නැතිබැරිකමට හා සැකයට පොල්ලකින් පිළිතුරු සෙවූ නරුම පියෙකුගේ ඉරණම

1558

බිරිඳ වෙන්ව ගිය දුකට දරුවන්ටත් පහර දී රුවන් එල්ලී මියයයි…

පියා පහරදුන් දරුවන් දෙදෙනෙක් තවමත් දැඩිසත්කාරයේ…
ලොකුදුව සාමාන්‍ය තත්ත්වයට…

ගෙවා ගන්න බැරි තරමට බැංකු ණයත් අරගෙන…

දේවහුව දෙවනත් විය. ඒ ගම්වාසීන් ළතෝනී දුන්නේ ගෙල වැළලාගෙන මිය ගිය රුවන් දැක නොවේ. ඒ උන්මත්තක පියා විසින් තම ලෙයින් ජාතක කළ දරු තිදෙනාට අමානුෂිකව පහර දී ලේ විලක් මැද වැටී සිටින අයුරු දුටු විටය. පසුගිය 12 වැනිදා හිමිදිරියේ ගල්ගමුව, දේවහුව වටගලින් ඇසුණු ඒ අවාසනාවන්ත කතාව කන වැකුණු සංවේදී සිත් කම්පනයට පත් වූ බව නිසැකය. එහෙයින් යළි, යළිත් ඒ කඳුළු කතාව මතක් කිරීමට කැමැති නැත. එහෙත් අකමැත්තෙන් වුවද ඒ කතාව සටහන් තැබීමට සිදුව ඇත.

උඩගෙදර රුවන් චාමික ගමේ ප‍්‍රසිද්ධ චරිතයකි. මුහුණු පොතේ ද නිතර සැරිසරන කෙනෙකි. කාලයක් රට රකින ආරක්‍ෂක අංශයේ සේවය කර ඇති ඔහු විවිධ හේතු නිසා ඉවත් වී තිබේ. අනතුරුව කුලී රස්සාව ජීවන වෘත්තීය කරගත් ඔහු නිල්මිණි සමග සතුටින් ජීවත් විය.

නිල්මිණි හැඩකාරය. පියකරුය. ළා බාලය. රුවන් සමග දීග යනවිට ඇයට වයස අවුරුදු පහළොවකි. පාසල් වියේ පසු වූ නිල්මිණි අම්මා කෙනෙක් වීමට වැඩි කාලයක් ගත නොවිණි. ආදරයෙන් පිරී තිබුණු ඒ සොඳුරු කැදැල්ලට කුළුදුලේ පැමිණියේ දූ සිඟිත්තියකි. පුංචි දියණියට වයස අවුරුදු පහක් පමණ වනවිට නැවත නිල්මිණි පුත් කුමරෙක් ගෙනාවාය. ඊට වසර දෙකකට පසු රුවන්ගේ පුංචි පවුලට තවත් අමුත්තෙක් පැමිණියේය. ඒ කිිරිකැටියා ද පුංචි පුතෙකි.

ටිකෙන්, ටික දරු පවුල වැඩි වනවිට රුවන් කුලී රස්සාවෙන් උපයන මුදල පවුලේ වියදමට ප‍්‍රමාණවත් නොවිණි. වැඩිමහල් දරුවන් දෙදෙනා අධ්‍යාපන කටයුතුවල නියැළීමට පටන් ගැනීමත් සමග පවුලේ වියදම තවත් වැඩි විය. තිස්හය වැනි වියේ පසු වූ රුවන් ද සෙල්ලක්කාරය. හිත, මිතුරන් සමග සාප්පායම් වීමට ද ඔහුට යම් මුදලක් වියදම් විය. හරි හම්බ කරන මුදල ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවූ තැන ණය දෙන ආයතන දෙකකින්ම ණය මුදල් ලබාගෙන තිබිණි. කාලයත් සමග ණය පොලී පැටව් ගසමින් ගෙවීමට තියෙන මුදල විශාල විය. ණය ලබාදුන් ආයතනවල නියෝජිතයන් නිතර නිවසට පැමිණියේය. ඒ අල්ලපනල්ලේ රුවන් තම තරුණ බිරිඳව ද සැක කළේය.

‘කොරේ පිටට මරේ’ දෙදෙනා අතර නිතර ඇතිවන වචන හුවමාරු අඩදබර දක්වා වර්ධනය විය. දවසින් දවස ගෙදර අඟහිඟකම් වැඩි වෙමින් ණය උගුලේ හිර වෙනවිට රුවන් සහ නිල්මිණි අතර අඩදබර ද වැඩි විය. ඒ අඩදබර ගුටි කෙළියක් දක්වා වර්ධනය වීමට වැඩි කාලයක් ගත නොවිණි. රුවන් මත් වී පැමිණෙන බොහෝ දිනවල රණ්ඩු සරුවල්වලින් පුංචි නිවස දෙදරන්නේය. බියෙන් සලිත වූ පුංචි දරුවෝ තිදෙනා හඬා වැළපුණහ.

‘හැමදාම තමුසෙගෙන් ගුටි කකා ඉන්නේ නෑ…’ නිල්මිණි හඬා වැළපෙමින් එසේ කියන්නීය.

‘ඉතිං පලයං. මම උඹව අල්ලගෙන නෑ…’’ කෝපයෙන් පිපිරෙන රුවන් දරුවන්ගේ මවට සැලකුවේ එසේය. එහෙත් නිල්මිණි දරුවන් අතහැර යයි කියා රුවන් සිහිනයෙන්වත් නොසිතුවේය. දෙදෙනාගේ අඩදබර අඩු නොවිණි. කාලය ගෙවී ගියේය. රුවන් නොසිතූ මොහොතක නිල්මිණි නිවසෙන් පිටව ගියාය. එය කනවැකුණු පසු රුවන්ගේ ඉහ මොළ ද රත් විය. හදවත දෙපළු වූ තරමට වේදනාවක් දැණිනි.

‘‘එයාට, මම නැතිව ඉන්න බෑ. දරුවන්ගේ මූණ නොදැක්කොත් නින්ද යන්නෙත් නෑ, ඔය ගියාට හැන්දෑ වෙන්න ඉස්සෙල්ලා එයා ගෙදර එනවා…’’ රුවන් එසේ සිත සැහැල්ලූ කර ගත්තේය. එහෙත් සිදු වූයේ වෙන දෙයකි. දින සති මාසයක් ද ගෙවී ගියේය. නිල්මිණි නැවත පැමිණියේ නැත. නිල්මිණි ගැන ම සිතමින් සිටි රුවන්ගේ මොළය විකාර විය. කුලියක් කර ගෙදර පැමිණි පසු බලා ගත් අත බලා සිටියේය.

‘‘තාත්තේ බත් කමු…’’ සිඟිති පුතුගේ සුරතල් වදන් රුවන්ට නො ඇසිණි. රුවන්ගේ දෙසවනේ රැව් දුන්නේ නිල්මිණි කොඳුරන හඬ පමණි. රුවන්ගේ මනසේ ඇඳුණේ නිල්මිණිගේ රුව පමණි.

‘‘දරුවන්ටත් සංකාව වගෙයි. ගෙදර එන්න නිල්මිණි. මම ආයෙත් කිසිම දවසක රණ්ඩු කරන්නේ නෑ. දිවුරලා පොරොන්දු වෙන්නම්…’’ නිල්මිණිට ගෙදර එන ලෙසට රුවන් කිහිප විටක් ම ඇවිටිලි කළේය. එහෙත් ඇය කනකට නො ගත්තාය. නිල්මිණි ගෙදර නොයෙන වේදනාවෙන් රුවන් නොසෑහෙන්න තැවිණි. හදවත දවන වේදනාව ඔහු මෙසේ ගීතයකින් මුහුණු පොතට ද එකතු කර තිබිණි.

ඔබ මා හමු වුණු මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි…

කරුණාරත්න දිවුල්ගනයන්ගේ ජනප‍්‍රිය ගීතයක් දුක්බර හඬින් රුවන් ගායනා කරන අයුරු නිල්මිණිට අසන්නට ලැබුණා ද අපි නොදනිමු. එහෙත් ඒ වෙනකොට රුවන් සිත සමග ගැඹුරු සංවාදයක සිටි බව නම් සැක නැත. ඒ ‘නිල්මිණි නැතිව මට ඉඳලා වැඩක් නෑ… මම නැති වුණොත් දරුවො තුන්දෙනා බලා ගන්නේ කවුද? නිතර එසේ සිතූ රුවන්ගේ සිතට කරුමක්කාර අදහස පහළ විය.

‘‘දරුවො තුන්දෙනාවත් මරලා, මාත් මැරෙනවා…’’ බිරිඳ හැර ගිය කම්පනයෙන් ගල් වූ සිතේ ඒ නරුම අදහස දලූ ලා වැඩිණි.

මූසල දිනය උදා විය. ඒ පසුගිය 12 වැනිදා ය. එදා රුවන් රැකියාවට ගියේ නැත. නිවසේම රැඳුණු ඔහු රහසේම බොහෝ දේ සැලසුම් කළේය. අඩි තුනක් පමණ දිග, බරැති පොල්ලක් කපා නිවස තුළ සඟවා තැබුවේය. සවි ශක්තිමත් කඹයක් සූදානම් කර නිවස පිටුපස සඟවා තැබුවේය. දවස කළුවර විය. ආච්චි අම්මා උයා දුන් කෑම කා අහවර වූ දරුවන් තිදෙනා ටික වේලාවකින් එකම කාමරයක නින්දට වැටුණ හ. ආච්චි අම්මා වෙනත් කාමරයක නිදා ගත්තා ය. රුවන් ඒ රාත‍්‍රිය නිදි වර්ජිතව ගත කළේය. මැදියම ද පසු විය. අක්කාට තුරුලූ වී පුංචි කොලූ පැටියා සැපට නිදිය. දරුවන් නිදා සිටි ස්ථානයට රුවන් දෙතුන් වතාවක්ම පැමිණියේය. එහෙත් පිපෙන්නට පෙර මල් කැකුළු පොඩි කර විනාශ කර දැමීමේ අදහස රුවන්ගේ සිතින් බැහැර නොවිණි.

සඟවා තැබූ පොල්ල අතට ගත් රුවන් අවසාන වතාවට දරුවන් දෙස බලා සිටියේය. එහෙත් ඔහුගේ විකල් මනස වෙනස් නොවිණි. ගලක් වූ සිත දරු සෙනෙහසින් තෙත් නොවිණි. ඉහළට එසැවූ බරැති පොල්ලෙන් දරුවන් තිදෙනාගේ හිස් තැළෙන්නට වැරෙන් පහර දුන්නේය. නිදි දෙව්දුව තුරුලේ සිටි ඒ පුංචි දරුවන්ට සිදු වූ දේ සිතා ගැනීමටත් නොහැකි විය. එසැණින් නිවසේ පිටු පස දොරෙන් එළියට ගිය රුවන් සඟවා තැබූ කඹය ගසට දමා ගෙල සිරකර ගත්තේය.

කෙඳිරිලි හඬක් ඇසුණු ආච්චි අම්මා දරුවන් නිදා සිටි තැනට යනවිට ලේ විලකි. විවෘත කර තිබුණු දොරෙන් එළියට පැමිණ බලනවිට රුවන් ගසක එල්ලී සිටී. මිත්තණියගේ කෑ ගැසීමට මුළු ගම ම එකතු විය. ක්‍ෂණයෙන් ක‍්‍රියාත්මක වූ අසල්වාසීහු දරුවන් තිදෙනාව රෝහලට රැගෙන ගියහ.

උන්මත්තක පියාගේ පහරකෑමට ලක් වූ පුංචි කොලූ පැටව් දෙදෙනා බරපතළ තුවාල ලබා මේ සටහන තබන මොහොත වනවිටත් දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන්නාහ. පෙර පිනකට වැඩිමහල් දියණියට බරපතළ තුවාල සිදු වී නැත. හදවත් කම්පනයට පත් කරවන ඒ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගේ අම්මා නිල්මිණි පොලිස් පරීක්‍ෂණ හමුවේ කට උත්තර ලබාදෙමින් ‘රුවන් මාව නිතර සැක කළා. ඒ වගේම ශුද්‍ර මූල්‍යය ආයතන දෙකකින් ලබා ගත් ණය ගෙවා ගන්න බැරි නිසා නිවසින් පිටව පුද්ගලික ආයතනයක රැකියාවකට ගියා. ඉදිරියේදී දරුවන් රැකබලාගෙන ජීවත්වන බව ද ඇය පවසා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පොලිස් පරීක්‍ෂණ සිදු වෙමින් පවතී.

පෙළගැසෙන අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අඹු සැමියන් අතර අඩදබර ඇතිවීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම මෙරට බොහෝ පවුල්වල අගහිඟකම් ඇති බව ද සැබෑය. විවිධාකාර ණය මුදල් ලබාගෙන ගෙවාගැනීමට නොහැකි අසරණ පවුල් බොහෝ වෙති. ඒ කිසිවක් දරුවන් මරා ගෙල සිර කරගැනීමට තරම් ගැටලූ නොවේ. බිරිඳ නිවසින් ගිය පමණින් දරුවන් මරා සිය දිවි හානි කරගන්නා තැනට පත්වන්නේ මානසික ආබාධයකින් පෙළෙන්නෙකි. එහෙයින් අපට දුක ගෙල සිර කරගෙන මිය ගිය රුවන් ගැන නොවේ. රුවන්ගේ පහර කෑමෙන් රෝහල් ඇඳන් මත ජීවිතයත්, මරණයත් අතර සටන් වදින නො දරුවන් ගැනය.

තුනුරුවන් සරණින් ඒ නො දරුවන් දෙදෙනාගේ ජීවිතවලට හානියක් නොවේ යැයි අපි සිතමු. එහෙත් ඔවුන්ගේ අනාගතය ගැන අපට ඇත්තේ බියකි. වයස අවුරුදු පහක පුංචි පුතා ඇතුළුව දරුවන් තිදෙනා අතහැර වෙනතක ගිය මවක් ගැන අපට විශ්වාසයක් නැත.

තරංග රත්නවීර
ගලේවෙල විශේෂ පී. ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment