නැවත මැතිවරණයක් තිබ්බත් අපි දිනුම්! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

311

එජාපයටත් – ශ‍්‍රීලනිපයටත් අත්වෙන්නේ එකම ඉරණමක්!

පසුගිය 09 දා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරය සල්ගාදු කී‍්‍රඩාංගණයේදී ජන රැළියක් පැවැත්වීය. පසුගිය කාලය තුළ ආණ්ඩුවේ කටයුතුවලට සීමා වී සිටි එම පක්ෂයේ නායකයන් මේ ආකාරයට දේශපාලන රැළියක් පැවැත්වීමට බලපෑ හේතු සාධකයන් පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග පළ කළ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – පසුගියදා අනුරාධපුරයේ සල්ගාදු කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් රැළියක් පැවැත්වූවා. සමහර මාධ්‍ය එම රැළිය ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන පවත්වන රැළියක් බවට සඳහන් කළත්, එය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට පමණක් සීමාව රැළියක් වූවා.

ඇයි ඒ ආකාරයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තනිවම රැළියක්් පැවැත්වීමට අදහස් කළේ?

පිළිතුර – එම රැළිය පැවැත්වූයේ මැතිවරණයක් ඉලක්ක කරගෙන නොවෙයි. අපි බොහෝ දුරට මැතිවරණ රැළි පවත්වා තිබෙන්නේ සන්ධානයක් ලෙස තමයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට තමයි වැඩිපුරම අනු සංවිධාන තිබෙන්නේ. ශාඛා සමිති වැඩිපුරම ප‍්‍රමාණයක් තිබෙන්නෙත් අපේ පක්ෂයට තමයි. ඒ වගේම ඉංජිනේරුවරුන්ගේ සංගමයක් තිබෙන්නේ අපේ පක්ෂයට පමණයි. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ අපි කොරෝනා මර්දනය කිරීමට සහ රට සංවර්ධනය කිරීමට කටයුතු කළත් පක්ෂයේ ප‍්‍රවර්ධනය සඳහා කටයුතු කළේ නැහැ. එම නිසා පසුගියදා අනුරාධපුරයේදි එම රැළිය පැවැත්වූයේ එම අරමුණ ද පෙරදැරිව තමයි. මැතිවරණ සඳහා සූදානම් වීමේ අරමුණක් එම රැළියේ තිබුණේ නැහැ. මේ වනවිටත් පළාත් පාලන මැතිවරණය වසරකින් කල් තබා තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ප‍්‍රතිපාදන නැහැ. මැතිවරණයක් තිබ්බත් නැතත් පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු කළ යුතුයි.

සෑමදාම රාජපක්ෂවරු වැඩ පටන් ගත්තේ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය සමග අනුරාධපුරයෙන්. අපි පක්ෂය ප‍්‍රවර්ධනය කිරීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වීමට අපේක්ෂා කරන රැස්වීම් මාලාවේ පළමු රැස්වීම තමයි ඒ ආකාරයට අනුරාධපුරයෙන් ආරම්භ කළේ.

ප‍්‍රශ්නය – එම රැස්වීම සංවිධානය කිරීමේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ බලය විපක්ෂයට පෙන්වීම මෙන්ම ආණ්ඩුවත් සමග සිටින සහෝදර පක්ෂවලටත් පෙන්වීමේ අපේක්ෂාව තිබුණ බව පෙනෙන්න තිබෙනවා.

පිළිතුර – මම සාමාන්‍යයෙන් කියන දේ කෙළින් කියනවා. අපත් සමග කටයුතු කරන කුඩා පක්ෂ සිතනවා ඒ අයට ප‍්‍රධාන පක්ෂය නටවන්න පුළුවන් කියලා. ගමේ භාෂාවෙන් කියනවා නම් බල්ලට නකුට වනන්න පුළුවන් වුණාට, නකුටට බල්ල වනන්න බැහැ කියන එක තමයි කියන්න තිබෙන්නේ. එදා බණ්ඩාරනායක මහතා සහ බණ්ඩාරනායක ප‍්‍රතිප්තති මුල් කරගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුණු ආකාරයට අද අපි මහින්ද රාජපක්ෂ මහතා සහ එම ප‍්‍රතිපත්ති මුල් කරගෙන තමයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ගොඩනඟා තිබෙන්නේ. ශී‍්‍ර ලංකාව තුළ පමණක් නොවෙයි ආසියාවේම තිබෙන ශක්තිමත්ම පක්ෂ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණත් තිබෙනවා කියන එක තමයි එදා අපි පෙන්වූයේ. උදාහරණයක් විදියට කියනවා නම් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයත් සිතනවා තමන්ට යමක් කරන්න පුළුවන් කියලා. නමුත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වගේම එක්සත් ජාතික පක්ෂයටත් මේ වනවිට අත්වී තිබෙන්නේ එකම ඉරණම. අද වනවිට එම පක්ෂ ජනතාවගෙන් ඈත් වී තිබෙනවා. අද ඔවුන්ට අත්වෙලා තිබෙන්නේ වළව්වකින් කසාදයක් බැඳගත්ත පුද්ගලයන්ට අත්වන ඉරණම. වළව්වකින් කසාදයක් කරගත්තොත් නමක් හිමි වුණාට මුදල් ලැබෙන්නේ නැහැ. අද වනවිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට අත් වී තිබෙන්නේ එම ඉරණම තමයි. නමුත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට නමයි මුදලූයි යන දෙකම තිබෙනවා. එම පණිවුඩය තමයි අපි අනුරාධපුරයේදී ලබාදුන්නේ.

ප‍්‍රශ්නය- මැතිවරණ පැවැත්වීමේ අරමුණින් එම රැළිය නොපැවැත්වූ බව ඔබ සඳහන් කළත්, එම රැළියේදී මැතිවරණ පිළිබඳව සඳහන් වූවා.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා විසින් ප‍්‍රකාශ කර තිබෙනවා ආණ්ඩුව විසින් මැතිවරණ කල් දමා ඇති බවත්, විපක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණ සඳහා සූදානම් බවත්.

විපක්ෂ නායකතුමාගේ ස්ථාවරය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – සජිත් පේ‍්‍රමදාස මහත්තයලාගේ තාත්තලා කළ දේ මේ රටේ ජනතාව දන්නවා. සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු පිරිස අද සමගි ජන බලවේගය කියලා පක්ෂයක් හදා ගත්තාට, එම පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ කොටසක්නේ.

එක්සත් ජාතික පක්ෂය තමයි මේ රටේ මැතිවරණ සිතියම අකුළා බලහත්කාරයෙන් මේ රට පාලනය කළේ. මේ රටේ මැතිවරණ කල් දැමීමේ පරමාදර්ශී නායකයා ජේ. ආර්. ජයවර්ධන මහතා තමයි. එම නිසා අද සමගි ජන බලවේගය මැතිවරණ කල් දැමීම පිළිබඳව කතා කිරීම විහිළුවක්. මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ මැතිවරණ කල්දමන නායකයන් නොවෙයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට සිද්ධ වූයේ කොරෝනා වසංගත තත්ත්වය නිසා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ ඔවුන් ආණ්ඩු බලයේ සිටියදී ගෙන ආ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත නිසා තමයි. එම පනත සම්මත කර ගැනීමට 2/3ක ඡුන්දය ලබා ගැනිමට සන්තෝසම් දීලා හෙලිකොප්ටර් දාලා ලංකාව පුරාම සිටි මන්තී‍්‍රවරුන් රැගෙන ආවා. ඒ ආකාරයට ඡුන්ද එකතු කිරීම සඳහා සවස 5ට සිදුකිරීමට තිබුණු ඡුන්ද විමසීම කල් දැම්මා. එය මෙරට ඉතිහාසයේ කිසිදාක සිදු නොවූ දෙයක්. ඒ වගේම එම සිදුවීම මෙරට පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට එක් වූ කළු පැල්ලමක් ලෙසයි සලකන්නේ. සවස 5ට පැවැත්වීමට තිබුණ ඡුන්ද විමසීම රාතී‍්‍ර 8.30ට තමයි සිදු කළේ. එම පනත අතර මැද හිරවෙලා තිබෙන නිසා තමයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ. ඒවා නිවැරදි කිරීමට කාලයක් යනවා. එම කටයුතු නිසා තමයි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය – සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලෙන් 25%ක අධිභාර බද්දක් අය කිරීම සඳහා ගැසට් පත‍්‍රයක් ප‍්‍රකාශයට පත් වී තිබෙනවා. ඊට එරෙහිව මේ වනවිටත් විවිධ වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන අතර, පසුගිය දිනක කම්කරු ඇමැතිවරයාත් එම අධිභාරය අය කිරීමට තමන්ද විරුද්ධ බව ප‍්‍රකාශ කළා.

එම අධිභාරය අය කිරීමට එරෙහි වීම පිළිබඳව මෙන්ම කම්කරු ඇමැතිවරයාත් එම ස්ථාවරයේ පසුවීම පිළිබඳව ඔබගේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර – මේ ආණ්ඩුව ඇතුළෙත් විනයත් තිබෙනවා. ඔය වගේ කටයුතු කරන්නෙ ඒ් අය තමයි. මේ රට තුළ දරුණුවට යුද්ධය පැවති අවස්ථාවේදී මීට වඩා දේවල් කරලා තමයි එම යුද්ධය ජය ගත්තේ. කොවිඞ් – 19 කියන්නෙත් යුද්ධයක් තමයි. වසර දෙකකට ආසන්න කාලයක් රට වහලා තිබුණා. ඒ වගේම විදේශ රටවල්වල රැකියාව කළ ලක්ෂයකට වැඩි පිරිසක් එම රැකියාවල් අත්හැරලා යළි සිය රටට පැමිණ සිටියා. මේ වනවිට ඔවුන් යළිත් තමන්ගේ වැඩ බිම් වෙත යොමු වෙමින් සිටිනවා. ඒ වගේම එන්නත්කරණය අතින් ශී‍්‍ර ලංකාව තුන් වන ස්ථානයට පත් වී තිබෙනවා. ඒ වගේම ලෝකයේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ගවේෂණය කරන කණ්ඩායම් අන්තර්ජාලය හරහා ප‍්‍රසිද්ධියට පත් කරලා තිබෙනවා ආසියාවේ සංචාරය කිරීමට හොඳම රට ශී‍්‍ර ලංකාව බව. මෙම වසංගතයට පෙර සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 5ක් ලැබුණා. මේ වනවිට සංචාරක ව්‍යාපාරය යළිත් එම මට්ටම දක්වා වර්ධනය වෙමින් පවතිනවා. කොවිඞ් වසංගතය නිසා රට කඩා වැටීමට පෙර තිබූ තත්ත්වයට යළි රට පත්වන තුරු අපි කෙසේ හෝ අල්ලන් සිටිය යුතුයි. ඒ සඳහා මොන සල්ලි අරගෙන දාලා හරි රට ඉස්සරහට ගෙනියන එක සුදුසුයි කියන එක තමයි මගේ අදහස.

ඊට එරෙහිව කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඔහු හෝ ඇය රටට සතුරුකමක් කරනවා කියන එක තමයි මගේ අදහස.

ප‍්‍රශ්නය – පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා තමාගේ සහයෝගය ලබාදෙන බව පාප් වහන්සේ ප‍්‍රකාශ කර තිබෙනව.

පාප් වහන්සේගේ තීරණය ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – පාප් වහන්සේ මැදිහත් වී හෝ කාදිනල්තුමා මැදිහත් වී හෝ වෙනත් පාර්ශ්වයන් මැදිහත් වී හෝ පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ අය කොනක සිට ඇල්ලිය යුතුයි යන මතයේ මමත් සිටිනවා. රාජපක්ෂ ආණ්ඩුවත් සිටිනවා. පාස්කු ප‍්‍රහාරයට වචනයකින් හෝ සම්බන්ධ අය සිටිනවා නම් ඔවුන්ට එරෙහිව කටයුතු කළ යුතු බව රජයක් ලෙස අපි කියනවා.

ප‍්‍රශ්නය – රෝගාබාධයන් සඳහා ප‍්‍රතිකාර නොගෙන යාඥා කිරීම නිසා කුඩා දරුවකු මරණයට පත් වී තිබෙනවා. මෙවැනි සිදුවීම් මීට පෙරත් සිද්ධ වී තිබෙනවා.

මෙවැනි අකටයුතු නැවැත්වීම සඳහා ගතයුතු පියවර කුමක්ද?

පිළිතුර – සමහර පුද්ගලයන් සිටිනවා දෙවියන් සියල්ල කරාවි යන අපේක්ෂාවෙන් බෙහෙත් පවා නොබොන අය. ඒ වගේම දෙවියන් සියල්ල කරාවි කියලා අපේක්ෂාවෙන් එන්නත් කිරීමෙන් වැළකී සිටින අයත් සිටිනවා. සියල්ලම දෙවියන්ට භාර දීලා සිටියොත් මේ රටටත් දෙවියන්ගේම පිහිටයි. එහෙම අන්තවාදී අදහස් දරන අය සිටිනවා නම් ලෙඩ රෝග සඳහා ඔවුන්ට ද වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීම අනිවාර්ය කරන පනත් ප‍්‍රඥප්ති රට තුළ සම්මත කළ යුතුය යන ස්ථාවරයේ මම සිටිනවා.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment