නැවේ ගින්න මැති සබයේත් ඇවිළෙයි

168

අධිකරණ කටයුත්තක් නිසා විවාද බෑ - ඇමැති විජයදාස රාජපක්‍ෂ
නඩුවට බලපෑම් නොවන ලෙස විවාදය කරන්න - කථානායක
විනාඩි 10කට කල් තැබූ සභාව පැයයි විනාඩි 40ක් ප්‍රමාද වෙයි
නැවෙන් මුදල් ගත් මහමොළකරු ආණ්ඩුවේ අයෙක් දැයි සැකයක් තියෙනවා
නිරෝෂන් පෙරේරා (සජබ)
නඩුව ප්‍රමාද වීමට සැඟවුණු අතක් තිබුණාදැයි සැකයි - මහාචාර්ය ජී. එල්. පීරිස්
නඩු පැවරීම දක්වා වූ ක්‍රියාවලිය විනිවිදව සිදු කළා - විදේශ ඇමැති අලි සබි්‍ර
නැව අපේ මුහුදු තීරයට ගත් දේශද්‍රෝහියා කව්ද? - විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

නඩු කටයුත්තක් පවතින බැවින් මෙරට මුහුදු තීරයේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සහ ඊට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය නොහැකි බවට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා දක්වන ලද විරෝධතාව හේතුවෙන් ඊයේ (10) පාර්ලිමේන්තු කටයුතු පැය 01යි විනාඩි 40ක අධික කාලයකට අඩාළ විණි.

එම අනතුර සහ එම වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී (සජබ) තුෂාර ඉඳුනිල් මහතා විසින් කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අධිකරණය ඉදිරියේ පවතින කටයුත්තක් වන බැවින් මේ පිළිබඳව විවාද කළ නොහැකි බවට නීති තර්ක ඉදිරිපත් කළ අධිකරණ ඇමැතිවරයා තමන් එම විවාදය සඳහා සහභාගි නොවන බව ද සඳහන් කළේය.

එහිදී ඒ සම්බන්ධයෙන් මතු වූ තත්ත්වය හමුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව විනාඩි 10 කට කල් තබා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවට ප්‍රකාශ කරමින් පෙරවරු. 10.20 ට පමණ කථානායක අසුනින් නැගිට ගියේය.

කෙසේ වෙතත් සභාවේ කටයුතු අත්හිටුවීම පැයයි විනාඩි 40 ක පමණ කාලයක් දක්වා ඇදී ගිය අතර අනතුරුව දහවල් 12 ට පමණ නැවතත් කථානායකවරයාගේ මූලාසනයෙන් යුතුව සභාවේ කටයුතු නැවත ආරම්භ කෙරිණි.

එහිදී එම නඩු කටයුත්තට බලපෑමක් නොවන අයුරින් සහ සිදු වූ පරිසර හානිය සම්බන්ධයෙන් කරුණු කියමින් විවාදය පැවැත්වීමට අවසර ලබා දෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට දැන්වීය.

ඉන්පසුව තුෂාර ඉඳුනිල් මහතා නැවතත් එම කල් තැබීමේ විවාදය ආරම්භ කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment