නැගෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරැඹෙයි

122

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ පැවැති නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර හත්දහසක් ව්‍යාජ ඔප්පු සකසා රුපියල් කෝටි දහසකටත් අධික මුදලකට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පුළුල් විමර්ශනයක් අරඹා තිබේ.

ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සමිත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.

ඉඩම ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නැගෙනහිර පළාත් ප්‍රදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂවරයා විසින් නැගෙනහිර රජයේ ඉඩම්වල රාජ්‍ය අයිතිය විකෘති කොට මෙම ජාවාරම මෙහෙයවන බවට මීට මාස කිහිපයකට ඉහතදී චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව සිදු කළ විනය පරීක්‍ෂණයකින් පසු නැගෙනහිර පළාත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රාදේශීය කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂ එන්. විමලරාජ් මහතා ඉකුත් පෙබරවාරි 24 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභා සේවයෙන් ඉවත් කිරීමට එහි සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මහතා පියවර ගත්තේය.

ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අදාළ විමර්ශනය අරඹා ඇත්තේ එම සිද්ධියත් සමගය. අදාළ විමර්ශනය පැවත්වෙමින් තිබියදී හිටපු ඇමැතිවරයකු විසින් මේ වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා සේවයෙන් ඉවත් කළ සහකාර අධ්‍යක්‍ෂවරයාට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ විශ්වවවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා කවුන්සලයේ සාමාජික තනතුරක් ලබා දීමට පියවර ගෙන ඇත.

ඔහු එසේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ තනතුරකට පත් කිරීමත් සමග ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නැගෙනහිර ඉඩම් ජාවාරම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය කරන විමර්ශනයට අනුව අදාළ අත්‍යවශ්‍ය තොරතුරු ලබාදීම ප්‍රමාද කරමින් තිබෙන බව ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නැගෙනහිර ඉඩම් ජාවාරමෙන් අසාධාරණයට පත්වූවන්ගෙන් සැදුම්ලත් සිවිල් සංවිධාන සඳහන් කරනුයේ හිටපු අධ්‍යක්‍ෂවරයාට විදේශගත වීමට අවස්ථාව ලබාදී සියලු විමර්ශන යටපත් කිරීමේ අරමුණින් අදාළ ප්‍රමාද කිරීම් සිදු කෙරෙන බවකි.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment