නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

1344

ලංකාවේ කර්මාන්ත ශාලා වැටෙද්දි සේවකයන්ට දෙසැම්බර් පඩි 03 බෝනස් එකක්

මාස 06ට ලාභය බිලියන යයි

ඉතිහාසයේ වැඩිම උක් ඇඹරීම හා සීනි නිෂ්පාදනය කර වාර්තා පිට වාර්තා තබයි….

සීනිවලට අමතරව වැඩිම විවිධාංගිකරණයට ලක්ව අතුරු නිෂ්පාදන රැසක් කරන එකම සීනි සමාගම

නැගෙනහිර එළිය කරන නැගෙන හිරු වෙමින් හිඟුරාන සීනි සමාගමේ හෙවත් ගල්ඔය වැවිලි සමාගම දිගාමඩුල්ල මිටියාවතට පමණක් නොව නැගෙනහිරම ඒකාලෝක කරමින් යෝධයකුසේ නැගී සිටින්නේ අභිමානවත් අයුරිනි.

ජාතියේ අවාසනාවකට මෙන් තවමත් මළකඩ කමින් දිරා යන යකඩ ගොඩක් බවට කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පත්ව තිබේ. සේනානායක සමුදුරෙහි නිල්වන් දිය දහරින් පෝෂණය වී දිගාමඩුලූ සරු පසේ, ආඩම්බරයෙන් නිලට නිලේ වැඩෙන උක් ගසේ පහසින් දිදුලන හිඟුරාන සීනි සමාගම හෙවත් ගල්ඔය වැවිලි සමාගම කන්තලේ මෙන් දශක ගණනාවක් මළකඩ කන යකඩ ගොඩක් බවට පත් වී තිබියදී මෙලෙස පිබිදීම සිහිනයක් දැයි විටෙක සිතේ.

නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

අද වන විට ගල්ඔය වැවිලි සමාගම වාර්තා පිට වාර්තා තබමින් ලාංකීය ඉතිහාසයේ කිසිදු සීනි සමාගමක් නොලැබූ විස්කම් සිදු කරමින් සිටින්නේ ජාතියට යෝධ ශක්තියක් ලබාදෙමිනි.

ගල්ඔය වැවිලි සමාගමට දිනෙන් දින දියුණු වන්නට නිසි නායකත්වය ලබාදෙන එහි විධායක අධ්‍යක්ෂක දනේෂ් අබේරත්න මහතා මෙලෙස අදහස් දක්වන්නට වූවේය.

”වැසී ගිය කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමේ සංකල්පය යටතේ රාජ්‍ය සහ පෞද්ගලික ව්‍යවසායකත්වය මත ආරම්භ කර සාර්ථක ලෙස පවත්වාගෙන එන පළමු කර්මාන්ත ශාලාව ලෙස ගල්ඔය වැවිලි සමාගම හඳුන්වන්නට පුළුවන්. මේක හරියට පොළොව යට වළදාපු මිනියක් ගොඩට අරන් සේලයින් දීලා පණ ගත්ත වගේ කාර්යක් තමයි සිදු වුණේ. අපි එදා මේ කර්මාන්ත ශාලාව භාර ගද්දි අවුරුදු 50 ක් පරණ යකඩ ගොඩක් තමයි අපිට ලැබුණේ. නමුත් මේ වන විට පියවරෙන් පියවර දහසක් වූ අභියෝග මැද, බාධක මැද අපිට පුළුවන්කම ලැබුණා අතිසාර්ථක ආකාරයෙන් අද ලාභ උපයන තැනක් බවට පත්කරගන්නට. සමහර පිට අයට මේ තත්ත්වය අවබෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත් දිගාමඩුල්ල ජනතාව, සැබෑ තත්ත්වය මොකක්ද කියලා දන්නවා. ලංකාවේ කාබනික පොහොර ගැන කතිකාවත ඇතිවෙන්න කලින් මීට වසර 03කට පෙර අපි කාබනික පොහොර හදන්න ගත්තේ.

නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

අප කිසිදු ලාභයක් නැතිව වසර 13ක් බිලියන 13 ක අති විශාල මුදල් කන්දරාවක් සීනි කම්හල නැවත ගොඩනගන්නට ආයෝජනය කරමින් ලංකාවේ කිසිම ව්‍යාපාරිකයෙක් නොකරන මහා කැපකිරීමක් කර එල්. ඕ.එල්.සී. සහ බ‍්‍රවුන්ස් ආයතනය විශිෂ්ට මෙහෙවරක් සිදු කරා. අද එහි ප‍්‍රතිඵල දිගාමඩුලූ ජනතාව ඉතා සතුටින් භුක්ති විඳිනවා. ප‍්‍රතිලාභ ලබනවා. ඉදිරියේදී තව තවත් ගොවීන් සහ සේවකයින්, ප‍්‍රජාව වෙනුවෙන් විශාල මෙහෙයක් ආයතනය විසින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අද විවිධාංගීකරණයට ලක් වෙමින් විශාල අතුරු නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරන එකම සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම බවද දනේෂ් අබේරත්න මහතා ‘ඉරිදා දිවයින’ට අදහස් දක්වමින් පවසා සිටින්නට වූවේය.

හිඟුරාන සීනි කම්හලේ ඉදි කිරීමේ කටයුතු 1955 වසරේ ආරම්භ කළ අතර 1960 වසරේදී ඇඹරීම් කටයුතු ආරම්භ කරන ලදී. 1978 වසරේදි හිඟුරාන සීනි කම්හල වැඩිම උක් අස්වැන්න වූ මෙ. ටොන් 224,608ක් අඹරා සීනි මෙ.ටොන් 15,735ක් නිපදවන ලදී.

වසර ගණනාවක් වසා දමා මළකඩ කන යකඩ ගොඩක් බවට පත්වූ හිඟුරාන සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම නමින් රාජ්‍ය සහ පුද්ගලික අංශය ඒකාබද්ධව 2006 වසරේදී ආරම්භ කළ අතර 2012 වසරේදී ප‍්‍රථම උක් ඇඹරීම සිදු කරන්නේ දහසක් වූ බාධකයන් මැදය. ඉන් පසු එතෙක් පැවති නිෂ්පාදන වාර්තා වෙනස් කරමින් ගල්ඔය වැවිලි සමාගම 2014 ලිත් වසරේ දී උක් මෙ.ටො. 2,46,344ක අස්වැන්නක් ලබා සීනි මෙ.ටො. 19,837 නිපදවා වාර්තාවක් තබන ලදී.

නැවතත් එම වාර්තාව අලූත් කරන්නට ගල්ඔය වැවිලි සමාගමේ පාලනාධිකාරියට 2021 ලිත් වර්ෂය තුළ හැකි වන්නේය. ඒ උක් මෙ.ටොන්. 3,56,647ක අස්වැන්නක් ලබා සීනි මෙ.ටො. 22,628ක් ලබා ගැනීම නව වාර්තාවකි.

ගල්ඔය වැවිලි සමාගම දිනෙන් දින දියුණු කරන්නට දිවා රෑ නොබලා වෙහෙසෙන ප‍්‍රධාන විධායක නිලධාරී සුරත් පෙරේරා මහතා මෙලෙස අදහස් දැක්වූයේය.

2015 වසරේ උක් වගා කරන ගොවි පවුල් 4312ක් සිටියා. 2021 වන විට පවුල් 8219 දක්වා වර්ධනය කරන්නට හැකි වුණා. 2015/16 වසරේදී හෙක්ටයාර් 3297ක් වගා කළ අතර එය 2021 වසරේදී හෙක්ටයාර් 6827 දක්වා වර්ධනය කිරීමට හැකි වුණා. අද මඩුල්ල, සියඹලාණ්ඩුව, නෙල්ලියද්ද, මහඔය ආදී අලූත් වගා බිම් රැසක උක් වගාව ව්‍යාප්ත වී තිබෙනවා. 2020 වසරේදී එතනෝල් ලීටර් මිලියන 5.62ක් නිෂ්පාදනය කළ අතර 2021 වසර වන විට එතනෝල් ලීටර් මිලියන 6.87 දක්වා එය ඉහළ ගොස් තිබෙනවා. උක් ටොන් එකකට අද ගොවියෙකුට රුපියල් 6500ක උපරිම මිලක් ලබා ගැනීමට හැකිව තිබෙනවා. ප‍්‍රවාහනය සඳහා උක් ටොන් එකකට රුපියල් 625 ගෙවන අතර ඒ අනුව උක් මෙ.ටො. එකක් සඳහා රුපියල් 7125ක් ආයතන විසින් වියදම් කරනු ලබනවා.

ඉදිරියේදී ගොවීන්ට උක් දඬු සඳහා ගෙවන මුදල් දැනට ගෙවන කාලයට වඩා අඩුවෙන් පියවීමට කටයුතු කරනවා. යූරියා පොහොර ද උක් ගොවීන් සඳහා පෙර පරිදිම ලබාදීම සඳහා ආයතනය කටයුතු කර තිබෙනවා. බිම් සැකසීම සඳහා සහන ක‍්‍රම ලබාදී තිබෙන අතර උක් වගාවේදී ආයතනයේ වාහන සහ යන්ත්‍රෝපකරණ ලබාදෙමින් ගොවීන් හට නොමිලේ සේවාවන් රැසක් සපයනවා. අස්වැන්න නෙළීමේදී ගෙවන අත්තිකාරම් මුදල මේ වන විට ටොන් එකක් සඳහා රුපියල් 1750 දක්වා වැඩිකර තිබෙනවා. ඒ සමගම වාරි පද්ධති, මාර්ග පද්ධති අලූත්වැඩියා කිරීම සඳහා විශාල මුදලක් ආයෝජනය කරමින් සකස් කරමින් තිබෙනවා. මෙම වසරේ කොම්පෝස්ට් මෙ.ටොන් 4050 නිෂ්පාදනය කරා. ඒ සමගම ගැඩවිලි දියර පොහොර නිෂ්පාදනය ආරම්භ කරා. පැරණි කම්හල නවීකරණය කරමින් කාර්යක්ෂමතාවය වැඩි කරගෙන යනු ලබනවා. මේ වන විට මෙ.වො. 8.75 ක විදුලියක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු සිදුකරමින් සිටින අතර සූර්ය ශක්තිය මගින් තවත් මෙ.වො. 2.5 ක විදුලියක් නිපදවීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම එතනෝල් නිෂ්පාදනය කිරීමේ දී බැහැර වන කාබන් ඩයොක්සයිඞ් එකතු කර පිරිසිදු කර සිසිල් බීම නිෂ්පාදනය සඳහා ලබාදීමට කටයුතු කරන අතර මීට අමතරව ස්කාගාරයේ අතුරුඵලයක් ලෙස මීතේන් වායුව නිෂ්පාදනය කිරීම ද සිදු කර ඒ හරහා දැවිතෙල් භාවිතය අඩු කර තිබෙනවා.

කාබනික පොහොර සහ ජීව කාබනික පොහොර ( bio fertilizer) නිෂ්පාදනය කිරීමට ද කටයුතු කරනු ලබනවා. නිසිසේ වගා ප‍්‍රදේශ හඳුනා ගෙන සාර්ථක වගාවක් සඳහා පාංශු විශ්ලේෂණ කටයුතු සිදු කිරීමටත් කටයුතු කරනු ලබනවා. ගල්ඔය වැවිලි සමාගම ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තබමින් ඉතාමත් සාර්ථක ආකාරයෙන් දිගාමඩුල්ලේ වගාබිම් අස්වද්දමින් ගොවියාගේ අතමිට සරු කරමින් සාර්ථක ලෙස කටයුතු කරන බව සුරත් පෙරේරා මහතා අදහස් දැක්වමින් පවසා සිටින්නට වූහ.

ගල්ඔය ව්‍යාපාරය යටතේ ඉඟිනියාගල සේනානායක සමුද්‍රයෙන් නිකුත්වෙන වම් ඇළෙන් වී වගාව සිදු කිරීමටත්, දකුණු ඇළෙන් උක් වගාව සිදුකිරීමටත් අපේක්ෂාව වන්නට විය. පසුගිය කාලයේ හිඟුරාන සීනි ආයතනය වසා දැමුණු පසු උක් බිම්වල වී වගාව සිදු කරන්නට විය. වී වගාව සඳහා වැඩි ජල ප‍්‍රමාණයක් වැය වෙන නිසා දකුණු ඇළෙන් මුළු වී වගා බිම් ප‍්‍රමාණය ම අස්වැද්දීමට නොහැකි වන්නට විය. එයට විකල්පයක් වශයෙන් මේ වනවිට නැවතත් උක් වගාව ආරම්භ වීමත් සමඟ වැඩි උක් වගා බිම් ප‍්‍රමාණයක් අස්වද්දා දකුණු ඇළ මාර්ගයෙන් වගා කරනා ගොවියා සුරක්ෂිත කිරීමට ගල්ඔය වැවිලි සමාගමට හැකිව තිබේ.

පසුගිය සමයේදී හිඟුරාන නගරය සවස් කාලයේ සොහොන් පිටියක් බඳුය. පාන් රාත්තලක්, බුලත් විටක් විකුණා ගැනීමටත් අපහසු විය.

නැවතත් සීනි යෝධයා පිබිදීමත් සමග පාන් රාත්තලක් විකුණා ගත නොහැකි නගරයේ අද වාහන විකුණමින් තිබේ. එදා කුලියක් වත් කිරීමට නොහැකි වූ අන්ත අසරණ වූ ප‍්‍රදේශවාසීන් හට වසර පුරා උක් වගා බිම් ආශ‍්‍රිතව ඕනෑ තරම් වැඩ ඇත.

ආයතනයක වටිනාම සම්පත මානව සම්පතයි. එම මානව සම්පත මැනැවින් කළමනාකරණය කරමින් ආයතනය දිනෙන් දිනම දියුණු කිරීමට කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරුණ මධුෂාන් මහතා මෙලෙස අදහස් දැක්වූයේය.

මේ වන විට ගල්ඔය වැවිලි සමාගම දිගාමඩුල්ලේ ජන ජීවිතය සාර්ථක කරමින් දිනෙන් දින දියුණු වෙමින් තිබෙනවා. 2020 වසරේදී අපේ‍්‍රල් මස අපි ආයතනයේ සේවකයන්ට පඩි භාගයක ප‍්‍රසාද දීමනාවක් ලබා දුන්නා. 2020 දෙසැම්බර් මාසයේදී වැටුපක ප‍්‍රසාද දීමනාවක් ද, 2021 වසරේ අපේ‍්‍රල් මාසයේදී වැටුප් එකහමාරක ප‍්‍රසාද දීමනාවක්ද ලබා දී දෙසැම්බර් මස වැටුප් තුනක ප‍්‍රසාද දීමනාවක් ලබා දෙන්නට අප ආයතනය කටයුතු කරනු ලැබුවා. මේ වනවිට මෙම මුල්‍ය වසරේ මාස 06ක් තුළ බිලියනයක ශුද්ධ ලාභයක් ලැබීම සඳහා ගල්ඔය වැවිලි සමාගමට හැකියාවක් ලැබුණා. 2020/21 මූල්‍ය වසරේ ද මිලියන 742 ලාභයක් ආයතනය ලැබුවා. මේ වන විට සේවකයන්ට ඉතා ඉහළ අතිකාල දීමනා ලබාදෙමින් නොමිලේ ආහාර පාන පවා ලබාදීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම සේවකයින් සහ පවුලේ සාමාජිකයින් පැය 24 පුරාම ආවරණය වන පරිදි රක්ෂණ ආවරණයක්ද, ඒ වාගේම පැය 24 පුරාම වෛද්‍ය පහසුකම් ලබාදීමට වෛද්‍ය මධ්‍යස්ථානයක් ද ආරම්භ කර තිබෙනවා.

නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

සේවකයන්ගේ සුබසාධනය කටයුතු ඉතා ඉහළ මට්ටමින් තිබෙනවා. මානසික සුවය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සමාගම කටයුතු කර තිබෙනවා. නවීන පහසුකම් සහිත ආපන ශාලා දෙකක් කර්මාන්තශාලාව තුළ ඉදිකර ඇති අතර සුබසාධක සංගමය හරහා වෙළෙඳසලක් සකස් කර සේවකයන්ට තම වැටුපෙන් අය වෙන ආකාරයෙන් අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. සේවක ගැටලූ විසඳීමට පිහිටුවා ඇති මානව සබඳතා කමිටුව මගින් සේවක ගැටලූ විසඳීමට කටයුතු කරමින් තිබෙනවා.

දිගාමඩුල්ල මිටියාවතේ පාසල්, වෙහෙර විහාර ඇතුළු ආගමික ස්ථාන ජනතාව වෙනුවෙන් විවිධ වූ ප‍්‍රජා සත්කාර සිදුකරමින් කොවිඞ් වසංගතයෙන් පාසල් දරුවන් මුදා ගැනීම සඳහා පාසල් පවා විෂබීජහරණය කරමින් විශාල කාර්යභාරයක් මේ වෙන විට සිදුකරමින් තිබෙනවා. නියං සමයේ පානීය ජලය ලබා දෙනවා.

ආයතනය තුළ සේවකයන් 1250ක් සේවය කරන අතර වක‍්‍රාකාරයෙන් පවුල් 20000 ට අධික ප‍්‍රමාණයකට සෙත සැලසෙනවා. පරිසර ආරක්ෂණ සහතිකය ලත් එකම සීනි සමාගම ගල්ඔය වැවිලි සමාගම යැයි වරුණ මධුෂාන් මහතා පවසා සිටියේය.

නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

කොරෝනා පීඩනය සීනි යෝධයා නිසා දිගාමඩුල්ල ජනතාවට නොදැනිණ. කොවිඞ් නිසා ලංකාවෙම කර්මාන්ත ශාලා කඩා වැටෙද්දී සේවකයන්ට වැටුප් ගෙවා ගත නොහැකිව ආයතන වසා දමද්දි හිඟුරාන සීනි යෝධයා කොවිඞ් මාරයාට අභියෝග කරමින් පසුගිය 2021/22 වර්ෂයේ මුල් මාස හය තුළදී බිලියනයක ලාභ ලබන්නට විය. සේවකයන්ට බෝනස් පිට පිට බෝනස් ලබාදෙමින් වාර්තා පිට වාර්තා තබන්නට විය. වසා දැමුණ හිඟුරාන සීනි සමාගමට නැවත පණ නොදුන්නේ නම් මෙවන් විස්කමක් සිදුවේද?

උක් වගාව සහ සීනි ආයතනය පිළිබඳ ලංකාවේ හොඳින්ම දන්නා වනජීවී හා වන සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ කඩා වැටී වසර 13 මේ ආයතනය වසා දමා තිබුණා. ගල්ඔය වැවිලි සමාගම මෙය නැවත ගොඩනගන්න වගකීම භාර ගත්තා. දීර්ඝකාලයක් අති විශාල මුදලක් වියදම් කරලා මහත් පරිශ‍්‍රමයක් දරලා නැවත ගොඩ නැගුවා. ඒ හරහා නැවත හිඟුරාන සීනි කම්හල දිනෙන් දින දියුණු වෙලා අද වන විට සාර්ථකව බිලියනයකට අධික ලාභයක් ලබා ගන්නා මට්ටමට ඇවිත් තිබෙනවා. කර්මාන්තශාලාවේ කටයුතු නව තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදන වියදම අඩු කරවීමට රජය සමග තිබෙන ගිවිසුම් අනුව යම් බාධා පැමිණ තිබෙනවා. ඒවා ඉවත් කර රජයෙන් අදාළ සහයෝගය ලැබෙන්නේ නම් නිෂ්පාදන වියදම අඩු කරල ගොවීන්ට සහ සේවකයින්ට, සමාජයට තව තවත් ප‍්‍රතිලාභ ලබාදීමට හැකි වෙනවා. මේ වෙනවිට ගැටලූ විසඳා ගනිමින් ගල්ඔය වැවිලි සමාගම නැගෙනහිර ආර්ථිකයේ පමණක් නොව ජාතික ආර්ථිකයට මහා ශක්තියක්ව තිබෙනවා. ආයතනයේ නව කළමනාකරණය විසින් ඉදිරියේදිත් එය හොඳින් ක‍්‍රියාත්මක කරනු ඇතැයි මා විශ්වාස කරන බවත් විමලවීර දිසානායක මහතා අදහස් දක්වමින් පවසා සිටියා.

2015 සිට සීනි මෙ.ටො 1,29850ක් ගල්ඔය වැවිලි සමාගම මගින් නිපදවා ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 65කි. 2018 වසරේ සිට මේ දක්වා එතනෝල් ලීටර් මිලියන 19.5ක් නිපදවා ඇති අතර එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 19.35කි.

නැගෙනහිරම එළිය කරන නැගෙන හිරු හිඟුරාන සීනි යෝධයා…

මහා ධනස්කන්ධයක් ජාතියට ඉතුරු කර දෙමින් රටට මහත් ශක්තියක් සැපයූ ගල්ඔය වැවිලි සමාගම 2010 වසරේ සිට මේ දක්වා සේවක වැටුප් වෙනුවෙන් මිලියන 3600ක්ද ගොවීන් වෙනුවෙන් මිලියන 6800 ක්ද සේවා සපයන්නන් වෙනුවෙන් මිලියන 4800ක්ද ගෙවා ආර්ථිකයට මහත් ශක්තියක් වී තිබේ.

අතීතයේ වෘත්තිය සමිති ඇතුළු කිහිපදෙනෙකුගේ කුහක ක‍්‍රියාකාරකම් නිසා හිඟුරාන සීනි සමාගම වසා දමන්නට සිදුවිය. ඒ අයුරින් වසා දැමුණු කන්තලේ තාම මළකඩ කන යකඩ ගොඩක්ම පමණි. එයින් කෝටි ගණන් ගසා ගන්නට ගිය ලොක්කෝ නීතියේ රැහැනට හසුව අවසන්ය. හාස්කමක් විලසින් ගල්ඔය වැවිලි සමාගම මේ වන විට හිඟුරාන සීනි යෝධයාට නැවත පණ දී තිබේ. එවන් තත්ත්වයක් යටතේ අද ද කිහිප දෙනෙකු එකතු වී ගල්ඔය යෝධයා මරා දමා විනාශ කර ජන ජීවිතය අවුල් කිරීමට අසාර්ථක උත්සාහයක් දරමින් තිබෙන බව දිගාමඩුල්ලේ ජනතාව සහ ගොවීන් දැඩිසේ පිළිකුලින් පවසා සිටිති. මහින්ද චින්තන වැඩසටහන යටතේ මහින්ද ජනාධිපතිතුමා හිඟුරානේ සීනි සමාගම නැවතත් ආරම්භ කරන්න කටයුතු කරපු නිසා අපි බඩගින්න නිවා ගන්නවා. ජනාධිපතිතුමනි බොහොම පින්. ඒ හිඟුරාන ජනතාවගේ හඬයි.

කවදාවත්ම ගල්ඔය වැවිලි සමාගම නැවත වසා දමන්නට ඉඩ දෙන්නේ නෑ. යෝධ පවුරක් විලසින් දිගාමඩුල්ලේ ජනතාව සමඟ එකට අත්වැල් බැඳගෙන රැකීමට කටයුතු කරන බවද දිගාමඩුල්ලේ ගරුතර මහා සංඝරත්නය පවසා සිටින්නේ නැවතත් ජන ජීවිතය කඩා වැටෙන්නේ කිසිසේත්ම ඉඩ නොදෙන බවය. ගල්ඔය වැවිලි සමාගම ගොඩනැගීම සඳහා ආරම්භයේ සිටම කටයුතු කළ, දහඩිය කඳුළු හෙළුෑ නිලධාරීන් බොහෝ පිරිසකි. එම නිලධාරීන්ට සහ වත්මන් පාලන අධිකාරියට ද ප‍්‍රදේශවාසීන් ගෞරවනීය ස්තුතිය පුද කර සිටිති.

සුසන්ත අමරබන්දු

advertistmentadvertistment
advertistmentadvertistment