නැකතට ආහාර අනුභවයට ගොස් එද්දීහිසට වෙඩි තබා තරුණයා ඝාතනය කරලා

187

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් 14 වැනිදා සවස අහුන්ගල්ල මිද්දරමුල්ලේදී අලුත් අවුරුදු නැකතට ඥාති සොහොයුරියකගේ නිවෙසේ ආහාර අනුභවයට ගිය තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි.

 මෙසේ ඝාතනය කර ඇත්තේ අහුන්ගල්ල මාකුඹුර අමරමෝලි මාවතේ පදිංචිව සිටි ඒනාදි ධනුෂ්ක තරිඳු නිසංසල ද සිල්වා නමැති 29 හැවිරිදි අවිවාහක තරුණයෙකි. සිය වැඩිමහල් සොහොයුරියගේ අවුරුදු එක හමාරක් සහ අවුරුදු හතරක් වයසැති දියණියන් දෙදෙනා සමඟ යතුරුපැදියකින් ගොස් නැකතට ආහාර අනුභව කර නැවත පැමිණෙන විට පසුපසින් තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් අහුන්ගල්ල මිද්දරමුල්ලේදී මොහුගේ හිසට වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.

 යතුරුපැදියේ පැමිණි කුඩා දරුවන් දෙදෙනාට වෙඩි වැදී නැති අතර යතුරුපැදිය පෙරළීමෙන් සිදුවූ තුවාල හේතුවෙන් එම දරුවෝ බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මියගිය පුද්ගලයා වෘත්තියෙන් බහුදින යාත්‍රා මුරකරුවකු බව පොලිසිය පවසයි. අහුන්ගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 බළපිටිය – අනුර යසමිත්, අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment