නැව් රිවස් ගැසටුත් රිවස් එතකොට රට

119

විද්‍යාත්මක ක‍්‍රම පසෙකින් තබා දේශපාලනිකව සෙවූ පොහොර සංයුතිය

සාෆි රිවස්වීමේ සිට සියල්ල යන්නේ පස්සට බව දැන් ටක්කෙටම කිව හැකිය. දරු උපත් නාමයෙන් වඳ සැත්කම් සිදු කරන ලද සාෆි ෂෙහාබ්දීන් පිළිබඳව වගකීම් සහගත ලෙස හෙළිදරව් කරන ලද්දේ, ‘දිවයින’ පුවත්පත විසිනි. දිවයින නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුණුගේ එම ආන්දෝලනාත්මක හෙළිදරව්ව, විමර්ශනයට භාජනයට කර ගර්භාෂ සඳහා කරන ලද බලහත්කාර වැට බැඳීමට, ඒ මව්වරුන් වෙත යුක්තිය ඉටු වෙන දිනයක් එළඹෙන තුරු අපි බලා සිටියෙමු. වෛද්‍ය චර්යාධර්ම නොතකා හරිමින් සාෆි ගැන සිංහල මව්වරු වඳ කිරීමේ ප‍්‍රයාමය සඳහා අධිකරණයේ නඩුවක් ඇසෙන අතරේ, කුරුබිලියෙන් සාෆි වෙත, උඩගෙඩි දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවර සාෆිගේ අපරාධය ආපසු හැරවීම සඳහා ගන්නා ලද පළමු ප‍්‍රයත්නය බව කිව හැකිය. රටක් පමණක් නොව ලෝකයක්ම බලා සිටිනා අපරාධයක් පිළිබඳව මෙවැනි ‘රිවස්’ යෑමක් පිළිබඳව වෙනම පරීක්ෂණයක් සිදු කළ යුතුය.

අනික් පතල රිවස් කිරීම සිදු වූයේ පොහොර ප‍්‍රශ්නය සම්බන්ධයෙනි. රජයක් ලෙස ගත් ඓතිහාසික සහ ලෝකයටම ආදර්ශ සම්පන්න විශිෂ්ට තීන්දුවක්, ආපසු හැරවීම, පොහොර නැව ආපසු හරවා වන්දි ගෙවන තත්ත්වයක් නිර්මාණය කළේය.

ශ‍්‍රී ලංකාව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද චීන කාබනික පොහොර තොගය වෙනුවෙන් එහි නිෂ්පාදන සමාගම වන චින්දාවෝ බයෝටෙක් සමාගමට ඩොලර් මිලියන 08කට ආසන්න මුදලක් හෙවත් රුපියල් කෝටි 162කර වැඩි මුදලක් ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදු වූයේ ඇයි…?

මෙම වන්දියට අදාළ කැබිනට් පත‍්‍රිකා දෙක, කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ සහ අධිකරණ ඇමැති අලි සබ්රි විසින් පසුගිය 13 වැනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම සඳහා ඉදිරිපත් කරන ලද්දේ නීතිපතිවරයාගේ උපදෙස් මතය. මේ වන්දිය සම්බන්ධයෙන් සම්පූර්ණ වරද පැටවී ඇත්තේ ආණ්ඩුවට ය. එවැනි මුදලක් ජනතාවගෙන් නොගෙන අදාළ තීන්දුව ලබා දුන් පාර්ශ්වයන් වෙතින් ලබා ගන්නා ලෙස බොහෝ දෙනා මත පළ කරති. චීන නැවේ කතාව සහ වන්දියේ සැබෑ තත්ත්වය පිළිබඳව පරිපූර්ණ සමාලෝචනයක් නොමැතිව එවැනි ස්ථානයකට යා හැකි නොවන හෙයින්, පොහොර නැව පිළිබඳව මෙතෙක් කතාව සාරාංශ ගත කළ යුතුය.

රසායනික පොහොර තහනම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් විප්ලවකාරී තීන්දුව මෑත ඉතිහාසයේ දෙවැනි වන්නේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දුවට පමණය. එවැනි තීන්දුවක් සදහා රටේ ඇතිවූ මතයම, සහ රසායනික පොහොර මුදලාලිලාගේ සල්ලි මල්ලට කඬේ ගිය පිරිස් එය ආපසු හරවන තැනට පත් කළ ආකාරය දෙස බැලිය යුතුය.

නැව් රිවස් ගැසටුත් රිවස් එතකොට රට

එක හඬින් රටක් ලෙස රසායනික පොහොරට එරෙහි ස්ථාවරයේ සියලූදෙනා සිට ගත යුතු වුවත්, විපක්ෂයේ දේශපාලනය සහ බහුජාතික රසායනික පොහොර සමාගම් වුවමනාව හමුවේ ඒ සියල්ල අනෙක් පසට හැරෙන තත්ත්වයක් මතු කළේය. දිනෙන් දින ලැබෙන ප‍්‍රතිචාරය වූයේ, රටේ ගොවියා අසරණ කරන තීන්දුවක් බවට එය පත්වනු ඇති බවය. ඇමරිකාවට හෝ චීනයට රට පාවා දෙනවා යැයි පවසන රටේ ජාතික සම්පත් එතෙරට විකුණනවා යැයි මොර දෙන පිරිසම, රටට ආහාර ලබාදෙන ඉහළ පාංශු ස්ථරය හෙවත් මේ මහ පොළොව, බහුජාතික රසායනික පොහොර සමාගම් සඳහා සින්නකර ලියා දෙනවාටත් වඩා එහා ගොස්, මුදා නොගැනිය හැකි ලෙස රසායනික පොහොර සඳහා අඛණ්ඩව බිලිදීම උදෙසා පාරට බැස්සේය. එය ජාතික සම්පත් විකිණීමට එහා ගිය තත්ත්වයකි. ජාතික සම්පතක් විදේශකරණය නොකළ යුත්තේ මුත්, ඉරණවිල ඇමරිකන් හඬ පවා ඉවත්ව ගිය තත්ත්වයකදී, එවැන්නක් වුවද ආපසු හැරවිය හැකි වුවද, අපි විසින් පරම්පරා ගණනාවක්ම සල්ලි දිදී අපේ පොළොව එතෙර සමාගම් සඳහා ලියාදීම තරම් ජාතික සම්පත් විකිණීමක් තවත් තිබේද…? විකුණනවා යැයි කියන ජාතික සම්පතක වටිනාකම, භූමියේ වපසරිය, අදාළ කාලය මේ යැයි කිව හැක්කේ මුත් රසායනික පොහොර සමාගම් වෙත විකුණන්නේ මුළු රටමය. කාලය කිව නොහැකිය. එහි ප‍්‍රතිපලය වන්නේ අපේ තුන් වේලම වසවිසෙන් සපිරිවීමය. ඒ සා විකිණීමක් සහ හානියක් පිළිබඳව, මෙතෙක් කළ සියලූ විකිණීම ඓක්‍යය වුවද සැසඳිය නොහැකිය. ජනාධිපතිවරයා ගත් ඓතිහාසික තීන්දුවේ ශ්‍රේෂ්ඨත්වය එයය. ඒ තීන්දුව රැක ගැනීමට ආණ්ඩුවට නොහැකි වූයේ ඇයි…?

රසායනික පොහොර සමාගම් හි වුවමනාව උදෙසා මෙහෙයවන බලවේග සඳහා ආණ්ඩුව නිසි ආකාරයෙන් මුහුණ නොදීම ඊට හේතුවය. ඒ ශ්‍රේෂ්ඨ තීන්දුව දිනෙන් දිනම පිටුපසට ගන්නට ආණ්ඩුවට සිදුවූයේ, විරෝධතා රැල්ලකට ඒ වන විටත් ආණ්ඩුව මුහුණදී සිටි නිසාය. වැඩි පඩි ඉල්ලා ගුරු පරපුරක් පාරට බැස තිබුණු තත්ත්වය තුළ පොහොර වෙනුවෙන් දැඩිව පෙනී ඉන්නවා වෙනුවට, එම තීන්දුව ආපසු හරවන්නට ආණ්ඩුව ක‍්‍රියා කළේය. චීන නැව එන්නේ ද එම ආපසු හැරවීමේ බලහත්කාර ප‍්‍රයත්නය දිය කර ගනිමිනි.

චීන පොහොර නැව ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් වන්නේ, මෙරට ජෛව පොහොර සාදන තෙක් සිය තීන්දුව රැක ගැනීම උදෙසාය. ඉවසීම සහ ආණ්ඩුවට සිය ප‍්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා සාධනීය විවේචනයක් හෝ කාලයක් ලබා දුන්නේ නම්, මේ පොහොර නැව එන්නේ නැත.

ඒ පැමිණි නැවේ පොහොර සංයුතිය පිළිබඳව සොයා බැලීම සිදුවූයේ විද්‍යාත්මක පසුබිමක නොව දේශපාලනික පසුබිමකය. තම ශිෂ්‍ය අවධිය පුරාම තහනම් දේශපාලනය සඳහා තිරය පිටුපස සිට මෙහෙවරේ යෙදුණු අයෙක්ගේ නායකත්වයෙන් සිදු වූ එම පර්යේෂණය, සිය දේශපාලන ව්‍යාපාරයේ ආණ්ඩු විරෝධය මත පදනම් වූවක් මිස අන් යමක් නොවීය. චීන පොහොර සඳහා ප‍්‍රමිතිය තීරණය කිරීම, අදාළ ගිවිසුමට අනුව දෙපාර්ශ්වයම එකඟ වන එතෙර පර්යේෂණ ස්ථානයක සිදු කළ හැක්කේ මුත්, එම දේශපාලනය ඒ සඳහා ද අවස්ථාවක් ලබා නොදුන්නේය.

පොහොර ආනයනිකයා වන චින්ඩා ඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම ඔක්තෝබර් මාසයේදී නිවේදනය කරන්නේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස්. සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය. ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප‍්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

සිය පොහොර සාම්පලහි අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත්, සැපයුම්කරු ලෙස පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රැගෙන යන බවත් පැවසූ චීන සමාගම එලෙසම, එහි අර්වීනියා නැතැයි තහවුරු වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව බවද අවධාරණය කළේය.

පොහොර නැව සඳහා මුදල් නොගෙවන ලෙස අධිකරණය අතුරු තහනම් නිවේදනයක්, මහජන බැංකුවට යොමු කිරීම, මහජන බැංකුව, අසාදු ලේඛන ගත කිරීමට චීනය තීරණය කිරීම වැනි දෑ සමග පොහොර නැව ආපසු හැරවෙන්නේය.

මේ සියල්ල දෙස බලන විට, චීන පොහොර නැවේ වන්දිය ගෙවිය යුත්තේ කවුද…? ඒ සඳහා අවසාන වගකිව යුත්තා කවුද…? නැව රිවස් වන්නේ ආණ්ඩුව තමන් ගත් විශිෂ්ට තීන්දුව රිවස් කිරීමත් සමගය. එයින් අවසානයේ සිදු වූයේ, රටම යළි රිවස් වීමය.

මේ රිවස් කිරීමට ආණ්ඩුවට දොස් කීම පහසුය. තමන් ගත් තීන්දුවක් රැක ගැනීමට උපාය මාර්ගික නොවීමේ වරද ආණ්ඩුව සතුය. ආණ්ඩුව ඉන්ද්‍රඛීලයක් සේ තමන් ගත් තීන්දුවේ සිටියා නම්, ආණ්ඩුවට ඒ වෙනුවෙන් රිදවන්නට, යටි පෙළේ දේශපාලනයක් වෙනම දියත් වී තිබුණි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ, රසායනික පොහොර පුද්ගලික අංශයට ගෙන්වීම සඳහා අවස්ථාව ලබාදුන් සැනින්, එළවළු මිළ අඩුවීමය.

රජය වෙත දිගින් දිගටම නැගෙන තීන්දුව වී ඇත්තේ රිවස් කිරීමය. සැප්තැම්බර් 26 වෙනිදා සහල් මිල පාලන ගැසට් පත‍්‍රය ආණ්ඩුව රිවස් කළේය. සහල් මාෆියාවෙන් ජනතාව බේරා ගැනීම සඳහා ආණ්ඩුව පියවර කිහිපයකින් කටයුතු කළේය. සඟවාගෙන සිටි සහල් තොග පළමු වරට බැලීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ශාන්ත දිසානායක කටයුතු කරන විට, එය ආණ්ඩු විරෝධය දක්වා පළල් කරමින්, එම සාධනීය කර්තව්‍ය දේශපාලනික ඇසකින් විවේචනය කිරීමට පටන් ගත් පිරිසම, ආණ්ඩුව ඩඞ්ලි සමග ඞීල් දමාගෙන සහල් මාෆියාවට එරෙහි නොවන බව පවසා සිටියේය. ඉන් පසු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් සෙනරත් නිවුන්හැල්ල සහල් මාෆියාව සමග හැප්පෙන විට, එය මිලිටරි ක‍්‍රියාදාමයක් විය. පසුව සහල් මාෆියාව මිල වැඩි කිරීමට ඉඩ නොදෙන්නේ නම් තමන් සහල් වෙළෙඳ පොළට නිකුත් නොකරන ආස්ථානයක් කරා පැමිණියේ, ආණ්ඩු විරෝධීන් විසින් සහල් මිල පාලනය සදහා ආණ්ඩුව ගත් තීන්දුව වෙත දක්වන ලද ප‍්‍රතිචාරය හයියක් කර ගනිමිනි. ඒ අනුව සහල් හිඟයක් ඇති කිරීම වැළකීමට රටින් සහල් ගෙන්වීම සඳහා ආණ්ඩුව කටයුතු කරන විට ”මේ ආණ්ඩුව හාල් රටින් ගේන්න හදනවා…” යැයි තවත් විරෝධයක් ඇති විය.

‘ලංකාව ඇතුළෙ වී තියෙද්දී සහල් ආනයනයකට සැරසෙන්න එපා. දවසකට ලංකාව ඇතුළෙ වී කිලෝ කෝටියක් සහල් බවට පත්වෙන්න ඕනෙ. තවත් මාස පහකට පමණ ප‍්‍රමාණවත් තරම් වී තොග ලංකාව ඇතුළෙ තියෙනවා. රජය සතුව නම් තියෙන්නෙ අපි දන්න විදියට තවත් සහල් කිලෝ ග‍්‍රෑම් ලක්ෂ 50ක්, ඒ කියන්නෙ දවසක්වත් කන්න දෙන්න ආණ්ඩුව ගාව හාල් නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ ඒකයි වෙළෙඳපොළේ තියෙන, භූමියේ තියෙන මිල ලබාදීලා මේ අර්බුදය නිමාවට පත් කරමු කියන එකයි. ගිය කන්නේ වී ටික විකුණපු මිලට මේ කන්නේ වී ටික විකුණන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා විතරයි ගොවියො ඉල්ලන්නෙ. ගොවියා කියන්නෙ පහුගිය කන්නෙ ලැබිච්ච මිල දෙන්න කියලා, සහල් නිෂ්පාදකයො විදියට අපි කියන්නෙ අපට පාඩු විඳින්න බැහැ, අපට සාධාරණ ලාබයක් ලබාදෙන විදියට ගැසට් නිවේදනයක් පළ කරන්නය කියලා’යැයි ශ‍්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මාධ්‍ය හමුවේ පවසා සිටියේ සැප්තැම්බර් 26 වෙනිදාය. පසුදා ආණ්ඩුව සහල් මිල පාලනය කිරීමේ ගැසට්ටුව රිවස් කළේය.

සීනි, පරිප්පු, කුකුළු මස්, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 17 ක් සඳහා පනවා තිබූ පාලන මිල වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගන්නා ලද්දේ, නොවැම්බර් තුන් වෙනිදාය. ඊට පෙර නිකුත් කර තිබූ ගැසට් හතක අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මගින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල එසේ ඉවත් විය.

සැප්තැම්බර් මස 02 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල, 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු, බී ලූනු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල, බඩ ඉරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු 12 වන දින නිකුත් කළ ගැසට් පත‍්‍රයෙන් පනවා තිබූ උපරිම සිල්ලර මිලද, එදිනම ප‍්‍රකාශයට පත් කර තිබූ, කුකුළු මස් සඳහා උපරිම සිල්ලර මිල ද, 2017 වසරේ දෙසැම්බර් 06 වන දින කරවල, පොල්, වියළි මිරිස්, උම්බලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ද, ජනවාරි 27 වන දින වියළි හාල් මැස්සන්, මුං ඇට, ආනයනික අර්තාපල් සඳහා උපරිම සිල්ලර මිලද, 2016 වර්ෂයේ ජූලි මස 14 වන දින කඩල, තිරිඟුපිටි, ආනයනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප‍්‍රකාශයට පත් කරමින් පනවා තිබු ගැසට් පත‍්‍රය ද ඒ අනුව අවලංගු විය.

මෙය ද වැටුණේ ආණ්ඩුවේ රිවස් ගැසට් ගොඩටය. කාලානුරූපීව එවැනි මිල පාලනයක් ආණ්ඩුවක් දමනුයේ, ගසා කෑමෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහාය. එම කාල පසු වූ පසු එවැනි ගැසට් ඉවත් කිරීම සාමාන්‍ය සිරිතය. එවැනි ගැසට් නැති විට විරෝධය මතු වන්නේ ”බඩු මිල වැඩි වෙනවා, ආණ්ඩුව මොකද කරන්නේ…?” කියාය. ඒවා පාලනය කරන විට වෙළඳුන් බඩු හිඟයක් ඇති කිරීම සිරිතය. එවිට යළිත් බැණුම් එන්නේ, මිල පාලනයට ය. මිල ස්ථාවර කර ගත් පසු එවැනි ගැසට් අදාළ කාල සීමාවෙන් පසු ඉවත් කර ගැනීම සාමාන්‍ය සම්ප‍්‍රදාය ය. ඒ අනුව අදාළ කාල සීමාවෙන් පසු ගැසට්ටුව ඉවත් කර ගත් විට, දැන් නගන අලූත්ම චෝදනාව වී ඇත්තේ ‘ගැසට් රිවස්’ කිරීම ලෙසය.

සිය තීන්දු උදෙසා කැපවී සිටීමේ සහ එහි ප‍්‍රතිවිරෝධය උදෙසා මුහුණ දීමේ සක්‍යතාවය ආණ්ඩුවට නොමැති වීම මෙහි ඇති බරපතල තත්ත්වය ය. එසේම තමන් කරන ලද්දේ කුමක්දැයි ජනතාවට සන්නිවේදනය කිරීමේ නොහැකියාව ද ආණ්ඩුවට බරපතල ලෙස තිබේ. ඒ සියල්ල විසින් සිදු වන්නේ රටට රිවස් වීමය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment