නැව් ගණන් සල්ලි හොයන්න පුළුවන් නැව් සංස්ථාව

451

නැව් සංස්ථාවේ වත්මන් සභාපති විනීන්ද්‍ර එස් වීරමන්

අපේ රටේ බොහොමයක් රාජ්‍ය ආයතන වැඩ කරන්නේ අතට ලැබෙන දේ කටට දා ගන්නා න්‍යායෙනි. ඉන් තවත් රාජ්‍ය ආයතන කීපයක් ඒ අතට ලැබෙන දෙය ද අත යට ගනුදෙනු මත පිටට ලබා දේ. තවත් රාජ්‍ය ආයතන වේ. ඒවා තිබුණත් නැති ගානය. සිදුවන වැඩක් නැත. නම සහ වැඩ බෝඩ් ලෑල්ලට සීමා වී ඇත. එහෙත් පඩිය සහ අනෙකුත් දීමනා වරප්‍රසාද කලට වේලාවට ඕනෑය. ආයතන නඩත්තු වියදම් සහ අනෙකුත් පිරිවැය එකතු වූ කල රටට මහ බරකි.

සුදු අලි වැනි මෙවැනි රාජ්‍ය ආයතන රට පුරා වේ. එසේ අපකීර්තිමත් රාජ්‍ය ආයතන රට පුරා තිබෙන කල එවැනි රටක් ගොඩ යන්නේ කෙසේද? ඒවායේ මහ පුටුවේ සිට බිම අමදින්නා දක්වා දන්නා එක් දෙයක් වේ. එනම් නිකම් සිටීමය. මේ නිකමුන් නිසා රටට මහා බරක් බවට පත්ව ඇති රාජ්‍ය ආයතන අතරේ රටට, තම ආයතනයට වැඩක් කරන්නට අර අදින රාජ්‍ය ආයතනයක් කලාතුරකින් හමුවේ. රටේ වාසනාවය. සුදු අලින් අතර වැඩ කරන එම රාජ්‍ය ආයතනය අපට පෙනුණේ මහ රූස්ස ගස් අදින දැවැන්ත හස්ති රාජයෙක් ලෙසය. සැබැවින්ම ඒ හස්ති රාජයා අදින්නේ මහ ගස් නොව විශාල කන්ටේනර් ය. මහ සමුදුර තරණය කර කන්ටේනර් පිටින් පටවා ගෙන ඒම අප මේ කියන රාජ්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යය වේ. රටට සහ රාජ්‍ය ආයතන යන නමට බොහෝ සෙයින් ආදර්ශමත් එම රාජ්‍ය ආයතනය පිහිටියේ කොළඹ කොටුවේය. කොළඹ කොටුවේ සුප්‍රසිද්ධ වයිඑම්සීඒ ආයතනයට තවත් ගොඩනැඟිලි දෙකක් පමණ සමීපයෙන් පිහිටා ඇති ලංකා නැව් සංස්ථාව අප මේ කියන ආයතනය වේ.

නැව් ගණන් රාජ්‍ය සම්පත් ගිල දමන රටක දැනට ඉතිරිව ඇති නැව් දෙකෙන් රටක් ගොඩ ගන්නට එම ආයතනය දරන ප්‍රයත්නය ප්‍රශංසනීය වේ. වැඩක් කරන විට ප්‍රශස්ත ගී ගැයීම නොකළ යුතු දෙයක් වුවද ඔවුන්ට නම් ප්‍රසංසා නොකර සිටීමට නොහැක. 1971 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේදී බී. ජී. කළුගල්ල ඇමැතිවරයා යටතේ ලංකා නැව් සංස්ථාව ස්ථාපිත කෙරිණි. ලංකා රාණි නම් නැව නැව් සංස්ථාව සතු වූ පළමු නෞකාවයි. එකල නැව් 9කින් සන්නද්ධව සිය කටයුතු ආරම්භ කළ නැව් සංස්ථාවට තවත් නැව් 8ක් ලලිත් ඇතුලත්මුදලි මහතා යටතේ ලබා දේ. 1984 වසර වන විට නැව් 21කින් සන්නද්ධව සිටි නැව් සංස්ථාව නම් දැවැන්තයා අග්නිදිග ආසියාවේ සිට යුරෝපය දක්වා භාණ්ඩ ප්‍රවාහනයේ ප්‍රමුඛයා වූයේ ය.

එහෙත් රටේ කරුමයට මෙන් දිනෙන් දින අභාවයට ගිය රාජ්‍ය ආයතන අතරේ නැව් සංස්ථාව ද ඉහළින් වැජඹුණි. දැනට ඉතිරිව ඇති නැව් දෙකකින් ඒ සියලු පව් දූරින්භූත කරන්නට හැකි වේ යැයි ඔබ අප නොසිතති. එහෙත් එසේ නොසිතා යහපත් දැක්මෙන් කටයුතු කරන පාලක මණ්ඩලයක් සහ වෘත්තීය සමිති එකමුතුවක් නැව් සංස්ථාවට වේ. කවුරුන් එකතු කළ ද නයි මුගටි මෙන් දුටු තැන මරා ගන්නට හදන සංස්කෘතියක් පාලක පන්තිය සහ වෘත්තීය සමිති අතර වේ. ඔවුන් කැත්තට පොල්ල් මෙනි. එමතු ද නොවේ. එම වෘත්තිය සමිතිද එකකට එකක් නැත. කොහේවත් නැති දේශපාලනයක් ඔළුවට දා ගෙන ඇත. එම ජරාජීර්ණ වෘත්තීය සමිති සදාචාරය ද යටපත් කරගෙන නැව් සංස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයෝ එක් අරමුණක් වෙනුවෙන් නැඟී සිටියහ. ඒ පඩි වැඩි කරගන්නට නොව. බෝනස් බටා ඕවර්ටයිම් හෝ සෞඛ්‍ය දීමනාව වැඩි කර ගන්නට නොව. ඔවුන්ගේ අරගලය වූයේ පාලක පන්තිය ද සමග එක්ව රටට යමක් කිරීමට ය.

රටේ වාසනාවට මෙන් නැව් සංස්ථාවේ වත්මන් සභාපති විනීන්ද්‍ර එස්. වීරමන් මහතාගේ ද අවශ්‍යතාවය එයම විය. ඔහු සොයමින් සිටියේ නැව් සංස්ථාවේ වත්මන් වෘත්තීය සමිතිවල සිටින සාමාජිකයන් වැනි සේවකයන් පිරිසකි. ඒ සේවකයෝද සෙව්වේ වීරමන් මහතා වැනි පාලකයෙකි. මේ දෙපාර්ශ්වයට වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල සිල්වා මහතාගේ ද අනුග්‍රහය හිමිවිය. එහි ලේකම්වරයා ද සියලු සහයෝගය දුන්නේය.

ඒ කුමකටද? නැව් සංස්ථාවේ ව්‍යාපාර අවස්ථා ප්‍රගුණ කර රටට ඩොලර් ඉපයීමටය. ගහෙන් වැටී සිටි මිනිසාට ගොනා ඇන්නා මෙන් හොඳටම ඔත්පල වී ඇති මේ රට ගොඩනැඟීමට අපට අවශ්‍යද ඩොලර් ම ය. නැව් සංස්ථාව යනු ඩොලර් ඉපයීමට පුදුම ශක්තියක් ඇති ආයතනයකි. ඒ ශක්තියෙන් හැකි ප්‍රයෝජන ගෙන රටට සෙතක් කරන්නට ඔවුහු කථිකාකර ගති. සභාපති වීරමන් මහතා වටා පෙළගැසුණු ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා පොදුජන පෙරමුණ, ජාතික සේවක සංගමය සහ අන්තර් සමාගම් සේවක සංගමය වැඩේට ලක ලෑස්ති වූයේය. දේශපාලන අරමුණු කෙසේ වුවත් ඒවා පසෙක තැබූ ඔවුහු එක අරමුණක් වෙනුවෙන් එකාවන්ව නැඟී සිටියහ.

නැව් සංස්ථාව තුළ මීට පෙර නමට පමණක් තිබුණු ව්‍යාපාර ප්‍රවර්ධන අංශය වැඩ කරන අංශයක් බවට ඔවුහු පත් කළහ. පසුගිය වසර පහළොවක පමණ කාලය පුරාවටම එම ව්‍යාපාර ප්‍රවර්ධන අංශය මගින් සිදු කර තිබුණේ ව්‍යාපාර 3ක් පමණි. ඒ පිළිබඳව සභාපති වීරමන් මහතා කියූ දේ අපි මෙසේ සටහන් කරමු.

“නැව් සංස්ථාව ඇතුළෙ රට වෙනුවෙන් කරන්න පුළුවන් මොනවද කියලා අපි අවබෝධ කර ගත්තා. වෘත්තීය සමිති අපිට එකතු වුණා. අපි අමාත්‍යාංශ ලේකම් හරහා සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට ලිඛිතව දැනුම් දුන්නා එම රාජ්‍ය ආයතනවල ව්‍යාපාර අවස්ථා අපට ලබා දෙන්න කියලා. භාණ්ඩ පිටරට යැවීමත් පිටරටින් මෙරටට භාණ්ඩ ගෙන ඒමත් අපට කරන්න පුළුවන් බව දැනුම් දුන්නා. ඒ වගේම අපේ නැව් දෙකට අමතරව වෙනත් නැව්වලින් සේවා ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා ද අපට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. නියෝජිත පහසුකම් සපයන ආයතනයක් ලෙසත් අපි කටයුතු කරනවා. රට ඇතුළේද අපි ප්‍රවාහන පහසුකම් සපයනවා. මේ කාර්යයන් හරහා අපේ රටට ඩොලර් ඉතිරි වෙනවා. රටෙන් පිට වන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. අපි දැන් ව්‍යාපාර ප්‍රවර්ධන අංශයට නව පණක් ලබා දී තිබෙනවා. මේ වන විට රාජ්‍ය ආයතන විස්සකට පමණ ගොස් ඔවුන්ගේ ව්‍යාපාර අපට ලබා දෙන්න කියා අපි ඉල්ලීම් කර තිබෙනවා. කියන්න සතුටුයි ඒ අතරින් ආයතන දෙක තුනක් හැරෙන්න අනෙක් හැම ආයතනයක්ම අපි සමග එකතු වීමට එකඟ වුණා.”

දැන් ඔවුහු සතියකට වතාවක් පමණ රාජ්‍ය ආයතනයකට ගොස් ව්‍යාපාර අවස්ථා පිළිබඳ එකඟතා ඇතිකර ගැනීම සුලභ කරුණක් වී ඇත. ඒ සුලබ කරුණ තුළ ඇති අසාමාන්‍ය ලක්ෂණය නම් එම ගමන් සඳහා නැව් සංස්ථාවේ සභාපතිවරයා ද සම්බන්ධ වීමය. වෘත්තිය සමිති නියෝජිතයෝ සහ සංස්ථා සභාපතිවරයා එම සාකච්ඡාවලට යති. මේ අපූරු සුසංයෝගයම ඔවුන් හමුවට යන රාජ්‍ය ආයතනවලට නැව් සංස්ථාව පිළිබඳ පහන් හැඟීමක් උද්දීපනය කරන්නකි. පහත් හැඟීමෙන් රාජ්‍ය ආයතන දෙස බැලූ කාලය නිමා කරන්නට මෙන් නැව් සංස්ථාව ගන්නා මෙම උත්සාහය සමග මේ වන විට එක්ව ඇති රාජ්‍ය ආයතන කීපයක් මෙසේ පෙළ ගස්වමු. ඒවා නම් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, සීනෝර් පදනම, ලංකා සතොස, ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, කර්මාන්ත අමාත්‍යාංශය, ස්වාධීන රූපවාහිනි ආයතනය, ලංකා ඛනිජ වැලි සංස්ථාව, ජාතික කඩදාසි සමාගම, ශ්‍රී ලංකා කේටරින් ඒ අතර වේ.

“අපි දැන් මේ වන විට කඩදාසි සංස්ථාවේ කන්ටේනර 175ක් පමණ ගෙනවිත් තිබෙනවා. බස් පන්සියයක් ගේන්න සූදානම් කරල තිබෙනවා. ඉන් 125ක් දැනටමත් ගෙනැවිත් අවසන්. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියට ජීප් රථ පන්සියයක් ගෙන ඒමත් අපි හරහා සිදුවෙනවා. මේ දේවල් අපෙන් පිටට යන්න ගිය ව්‍යාපාර අවස්ථා. අපි ඒවා කතා කරලා එකඟතාවකට පැමිණ අපේ ව්‍යාපාර අවස්ථා බවට පත් කර ගත්තා. පෞද්ගලික අංශයේ ව්‍යාපාර කෙරෙහිත් අපි දැන් අවධානය යොමුකර තිබෙනවා. පහුගිය අවුරුදු 15 ට ම කර තිබුණේ ව්‍යාපාර තුනක් වුණාට පහුගිය මාස තුනක කාලය තුළ පමණක් අපි ව්‍යාපාර පහළොවකට පමණ සම්බන්ධ වී තිබෙනවා.”

නැව් ගණන් සල්ලි හොයන්න පුළුවන් නැව් සංස්ථාව

වීරමන් මහතා එසේ ප්‍රකාශ කළ කරුණු අතර තවත් එක් වැදගත් යමක් කෙරෙහි අපි අවධානය යොමු කරමු.

“අපේ නැව් දෙක සිලෝන් බී්‍රස් සහ සිලෝන් ප්‍රින්සස් නම් වෙනවා. ඒවායේ ප්‍රධාන කාර්යය නොරොච්චෝලේ ගල් අඟුරු ප්‍රවාහනයයි. වසරකට මාස හයක් පමණ තමයි අපි එම කාර්යයන් සිදු කරන්නේ. ඊට පසුව අපි නැව ජාත්‍යන්තර කටයුතු සඳහා යොදවනවා. ඩොලර් මිලියන පහළොවක් පමණ අපි ඒ හරහා මෙවර උපයා තිබෙනවා. ඊට පෙර කාර්තුවේ දී අපි ඩොලර් මිලියන දාහතරක් ආදායම් උපයා ගත්තා. ඉහත සඳහන් කළ රාජ්‍ය ආයතන වලට අමතරව ශ්‍රී ලංකා පෙට්‍රෝලියම් ආයතනය සමග අපි විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. එහි සභාපතිවරයා පැවසූ කරුණු අනුව වසරකට තෙල් ආනයනය කිරීමේදී අඩුම වශයෙන් ඩොලර් මිලියන 500 ක් අපි ප්‍රවාහනය වෙනුවෙන් වැය කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබෙනවා කියන ණය මුදලත් ඩොලර් බිලියන තුනයි. ඒ කියන්නේ වසරකට තෙල් ආනයන ප්‍රවාහන වියදම වගේ හය ගුණයක මුදලක්. ඒ අනුව තෙල් ගෙන්වීමට අවශ්‍ය නැව් අපෙන් ලබාදීමට පෙට්‍රෝලියම් ආයතනය සහ නැව් සංස්ථාව අතර මූලික කටයුතු සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයෙන් මේ වන විට කමිටුවක් පත්කර තිබෙනවා. එම කාර්යයක් බොහෝ දුරට සාර්ථක වෙයි.

ඒ වගේම ලංකා ඛනිජ වැලි සමාගම සමගත් අපි සාකච්ඡා කළා. ඔවුන් වැලි අපනයනය කරනවා. ඉල්මනයිට්, ගානට්, කෲඩ් සර්කෝන් සහ ටූටයිල් යන වැලි වර්ග අපනයනයට අවශ්‍ය ප්‍රවාහන මාධ්‍යය බවට නැව් සංස්ථාව පත්වීමට අවශ්‍ය සාකච්ඡා දැන් කමිටු මගින් සිදුවෙමින් පවතිනවා. ඇමැති නිමල් සිරිපාල, ලේකම් රුවන් චන්ද්‍ර, ඒ වගේම සාමාන්‍යාධිකාරී පී. එස්. කේ. වටවල, නියෝජ්‍ය සාමාන්‍යධිකාරීතුමිය සහ සහකාර සාමාන්‍යාධිකාරීතුමාවත් මේ කාර්යයේදී ගෞරවනීයව සිහිපත් කළ යුතුයි.”

අද රට වැටී තිබෙන තැනින් ගොඩ ගැනීමට නම් මෙවැනි රාජ්‍ය ආයතන එකක් නොව කිහිපයක් අවශ්‍ය ය. ඒ සඳහා සියලු අංශවල ද දායකත්වය හිමි විය යුතුමය.

සභාපති වීරමන් මහතා අප සමග සාකච්ඡාවේ නිරතව සිටින විට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති චන්දන සමරතුංග මහතා ද ඊට සම්බන්ධ වූයේය.

“ඇත්තටම මේ සංකල්පය අපේ ඔළුවට දැමීම පිළිබඳ සභාපති වීරමන් මහතා ට ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහුගේ අරමුණ අනුව අපි සියලු දෙනා එකට එකතු වුණා. දැන් අපි ව්‍යාපාර ප්‍රවර්ධන අංශය නඟාසිටුවා නැව් සංස්ථාවට ව්‍යාපාර ගේන්න නිරතුරුව උත්සාහ කරනවා. ඊට සහයෝගය දෙන අපේ අනික් වෘත්තීය සමිති තුනටත් ස්තුතිය පුද කරන්න ඕන.”

අතේ ඇඟිලි පහ එක සමාන නැත. ඒවා එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ වශයෙන් ගත් කල කළ හැකි කාර්යයට වඩා ඇඟිලි පහම එක් දෙයකට එක් අරමුණකට යෙදවුවහොත් ලැබෙන ප්‍රතිඵල අති විශාලය. නැව් සංස්ථාවේ මේ ඇඟිලි පහ ද දැන් එක් අරමුණක් උදෙසා සිය අපරිමිත උත්සාහය දියත් කර ඇත. ඔවුහු රට ගොඩගැනීමේ නැව දියඹට දියත් කරති.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment