නැවේ සිද්ධියට නීතිපති දෙපාර්තමේන්තුවේ අයට අපහාස බෑ

83

– දර්ශන හඳුන්ගොඩගේ යූටියුබ් එකට වාරණයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදුවූ පාරිසරික හානියට එකී නෞකාව අයිති සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු කටයුතු හිතාමතාම ප්‍රමාද කළ බවට චෝදනා නඟමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපහාස වන පරිදි හා එම නිලධාරීන්ට අගතිදායක ප්‍රවෘත්ති පළ කිරීම හා ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (26 දා) යුටියුබ් නාලිකාවකට වාරණ නියෝගයක් නිකුත් කළාය. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට හා ඔහු විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවට එම වාරණ නියෝගය ලබන 10 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළ ප්‍රධාන දිසා විනිසුරුවරිය එදින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා දර්ශන හඳුන්ගොඩ මහතා වෙත අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කිරිමට ද නියෝග කළාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා රජයේ අධිනීතිඥවරියක විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පැමිණිලි දෙකක් කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරිය එම නියෝග නිකුත් කළාය.

2021 මැයි 20 වැනිදා සිදුවූ එම නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීම සඳහා සිදුකළ යුතු නඩු පැවරීම්, නීතිපති දෙපාර්තමේන්තුවේ එක්තරා අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු හා රජයේ අධිනීතිඥවරියක පෞද්ගලික වාසි පතා ප්‍රමාද කරන බවට හා ශ්‍රී ලංකාවේදී වන්දි නඩු පැවරීමේ හැකියාව තිබියදීත් එය සිංගප්පුරුවේ සිදු කරනුයේ එකී ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් ලෙසටත් හැඟෙන වීඩියෝවක් දර්ශන හඳුන්ගොඩ මහතා විසින් මෑතකදී ප්‍රචාරය කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment