නැගී එන කණ්ඩායමට දුනිත් සහ යසිරු නම් කෙරෙති

286

එංගලන්ත තරග සංචාරය සඳහා නම් කරන ලද 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට පාසල් ක්‍රීඩකයින් දෙදෙනකු ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමේ නායක, මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ යසිරු රුද්‍රිගෝ එම ක්‍රීඩකයෝ දෙදෙනා වෙති.

ලබන මැයි මස 06 වැනිදා ආරම්භ වන එම තරගාවලියේදී සිව්දින තරග 3ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වේ. ඒ අනුව සිව්දින තරග අංශයේ නායකයා ලෙස හිටපු වයස අවුරුදු 19 න් පහළ නායක, වර්තමාන එස්. එස්. සී. පිල නියෝජනය කරනු ලබන නිපුන් ධනංජය ද, විස්සයි-20 අංශයේ නායකයා ලෙස ජාතික කණ්ඩායම නියෝජනය කළ කෝල්ට්ස් කණ්ඩායමේ ධනංජය ලක්ෂාන් ද නම් කර තිබේ.

නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් ක්‍රීඩකයින් අතර අෂේන් බණ්ඩාර සහ ධනංජය ලක්ෂාන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති. නැගී එන කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයෝ සෙසු ක්‍රීඩකයෝ වෙති.

ඒ අතර තරග 7 කදී ශතක 2 ක් සහ අර්ධ ශතක 2 ක් සමඟින් ලකුණු 663 ක් රැස් කරමින් එම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණු කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ අවිශ්ක පෙරේරා සහ තරග 5 කදී කඩුලු 52 ක් බිඳ දමමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වුණු දිලුම් සුධීර ද වෙති.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, නිපුන් ධනංජය (නායක – සිව්දින අංශය), නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, අවිශ්ක තරිඳු, අවිශ්ක පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ලක්ෂාන් (නායක – වි-20 අංශය), සංතුෂ් ගුණතිලක, යසිරු රුද්‍රිගෝ, අම්ෂි ද සිල්වා, නිපුන් මාලිංග, උදිත් මදුශාන්, නිපුන් රන්සික, දිලුම් සුධීර, අෂෙයින් ඩැනියෙල්, මනෙල්කර් ද සිල්වා.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment