෙය අද දිනයේ ලංකාව පුරාම අපගේ ගබඩා සංකීර්ණ ආශ‍්‍රිතව සිදුකෙරෙනවා. ඒ අනුව මේවා කුමන ප‍්‍රයෝජනයකට යොදාගන්නවා ද කිනම් මිල කිරීමකට වටිනාකමකට ඒවා එකතු කරගන්නවා ද ඒවායින් වඩාත් ඵලදායී සේවාවක් මණ්ඩලයටත් රටටත් ලබාදීම කොයි ආකාරයෙන් සිදුකරගන්නවා ද යන්න උදෙසා වන වාර්තා සකස් කිරීම අද සිට පුරා සතියක් තුළ සිදුකෙරෙනවා. ඒ වාර්තාවන් නිවැරදිව ලබාගැනීමෙන් පසු අපට පැහැදිලි වෙයි මේ ජල සම්පාදන මණ්ඩලය රටේ අනෙකුත් රාජ්‍ය ආයතන අභිබවා කෙබඳු වූ වාර්තාගත පිම්මක් ඉදිරියට පැන්නද කියලා. දැන් කලකට පෙර ඉඳලා මේ වැඬේ අපි කරගෙන යනවා. නාස්තිය, දූෂණය අවම කරලා රටට ආදර්ශමත් ආයතනයක් බවට අප මණ්ඩලය පත්කරගැනීම අපගේ ඒකායන අරමුණයි. අපේ මණ්ඩලයේ ඉංජිනේරු මහත්වරුන් නිලධාරී මහත්වරුන් මේ රටට ආදර්ශයක් පෙන්නලා තියෙනවා. අද අපට තියෙන ලොකුම සම්පත මේ අපේ කාර්ය මණ්ඩල බලය. තමුන්නාන්සේලා මේකේ අයිතිකරුවන්. මේ රටේ ජනතාව මේ රටේ අයිතිකරුවන්. මේ ආයතනයේ අයිතිකරුවන් වගේම සමීප අයිතිකරුවන් වෙන්නේ මේ මහ කාර්ය මණ්ඩලයයි. ඉතින් ඒ නිසා ඔබට තියෙනවා කැකුමක් මට වඩා. මම විශ්වාස කරනවා ඔබට මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන් ඔබේ කාර්යය, ඔබේ උනන්දුව මේ තත්ත්වය අපේ ආයතනය විශ්මයජනක ලෙස ඉදිරියට ගෙන යෑමට හේතු වෙනවා ඇති. මේ ජල සම්පාදන මණ්ඩලයේ අනාගතය රන් අකුරෙන් සටහන් වෙන දිනෙක මේ වකවානුවේ මේ මණ්ඩලය හැසිර වූ ඔබ සැමදෙනා වෙනුවෙන් ද සිහිවටනයක් ඉදිවෙන බව සහතිකයි. ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප‍්‍රියත් බන්දු වික‍්‍රම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, සාමාන්‍යාධිකාරී තිළිණ එස්. විජේතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ සේවක පිරිස් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment