නැගෙනහිර ජනතාවගේ ඉඩම් කොල්ලකන බහිරවයෙක්

127

නැගෙනහිර පළාතේ බහුතර ජනතාව යනු ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත්වීමේ සටනට මුහුණ දී සිටින පිරිසක් බව කිසිවකුටත් රහසක් නොවන්නකි. කලක් ඔවුහු එල්.ටී.ටී.ඊ.යේ යුද ගැටුම් හේතුවෙන් අනේකවිධ දුක්ගැහැටවලට මහුණ දුන්හ. මෙහිදී වැඩි වශයෙන් බැට කෑවෝ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවය. වරෙක ඔවුනට උන්හිටි තැන් අහිමි විය. ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ සිදුවීම්ද බොහෝය. එල්.ටී.ටී.ඊ.යේ යුද ගැටුම් නිමාවට පත්ව රටට සාමය උදාවන තෙක්ම ඔවුහු එකී අපාගත ජීවිතයේ විඳෙව්වාහ.

එසේම අද දවසේ එල්.ටී.ටී.ඊ.යේ ක්‍රියාකාරකම් එම ප්‍රදේශයන්හි සිදු නොවුණද තවමත් ඔවුන්ගේ ජීවිත දුක්ඛදායකය. එවන් තත්ත්වයකින් එකී මිනිස් ජීවිත පීඩිතව සිටියදී මේ මොහොතේත් ඔවුන් ජීවත්ව සිටින බිම් අඟල පවා අහිමි වන පරිසරයක් එහි ඇතිවී තිබේ නම් එය මොනතරම් ඛේදනීය වන්නක්ද?

විවිධ දේශපාලනික බලපෑම් හමුවේ ඡන්ද කුට්ටි දෙස බලා ක්‍රියාත්මක විය යුතු රජයේ බලධාරීන් එම තත්ත්වය තුළදී මුනිවත රකීනම් එම ජනතාවට අත්වන ඉරණම පිළිබඳව කියන්නට වදන් නොමැති තරම්ය. අප එසේ සටහන් කරනුයේ වගකීම් පැවරී තිබුණු පැවති රජයන්හි දේශපාලන බලධාරීන් මෙන්ම වත්මන් රජයේ බලධාරීන්ද නිහඬව බලා සිටියදී කාලයක සිට එක්තරා අන්තවාදී ව්‍යාපාරික කල්ලියක් ඇතැම් දේශපාලනඥයන්ගේ බලය අතට ගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් මෙන්ම රජයේ ඉඩම්ද කොල්ලකමින් මහා ජාවාරමක යෙදී සිටීම හමුවේය.

රජයේ සහ පෞද්ගලික ඉඩම්වලට ඔප්පු සකසා බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් එම ප්‍රදේශයේ සමස්ත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයම මුදලට යටකර ගනිමින් අදාළ ඉඩම් විකුණා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන මේ අන්තවාදී ව්‍යාපාරික කල්ලියේ කෙරුවාවන් පිළිබඳ අපි ඉකුත් ඉරිදා ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ කුඩා සටහනක් තැබුවෙමු.

ඒ සමඟ ඉකුත් දිනක පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ ශිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇමැතිවරයා සඳහන් කර සිටියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මඩකලපු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්‍ෂවරයා මෙම ඉඩම් කොල්ලයේ ප්‍රධාන කොටස්කරුවකුවී සිටින බවය.

මෙහිදී එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම දැවැන්ත ඉඩම් කොල්ලය සඳහා අදාළ අන්තවාදී ව්‍යාපාරික කල්ලියට පූර්ණ සහාය ලබාදෙන බවද හෙතෙම පෙන්වා දෙනු ලැබීය.

එහෙත් රජයේම ඇමැතිවරයකු ලෙස ශිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් ඇමැතිවරයා එසේ කරුණු දක්වා සිටියද මෙම ඉඩම් ජාවාරමට එරෙහිව රජයේ මට්ටමින් ගනු ලැබූ පියවරක් අදටත් දැනගැනීමට නැත.

නැගෙනහිර ජනතාවගේ ඉඩම් කොල්ලකන බහිරවයෙක්
කොල්ලකන ලද ඉඩම් කිහිපයක චන්දිකා දර්ශන

බලධාරීන්ගේ නිහඬ බව එසේ වෙද්දී වසර ගණනාවක සිට ක්‍රියාත්මක මෙම ඉඩම් කොල්ලයට අනුව අදාළ අන්තවාදී ව්‍යාපාරික කොල්ලකරුවන් එරාවුර්පත්තු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ පමණක් කොල්ල කා ඇති රජයේ සහ පෞද්ගලික ඉඩම් ප්‍රමාණය අක්කර දෙදෙහසද ඉක්මවා තිබෙන්නකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන සඳහන් කරන්නේ මේ වන විට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාව යටතේ ඇති ඉඩම්, රජයේ ඉඩම්, යුද්ධයෙන් අවතැන්වූවන්ගේ ඉඩම්, ඇළ දොළ ගංගා නිම්න, වෙරළ ඉඩම් ආදී වශයෙන් ඉඩම් රාශියක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින අදාළ අන්තවාදී ව්‍යාපාරික කල්ලිය ඒවාට ව්‍යාජ ඔප්පු සකස්කර මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි කර විකුණා දමා තිබෙන බවය.

මෙහිදී කොල්ලකන ලද ඇතැම් ඉඩම් විකිණීමට තිබෙන බවට ප්‍රසිද්ධියේ දැන්වීම් දමා ඇති මෙම කල්ලිය ඒවායෙහි ගැනුම්කරුවන් ඇමැතිය යුතු දුරකථන අංක පවා සඳහන් කර ඇතැයි ද පවසන ඔවුහු මේ සඳහා ඔවුන්ට ප්‍රදේශීය සභා, රෙජිස්ට්‍රාර් කාර්යාල, මනින්දෝරුවන්, නොතාරිස්වරුන් ආදී ලෙස දිස්ත්‍රික්කය තුළ ඇති සමස්ත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේම සහාය ලැබෙන බවද පෙන්වා දෙන්නාහ.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශය තුළ සිදුව ඇති මෙම ඉඩම් කොල්ලයේදී වැඩිම බලපෑමක් මේ වන විට එල්ල වී තිබෙන්නේ කළුවන්කර්නි ග්‍රාමසේවා වසමටය.

එහි තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 545 ක් කොල්ලකා ඇති අදාළ අන්තවාදී කල්ලිය එම ඉඩම්වලට ඔප්පු සකසා මුලන්ම කර ඇත්තේ එක්තරා පවුලක සාමාජිකයන්ගේ නමට එම ඉඩම් පැවරීමය. අනතුරු එක් කොටසක් ලෙස පැවති අදාළ ඉඩම් අක්කර 545 ම මෙරට පවතින සියලුම නෛතික අණපනත් උල්ලංඝනය කරමින් විදේශීය සමාගමකට අලෙවි කිරීමට පියවර ගෙන ඇත.

මෙහිදීත් මඩකලපු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ සහාය අදාළ ජාවරම්කරුවන්ට නොඅඩුව ලැබුණ බව දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

කොතැනක හෝ මේ අන්දමට කටයුතු සිදු වෙද්දී අපේ පැරැන්ණන් ‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව’ ලෙසින් අපූරු අප්තෝපදේශයක් පැවසීමට පුරුදුව සිටියහ. අද මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මෙකී අන්තවාදී ව්‍යාපාරික කල්ලියේ ඉඩම් කොල්ලය දෙස බලා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය හමුවේ අපට කියන්නට ඇත්තේ ඒ කතාවමය.

අදාළ කොල්කරුවන් එකී අක්කර 545 ක ඉඩම විදේශීය සමාගමකට අලෙවි කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් දිස්ත්‍රික්කයේ ඉඩම් ලියාපදිංචි කිරීමේදී ක්‍රියා කළයුතු ආකාරය සඳහන් උපදෙස් සහිත චක්‍රලේඛ ගණනාවක් තිබියදී වීමද මෙහිදී සඳහන් කළ යුතුව තිබෙන සුවිශේෂී කරුණකි.

මෙකී කල්ලිය එම අක්කර 545 ක ඉඩම විදේශීය සමාගමකට අලෙවි කිරීමේදී එකී චක්‍රලේඛ තිබී ඇත්තේ හමස් පෙට්ටිවල යැයි සිතෙන තරමටම ජාවාරම්කරුවන් ක්‍රියාත්මකව ඇත්තේ විශ්මිත අන්දමටය.

එසේම මෙහිදී විදේශිකයන්ට මෙරට ඉඩම් අලෙවි කිරීමේදී අනුගමනය කළ යුතු නෛතික පියවර සඳහන් විදේශ විනිමය විධිවිධාන පනතද උල්ලංඝනය කරමිනි. එවැනි ගනුදෙනුවකදී විදේශ විනිමය පාලකවරයාගේ අවසරය ලබාගත යුතු බවට පනතේ සඳහන් වුවද මෙම අන්තවාදී ව්‍යාපාරික කොල්ල කල්ලිය එහිදී කටයුතු කර ඇත්තේ රටේ නීතිය තම සාක්කුවේ තිබෙන පරිද්දෙනි.

මෙකී අන්තවාදී ව්‍යාපාරික කොල්ල කල්ලියේ තවත් වැඩපිළිවෙළක් හේතුවෙන් එරාවුර්පත්තු ග්‍රාම නිලධාරී වසමේ තාලබාය ග්‍රාම නිලධාරී වසමේ ජීවත් වූ පවුල් විසිපහක පුද්ගලයන්ට අදටත් සිදුව ඇත්තේ සරණාගතයන් සේ ජීවත් වීමටය.

යුද ගැටුම් හමුවේ අනෙක දුක් විඳි එම ජනතාවට අයත් ඉඩම් ඔවුන්ට ලබාදීමට සූදානම්ව තිබියදී එයට එරෙහිව ක්‍රියාත්මක වූ දේශපාලන හස්තයක් හේතුවෙන් එම ජනතාවට අදාළ ඉඩම් නොලැබී යද්දී ඉහතකී අන්තවාදී කල්ලිය ඒවා අත්පත්කර ගෙන විකුණා දැමීම එයට හේතුවී තිබේ.

මේ අන්දමටම ඉකුත් යුද සමයේ රජයේ හමුදා මෙන්ම ඉන්දීය සාමසාධක හමුදාවේ භට පිරිස් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් රැඳී සිටි ප්‍රදේශයේ සාමන්‍ය ජනතාවට අයත් ඉඩම් සහ ගේදොර සියල්ලට අද අත්ව තිබෙන්නේද මේ ඉරණමමය.

අදාළ සන්නද්ධ පිරිස් යුද්ධයේ නිමාවත් සමඟ එම ස්ථානවලින් ඉවත් වීමෙන් පසු එම ඉඩම් අල්ලාගත් ඉහත කී අන්තවාදී ව්‍යාපාරික කල්ලිය ඇතැම් දේශපාලනඥයන්ගේද සහාය ඇතිව ව්‍යාජ ඔප්පු සකසා එම ඉඩම් සහ දේපළ අලෙවි කර ඇතතේ ඉතාම නින්දිත අන්දමටය.

එමෙන්ම යුද්ධයට පෙර මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව ජීවත් වූ ඉඩම් සියල්ලද මේ වන විට මෙකී කල්ලියේ ග්‍රහණයට හසුව කෝටි ගණනට විකිණී ගොස් අවසන්ය. එහෙත් දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නිහඬය. සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ ලක්‍ෂ ගණනින් සිදු කෙරෙන අතයට ගනුදෙනු නිසා සියලු අකටයුතුකම් සිදුවෙමින් තිබෙන බවය.

මේ වන විට අදාළ අන්තවාදී ජාවාරම්කාර කල්ලියේ සාමාජිකයන්ව සිටිනුයේ පුද්ගලයන් නව දෙනෙකි. දිස්ත්‍රික්කයේ සමස්ත රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයම මුලට නතුකර ගනිමින් නැගෙනහිර ඉඩම් කොල්ලය සිදුකරන මහ මොළකරුවෝ වී සිටින්නේ එම නවයේ කල්ලිය වන්නාහ.

ඉන් එක් අයකු එරාවුර් චෙයියන්කර්නි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තවත් අයකු පොලිසියේ හිටපු සැරයන්වරයෙකි. මන්මුනෙයි උතුර ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙක්, ගුරුවරයෙක්, ඉඩම් තැරැව්කරුවෙක්, ඉංග්‍රීසි ගුරුවරයෙක්, එරාවුර් සුනනකුඩා පාරේ පදිංචිකරුවෙක්, ප්‍රදේශීය දේශපාලනඥයෙක් සහ පෞද්ගලික බස් රථ හිමිකරුවෙක් මෙකී ජාවාරම්කාර අන්තවාදී කල්ලියේ සෙසු සාමාජිකයෝ වෙති.

මොවුන්ගේ මෙම ජාවාරම හේතුවෙන් මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ ජාතික සංහිඳියාවට එල්ල වී තිබෙන ප්‍රහාරයද සුළුපටු නොවේ.

එහෙයින් මෙම ජාවාරම්කාර කල්ලියේ අන්තවාදී වැඩපිළිවෙළට තිත තබා තමන්ගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය සුරක්‍ෂිත කරදෙන මෙන් අන්ත අසරණව පීඩාවට පත්ව සිටින මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

මේ බිම තිබෙන්නේ තවදුරටත් ලෙයින් සේදී යා යුතු තැනක නොවන්නේය. ඒ බව සිහිබුද්ධියෙන් ජීවත් වන ඕනෑම අයකුට වැටහී යා යුතුය. ඉකුත් තිස්වසරක කාලයේ සිදුවිය යුතු ඛේදනීය දේ සියල්ල දැන් සිදුවී අවසන්ය. එහෙයින් මේ මොහොතේ කටයුතු සිදුවිය යුතුව තිබෙන්නේ අලුයට තිබෙන ගිනි පවා නිවා දැමෙන අන්දමටය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජාතික සංහිඳියාව බිඳවැටෙන අන්දමින් සිදු කෙරෙන මෙකී ඉඩම් කොල්ලය හමුවේ අදාළ බලධාරීන් දෙස බලා අපට ඉන් එහා කියන්නට දෙයක් මේ මොහොතේ නැත. අදාළ බලධරයනි, කිසිසේත්ම ඛේදාන්තයක නිමිත්තක් බවට මෙකී අන්තවාදී ජාවාරම්කාර කල්ලියේ ඉඩම් කොල්ලය පත් නොවේවා යන්න අපේ එකම ප්‍රාර්ථනාවය. එසේ සඳහන් කිරීමට සිදුව ඇත්තේ අද මඩකලපුව දිස්ත්‍රික්කය පුරා සිදුවෙමින් තිබෙන ක්‍රියාවේ ඇති බරපතළකම හමුවේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment